විශේෂාංග

හාල් ගෝනිවලින් මහපු මගේ මඟුල් ඇඳුමට රුපියලක්වත් වියදම් වුණේ නෑ

කීයක් ගියත් මංගල දිනය දා අඳින සාරියට හෝ ගවුමට වියදම් කරන්නට තරුණියන් දෙපාරක් හිතන්නේ නැත. ඒ ජීවිතයේ ලස්සනම දවසට වෙනදාටත් වඩා හැඩට සිටිය යුතු නිසාය. ඔමාලිද තම විවාහයට දෙතුන් මසකට ඉහතදී සිතාසිටියේ එහෙමය. ඇය විලාසිතා නිර්මාණකාරිනියක් වූ නිසා මංගල ඇඳුම ගැන ඕනෑවටත් වඩා සිතුවාය. එහෙත් විවාහ මංගල්‍යයට පැමිණි කවුරුත් පුදුම කරමින් එදා ඇය ඇඳසිටියේ වෙනස්ම ආකාරයේ ගවුමකි.

මං මගේ විවාහ මංගල්‍යය දවසේ ඇඳපු ගවුම විශේෂ එකක්. ඒක මැහුවේ මමමයි. අපි පාවිච්චි කරලා ඉවතදාන දේවල් යොදාගෙනයි සම්පූර්ණයෙන්ම ගවුම නිර්මාණය කළේ. කිසිම දෙයක් වෙළඳපොළෙන් මිලදීගත්තේ නෑ.”

ඔමාලි කුලතුංගගේ පදිංචිය කුරුණෑගල, අස්වැදුම ප්‍රදේශයේය. විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙස සිය අත්දැකීම් මෙන්ම දක්ෂතාද උපයෝගී කරගෙන විවිධ නිර්මාණාත්මක අත්හදාබැලීම් කිරීම ඇගේ විනෝදාංශයයි.

කවුරුවත් කිව්වට විශ්වාස කරන එකක් නැහැ. මගේ විවාහය දවසේ මම ඇඳපු ගවුම සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ අයින්කරලා දාපු හාල් උරවල, ලූනු උරවල නූල්වලින්. ඒක තරමක් අසීරු වැඩක් වුණා. හැබැයි කිසිම වියදමක් ගියේ නම් නෑ.”

දැන් වෙළඳපොළේ මංගල ඇඳුම් විකිණෙන්නේ අස්ප ගණවලටය. සින්නක්කර ගත්තත් කුලියට ගත්තත් වියදමේ ලොකු වෙනසක් නැත. ඉතින් එහෙව් යුගයක ඔමාලි ගත් තීරණය හරියටම හරිය.

හාල් උරවල, ලූනු උරවල නූල්වලට අමතරව හිස් බියර් ටින් කපලා අරන් ගවුමට යම් යම් හැඩතල කොටස් එකතු කළා. ඊටපස්සේ පාන් ගෙනැල්ලා අපි ඉවත්කරන බෑග් එක සීල් කරලා තියෙන පොඩි ප්ලාස්ටික් ලොග්වලින් ගවුමේ හැඩය වැඩිකරගත්තා. අවසානේ කඩෙන් ගත්තට වඩා හොඳ මංගල ගවුමක් නිර්මාණය කරගන්න මට පුළුවන් වුණා.”

ඔමාලි උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙනි. විශ්වවිද්‍යාලයේ ඇගේ අවසන් ව්‍යාපෘතිය වූයේ මිනිස් ප්‍රජාව නිසා සිදුවෙමින් පවතින සාගර දූෂණය ගැනය. ඇය පවසන ආකාරයට ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන විලාසිතා නිර්මාණයට පෙළැඹීමේ මුල්ම අඩිතාලම වැටී ඇත්තේ එතැනින්ය.

ඒ ව්‍යාපෘතිය වෙනස් එකක්. මං ඒක සාර්ථකව කළා සහ ඒකට හොඳ ඇගයීමකුත් ලැබුණා. ඉතින් ඒක මගේ වෘත්තියට ලොකු පන්නරයක් වුණා. පස්සේ මට ඕනවුණා මිනිස් ප්‍රජාව නිසා සිදුවෙමින් පවතින පරිසර දූෂණයට විසඳුමක් හොයන්න. එහෙම හිතද්දි තමයි ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන විලාසිතා නිර්මාණයට පෙළැඹුණේ.”

එකී පෙළැඹීම නිසා සමාජයට ආදර්ශවත් පණිවිඩයක් ලබාදීමට ඔමාලිට හැකිවී තිබේ. එපමණක් නොව හිත ඇත්නම් කළ නොහැක්කක් නැති බවද ඇය ඔප්පු කර තිබේ.

අපි පාවිච්චි කරලා විසිකරන දේවල් ඕනතරම් තියෙනවා. අපිට කලාත්මක ඇහැක් තියෙනවා නම් ඒ දේවල්වලින් ඕනතරම් නිර්මාණ කරන්න පුළුවන්. ඔය පොලිතින් උර, බියර් ටින් වගේ දේවල් භාවිතයෙන් පසු පරිසරයට මුදාහරින එකයි ගොඩාක් අය කරන්නේ. ඒත් ඒ දේවල්වලින් වෙනස් විදියේ වැඩ කරන්න පුළුවන්.”

විවාහ දිනයේ තිබුණාට වඩා වැඩි ආකර්ෂණයක් දැන් ඔමාලිට සමාජ මාධ්‍ය හරහා ලැබී තිබේ. ඒ ඇගේ අතින් නිමවූ අපූරු මංගල ගවුම නිසාය.

මං හිතන්නේ අපි එකම රාමුවකට කොටුවෙලා ඉන්නේ. ඒ කියන්නේ කෙනෙක් කරාට පස්සේ ඒ දකින දේවල් විතරයි නිර්මාණය කරන්නේ. ඒත් ටිකක් කල්පනා කළොත් ඊට එහා දෙයක් අපිට කරන්න පුළුවන්. හැබැයි මොන දේ කරන්නත් කලාත්මක ඇහැකුයි ඉවසන හිතකුයි තියෙන්නම ඕන.”

අද ඊයේ ලොකුවට මඟුල් කා විවාහ වූ තරුණියකගෙන් ඇය ඇඳි මංගල ඇඳුමේ වටිනාකම ගැන ඇසුවොත් නිසැකවම අපේ ඇස් නළලට යන බව ඒකාන්තය. එහෙත් කවුරුන් ඇවිත් ඇසුවද තමා ඇඳි මංගල ගවුම ගැන ඔමාලිට දෙන්නට ඇත්තේ එකම උත්තරයකි.

එක රුපියලක් වියදම් වුණේ නෑ. වියදම් වුණා නම් වියදම් වුණේ ගවුම මහන්න කියලා කඩෙන් ගත්‍ත ඉඳිකටුවලට විතරයි.”

රුවන් එස්.සෙනවිරත්න