දිරිය දිනූ කතුන්

“වනිතා වරුණ වර්ණවත් කරන්නී – දේදුණු පාලම හඬින් හැඩ කරන්නී” – ආදරණීය ඕෂධී (ඕෂි)

50 දශකයේ විතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හැඳින්නුවේ රේඩියෝ සිලෝන් කියන නමින්. ටෙලිවිෂන් ආක්‍රමණයක් සිද්ධ නොවුණු ඒ කාලේ රේඩියෝ සිලෝන් එකට ගහන්න පුළුවන් මීඩියා ජගතෙක් අහල ගම් හතකවත් හිටියේ නෑ. ඒක නිසා ඒ කාලේ බොහෝදෙනෙකුගේ හීනෙ වුණේ රේඩියෝ සිලෝන් එකේ නිවේදකයෙක් වෙන එකයි. ඉතින් ඔන්න ඔය කාලෙම ‘රේඩියෝ සිලෝන් එකට නිවේදක නිවේදිකාවෝ අවශ්‍යයි’ කියලා පත්තරේ දැන්වීමක් පළවෙලා තිබුණා. ඊටපස්සේ ඒකට හඬ පරීක්ෂණයක් පවත්වන්නත් කටයුතු යොදලා තිබුණා. හැබැයි ඒ පවත්වපු හඬ පරීක්ෂණෙන් තෝරගෙන තිබුණේනම් කිහිපදෙනයි. ඒ අතර ප්‍රභා පෙරේරා කියලා තරුණියකුත් හිටියා. මෙච්චර දවසක් රේඩියෝ එකෙන් ඇහුණේ ඩී.එම්.කොළඹගේ, කරුණාරත්න වැනි නිවේදකයන්ගේ හඬ පමණයි. ඔන්න අර හඬ පරීක්ෂණයෙන් පස්සේ ගැහුනු කටහඬකුත් ඇහෙන්න පටන්ගත්තා. ඒ හඬේ හිමිකාරිය වුණේ ප්‍රභායි. ආසාවට ගුවන්විදුලි නිවේදනයට අයැදුම් කළ ඇය අන්තිමට නතර වුණේ ලංකාවෙ පළවැනි ගුවන් විදුලි නිවේදිකාව විදියට ඉතිහාසගත වෙලා. ඊටපස්සේ රේඩියෝ ඉතිහාසයේ පළවැනි කාන්තා වැඩසටහන විදියට සැළකෙන වනිතා ලංකා මෙහෙයවලා තිබුණෙත් ඇයමයි. ප්‍රභාගෙන් පස්සේ කුසුම් පීරිස්, රම්‍යා වනිගසේකර වගේ ජනප්‍රිය ගුවන්විදුලි නිවේදිකාවන් එක පොකුරට බිහිවුණා. අදටත් නව පරපුරේ එවැනි ජනප්‍රිය ගුවන්විදුලි නිවේදිකාවන් බිහිවෙන එක නම් නතර වෙලා නැහැ. ඒ විදියට බිහිවුණ හඬ පෞරුෂයන් අතරේ එෆ්.එම්. දෙරණ දේදුනු පාලමෙන් ඇහෙන හඩත් විශේෂයි. 

“හායි, ගුඩ්මෝර්නින්ග්. ඕෂී ඇවිල්ලා ඉන්නේ.”

ඒ වචන පෙළත් එක්ක ඇහෙන හඬ ඔබටත් බොහොම හුරුපුරුදු‍ බව අපි දන්නවා. ඒ හඬේ හිමිකාරීනිය වෙන කවුරුවත් නෙමෙයි ඕෂධී සිරිවර්ධනයි. එෆ්.එම්. දෙරණ 15 වැනි සංවත්සරය සමරලා සතියක් ගතවෙන මොහොතක දෙරණෙන් බිහිවුණ නිවේදිකාවන් අතරින් ඕෂධී පිළිබඳව විශේෂයෙන් කතා කරන්නෙ ඇය විශේෂ කෙනෙක් නිසයි.  

එෆ්.එම්. දෙරණ අහන කවුරුත් ඕෂි කියපු ගමන් හඳුනන ඕෂධීව මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ දකින්න ලැබුණේ දෙරණ 24 නාලිකාවේ රූපවාහිනී නිවේදිකාවක් විදියටයි. 

