විශේෂාංග

පාර්ලිමේන්තු භෝජනාගාරයේ තියෙන්නෙ තරු පන්තියේ කෑමවේලක් නෙවෙයි

පාර්ලිමේන්තු මහලේකම් ධුරය සැලකෙන්නේ එහි ප්‍රධාන විධායක තනතුර ලෙසය. එම පත්වීම සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තු සභාවේ එකඟතාවෙන් ජනාධිපතිවරයා විසිනි.

මෙහි ප්‍රධාන කාර්යබාරය අතර පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය, ස්ථාවර නියෝග, වරප්‍රසාද මෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කතා නායකවරයාට මෙන්ම අනෙක් මුලසුන දරණ නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදුවේ. එම කාර්යය ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ සහකාර පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ලැබෙන සහයෝගය විශේෂිතය.

වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරිය මෙන්ම එහි කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර දරණ කුෂාණි රෝහණධීර මහත්මිය තම රාජකාරි දිවියේ හා පෞද්ගලික දිවියේ සුවිශේෂිතා ධරණීසමඟ පෙලගැස්වූයේ මෙලෙසිනි.

ඔබ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එක්වෙන්නේ කුමන කාල වකවානුවකද? ඒ කවුරුන් හැටියටද?

මම 1999 අවුරුද්දේ තමයි පාර්ලිමේන්තු ලිපිකරු තනතුරට අයැදුම් කරන්නේ. එම තනතුර පසුව පාර්ලිමේන්තු නිලධාරී ලෙස වෙනස් වුණා. ඒ අනුව මම පාර්ලිමේන්තු සහකාර නිලධාරී වුණා. මම එම කාලවකවානුව වනවිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබලයි හිටියේ. අනතුරුව මම ධම්මික කිතුල්ගොඩ මහලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම් විදිහට වැඩ කළා. ඉන්පසු මා පාර්ලිමේන්තුවේ ආයතන කාර්යාංශයට මාරුවීමක් ලබලා වසර එකොළහක් පමණ එහි රාජකාරි කළා. ඔය අතරේ මම පරිපාලන නීතිය ඉගෙනගන්න අදහස් කළා. විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියට අයැදුම් කරන්නේ ඒ අනුවයි. ඒ වෙනකොට බබාලත් පුංචියි. මට මතකයි මම ඇඩ්මිෂන් විභාගය ලියලා එනකල් මහත්තයා චූටි පුතාව කාර් එකේ තියන් විශ්වවිද්‍යාලය ළඟ හිටියා. රැකියාවයි දරුවන්ගේ කටයුතුයි අතරේ කාර්යබහුල වුණත් මම නීතිවේදී උපාධිය ලබලා, අනතුරුව නීති විද්‍යාලයට ඇතුළත් වුණා. පසුව මම නීතීඥවරියක් විදිහට දිවුරුම් දුන්නා. ඒත් මම උසාවි කටයුතුවලට සහභාගී වුණේ නැහැ. මම මගේ රැකියාව හොඳින් කරගෙන යාමට අවශ්‍ය පසුබිම ඒ තුළින් ගොඩනගා ගත්තා. මම පළමු රැකියාව කළේ කැම්පස් එන්නත් කලින්. අපිට කැම්පස් එන්න කාලයක් බලාගෙන ඉන්න සිදුවුණා.

ඇයි කාලයක් බලාගෙන ඉන්න සිදුවුණේ?

මම උසස් පෙළ සමත් වු‍ණේ 1987 අවුරුද්දේ. පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. මගේ අම්මා විදුහල්පතිනියක්. තාත්තා උප විදුහල්පතිවරයෙක්. මට එක සහෝදරයෙක් ඉන්නවා. අපේ ලස්සන ළමා කාලය නිමා වෙද්දී භීෂණ කාලය ඇවිත්. විශ්වවිද්‍යාලයට යන්න කලින් මම පෞද්ගලික බැංකුවක වසර තුනක් රැකියාව කළා. 1991දී තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. දකු‍​ණේ භීෂණකාරී වටපිටාව නිසයි එහෙම වුණේ. ඒ කාලය තුළ මගේ මහත්තයගේ සහෝදරයත් ඝාතනය වුණා. එය කරදරකාරී කාලයක්.

කොහොමහරි මම කැම්පස් කාලේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතුළුව තවත් ආයතන කිහිපයක රැකියා කළා. ඒ සෑම රැකියාවක්ම කැපවීමෙන් කළා වගේ අදටත් ඒ කැපවීම, විශ්වාසය තුළ මා හොඳින් රාජකාරි කටයුතු කරනවා. මම 2012 වසරේ තමයි පාර්ලිමේන්තු සහකාර ලේකම්වරියක් ලෙස පත්වීම් ලබන්නේ. 2020 වසරේ නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස තනතුරු ලැබුවා.

පාර්ලිමේන්තුව තුළ ඔබේ කාර්යබාරය කෙබඳුද?

එම වගකීම දෙයාකාරයි. එහිදී කාර්ය මණ්ඩලයට අයත් ප්‍රධාන කාර්ය කොටසක් තිබෙනවා. ඔවුන්ගේ සේවා අවශ්‍යතා, සුබසාධනමය අවශ්‍යතා සොයා බලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරදීම ප්‍රධානයි. මෙහි දෙපාර්තමේන්තු නවයක් තිබෙනවා. එහි අවශ්‍යතා විවිධයි. පරිපාලනමය වශයෙන් කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස වගකීම් රැසක් ඊට අයත් වෙනවා.