“මම මුලින්ම රූපවාහිනි නිවේදිකාවක් විදියට අද දෙරණ 24 එක්ක සම්බන්ධ වුණේ 2018 අවුරුද්දේදීයි. ඒ අද දෙරණ 24 නාලිකාවේ නිදහස් නිවේදිකාවක් විදියටයි. එතැනදී මට මුලින්ම කරන්න ලැබුණේ පත්තර කියවන එකයි. ඊටපස්සේ ටික කාලයක් යද්දී මට ‘වනිතා වරුණ’ වැඩසටහන මෙහෙයවන්න අවස්ථාව ලැබුණා. අදටත් මම ඒ වැඩසටහන කරගෙන යනවා.”

ඒ විදියට නිවේදන කලාවට අත්පොත් තැබුවත් ඕෂධී පුංචි කාලේ ඉඳලම හීන දැකලා තිබුණේ ගුරුවරියක් වෙන්නයි. ඒත් ඒ හීනෙ වෙනස්වෙලා නිවේදිකාවක් වෙන හීනේ හිතේ ඇඳෙන්න පටන් අරන් තිබුණේ ඇය උසස් පෙළ පන්තියට පියනගද්දියි.

“මම උසස් පෙළ කලා අංශයෙන් හැදෑරුවේ. එතකොට මාධ්‍ය අධ්‍යයනයත් විෂයක් විදියට තෝරාගත්තා. ඒ විෂය කරගෙන යනකොට තමයි මට නිවේදිකාවක් වෙන්න ආසාවක් ආවේ. ඊටපස්සෙ මම නිතරම රූපවාහිනියේ වැඩසටහන් බලන්න පටන්ගත්තා. ඒ අතරේ අද දෙරණේ තිසංක ගමගේ අයියගේ වැඩසටහන් නිතරම බැලුවා. ඒ  අහපු දැකපු දේවල් එක්ක මගේ ඇතුළේ හැංගිලා හිටපු නිවේදිකාවත් එළියට එන්න පටන්ගත්තා.”

ඒකේ ප්‍රතිඵලයක් වුණේ උසස් පෙළෙන් පස්සේ ඇය නිවේදන හීනයට පණපොවන්න පටන්ගැනීමයි. ඊට අදාළ පසුබිම් පාඨමාලා හදාරලා වගේම නිවේදිකාවක් විදියට පුහුණු වීමෙනුත් ඇය ඒ වෙනුවෙන් සූදානම් වුණා. ඊටපස්සේ ඒ අත්දැකීම් එක්ක 2018 අවුරුද්දේ අද දෙරණ 24 නාලිකාවට සම්බන්ධ වුණ ඇය 2020 අවුරුද්දේ ඉඳන් එෆ්.එම්. දෙරණ ස්ථිර ගුවන්විදුලි නිවේදිකාවක් බවට පත්වුණා. ඒ ඇගේ උත්සාහය වගේම කැපවීම් සියල්ලේම ප්‍රතිඵලය මල්ඵල ගන්වමින්.

“ඊටපස්සේ මම එෆ්.එම්. දෙරණ නාලිකාවේ දිගටම වැඩ කරගෙන ගියා. දේදුනු පාලමේ වගේම එෆ්.එම්. දෙරණ චාර්ට් ෂෝ වැඩසටහනෙත් මම නිවේදිකාවක් විදියට  කටයුතු කළා. එහෙම වැඩ කරගෙන යද්දී අකරතැබ්බවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කොරෝනා කාලේ එක දවසක් රෑ මට කෙම්මුර අඩවියේ රේකෝඩින්ග් එකක් කරන්න තිබුණා. එදා අපි කිහිපදෙනයි හිටියේ. කෙම්මුර අඩවියේ යන්නෙත් හොල්මන් කතානේ. ඒකේ සද්ද පවා ඇත්ත විදියටම හදලා තිබුණේ. ඒක රෙකෝඩින් එකක් කියලා දැනගෙනත් එදා නම් මට හොඳටම බය හිතුණා. ඒ වගේ වැඩ වගේම  ප්‍රශ්න අභියෝගවලටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මාධ්‍යයක වැඩ කරද්දි එහෙම නොවෙනවානම්නෙ පුදුමේ. ඒ වගේ වෙලාවට සාමාන්‍ය කෙනෙක් විදියට ඒ හැම දෙයක් දිහාම බලලා ඒ හැමදේටම මුහුණ දුන්නා. සමහර අවස්ථාවල රැකියාව දාලා යන්න හිතුණ අවස්ථාත් ඕනතරම් තිබුණා. මොකද මම හිතුව තරම් මාධ්‍යයක් ඇතුළේ වැඩ කරන එක ලේසි දෙයක් වුණේ නැහැ. ඒත් ඒ හැමවෙලාවකම මම හිතුවේ මොන රැකියාව වුණත් පහසු නැහැ කියන එකයි. එදා එහෙම හිතලා වැඩ නොකළා නම් අද මම මේ ඉන්න තැනට එන්න ලැබෙන්නෙත් නැහැ.”

එහෙම හිතලා මාධ්‍ය තුළ දිගටම රැඳිලා හිටපු ඇයට British Way Popular Awards 2023 සම්මාන උළෙලේ දී  වසරේ ජනප්‍රියතම ගුවන්විදුලි නිවේදිකාවට හිමි සම්මානයත් පිරිනැමුණා. නමුත් ඒ සම්මානවලට නොදෙවෙනි ඇගයීමක් වගේම ආදරයක් රේඩියෝ අසන්නන්ගෙන් ලැබෙන බවයි ඕෂධී අපිත් එක්ක කිව්වේ.  

“මට මේ රස්සාව නිසා ලැබුණ ලොකුම තෑග්ග තමයි මිනිස්සුන්ගෙන් ලැබෙන අවංක ආදරේ. ජීවිතේට දැකලවත් නැති මිනිස්සු තෑගි අරන් දුරකතර ගෙවාගෙන අපිව බලන්න එනවා. එයාලා එහෙම එන්නෙ කටහඬෙන් විතරක් අපිව අඳුරගෙනයි. ඒ වෙලාවට දැනෙන්නේ වචනවලට පෙරළන්න බැරිතරම් පුදුමාකර සතුටක්. ඒ සතුට සල්ලිවලටවත් ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.”

ඒ විදියට රේඩියෝ රස්සාව නිසා ඕෂධී අප්‍රමාණ සතුටක් ලබද්දී ඇගේ සතුට දිහා බලන් සතුටු වෙන පිරිසකුත් ඇය පිටුපසින් සිටින බව මතක් කළා.

“මෙච්චර දුරක් එන්න මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අනිත් අයත් ලොකු හයියක් වුණා. ඒ වගේම මම ආදරේ කරන මගේ ආදරේ රෝයි ආර්යනුත් මට ලොකු ශක්තියක් වුණා. මම වැඩ කරන එෆ්.එම්. දෙරණ නාළිකාවේ ඉහළ කළමනාකාරිත්වයේ සිට එෆ්.එම්. දෙරණ සාමාන්‍යධිකාරී බණ්ඩාර විජේරත්න ඇතුළු සියලුම දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝවම මම මේ වෙලාවේ මතක් කරනවා.”

තමන්ගේ හීන වෙනුවෙන් කැපවුණු ඕෂධීට අද වෙද්දී ඇය පැමිණ ඇති ගමන්මඟ ගැන තියෙන්නේ අභිමානයක්. 

“කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අංක එකේ නාලිකාවක මගේ දක්ෂතා පෙන්වන්න ලැබුණ එක ගැන ආපස්සට හැරිලා බලද්දී මට තියෙන්නෙ ලොකු සතුටක්. ඒක නිසා මට අනිත් අයටත් කියන්න තියෙන්නෙ හැමවෙලාවෙම හීන වෙනුවෙන් කැපවෙන්න වගේම මහන්සි වෙන්න කියලයි. ඒ වගේම එක හීනයක් මත්තෙමත් ඉන්න එපා. හීන ගොඩක් දකින්න. හීන දකිනවා වගේම ඒවා හැබෑ කරගන්නත් උත්සාහ කරන්න. මහන්සිවෙන්න.”

ඒ කිව්වා වගේම ඕෂධීත් ගොඩක් හීන දැකපු කෙනෙක්. ඒ අතරින් ඇය නිවේදිකාවක් වෙන හීනෙ හැබෑකරගත්තා. ඒ වගේම තවත් හීනයක් ඇය හැබෑ කරගනිමින් ඉන්න බවයි ඇය අපිට කිව්වේ. ඉතිං ඒ හැම හීනයක්ම හැබෑ වෙලා එෆ්.එම්. දෙරණ තුළින් වගේම අද දෙරණ 24 නාලිකාව හරහාත් අදත් හෙටත් හැමදාමත් ප්‍රේක්ෂකයන්ට වගේම ශ්‍රාවකයන්ටත් ආදරේ බෙදන්න ඇයට ශක්තිය ධෙර්යය ලැබේවා කියලා ‘ධරණී’ අපිත්  ඇයට සුභාසිංශන එක් කළා.

නෙත්මි තෂාරා