ඒ වගේම නියෝජ්‍ය මහලේකම් හැටියට ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු වගේම කාරක සභා කටයුතු වෙනුවෙන් සහභාගී වෙනවා. කතානායකවරයාගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා වගේම අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. මහලේකම්තුමා පවරන වගකීම්, මූලාසනයට අවශ්‍ය උපදෙස් ලබාදීම වගේම පාර්ලිමේන්තු කටයුතුවලට උපදෙස් ලබාදීම සිදු කරනවා. මූලික ලේඛන සකස් කිරීම, පනත් කෙටුම්පත් අධ්‍යනය කිරීම ආදිය කරනවා. එතැනදී මූලාසනය මෙහෙයවන පුද්ගලයාට සහාය ලබාදීමයි සිදුවෙන්නේ.

කතානායකවරයාගේ කාර්යබාරයට ලේකම් කාර්ය මණ්ඩලය දක්වන සහයෝගය කෙබඳුද?

ඇත්තටම පාර්ලිමේන්තුව තුළදී කතානායකවරයා හෝ ඒ අවස්ථාවේ මූලාසනය හොඹවන වෙනත් මන්ත්‍රීවරයෙකුට සභාවේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ උපදෙස් ලබාදීම, එහි කාර්යය පටිපාටිය හා ක්‍රියා මාර්ග, කාලය කළමනාකරණය ඇතුළු සභාවේ කටයුතු මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය වගේම උපදෙස් ලබාදෙනවා. මහලේකම්වරයාගේ උපදෙස් අනුවයි එය සිදු කරන්නේ. එහිදී ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරනවා.

ස්ථාවර නියෝග එක්කයි ඔබේ රාජකාරී දිවිය ගෙවෙන්නේ. පාර්ලිමේන්තු නිලධාරීන් ඒ ගැන දැනුවත්ව සිටිය යුතුයි නේද?

ස්ථාවර නියෝග කියන්නේ පාර්ලිමේන්තු කටයුතු විනයානුකූලව හා අර්ථවත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය රීති සමූහයකුයි. එම රීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේදී සැකසෙනවා.

නිලධාරීන් හැටියට අපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් ඒ ගැන අවබෝධයක් ලබා තිබිය යුතුයි. එතැනදී සභාවේ කටයුතු, කාරක සභා ක්‍රියාත්මක වන ආකාරය වගේම, වරප්‍රසාද ප්‍රශ්න මතුවුණහම මූලාසනයට අවශ්‍ය උපදෙස් ලබාදීමට ස්ථාවර නියෝග වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම විශේෂිතයි.

අපි දැක්කා ඉකුත් දින 52 ආණ්ඩු කාලේ කතානායකවරයා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවට ඔබ ඇතුළු නිලධාරීන් මුහුණ දුන්නේ කොහොමද?

එය එම අවස්ථාවේ ඇතිවූ දේශපාලන තත්ත්වය සමඟ ඇතිවූවක්. එවැනි අවස්ථාවක කටයුතු කළ යුතු සුදුසු පිළිවෙලට අපේ නිලධාරීන් ඊට මුහුණ දුන්නා. මොකද නිලධාරීන් හැටියට අපිට ඒ අවස්ථාව මඟ හරින්න බැහැ. ලේකම් මණ්ඩලය හැටියට අපි එතැන හිටියා. එතැනදී අපේ වගකීම වුණේ ආණ්ඩුවේ වැඩ කටයුතු කඩාකප්පල් වීමට ඉඩ නොදී ඒවා කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි.

පාර්ලිමේන්තුවේ ඔබ අසුන් ගන්නේ සෙංකෝලයත් කතානායකවරයාත් අතර අසුනකයි. කොයි මොහොතේ හෝ සෙංකෝලය උදුරගෙන දුවයි කියන සිතිවිල්ලක් ඔබට ඇතිවෙලා නැද්ද?

ඒ ගැන මූලිකවම කටයුතු කරන්නේ වේත්‍රධාරීවරයායි. එම තනතුර ලබාදීමේදී හමුදා සේවය සලකා බලනවා. වේත්‍රධාරීවරයා සහ ඔහුගේ කණ්ඩායමට ඒ ගැන හොඳ ඉවක් තිබෙනවා. දැන් සභාවේ සිදුවෙන්නේ කුමක්ද කියන කාරණය ගැන ඔවුන් අවධානයෙනුයි පසුවෙන්නේ. නොසන්සුන් ගතියක් සභාවේ තියෙනවානම් සෙංකෝලය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි ඔවුන් ඒ අසල ඉන්නේ. එහිදී අපත් ඒ දෙස විමසිල්ලෙන් පසුවෙනවා කියනෙක නිවැරදියි.

ඔබ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබාගන්නවද?

ඇත්තටම පාර්ලමේන්තු කාර්ය මණ්ඩලයටත් ආහාර සැපයීම කරන්නේ අපේ ආහාර පාලන දෙපාර්තමේන්තුව විසිනුයි. මෙය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නෙවෙයි. එය ලබාදෙන්නේ ආරක්ෂාව පිළිබඳ ඇතිවිය හැකි තත්ත්වයන් සලකා බලායි.

එහිදී සෙසු කාර්ය මණ්ඩලයට ලැබෙන ආහාරවේල වගේම, මමත් මගේ ආහාරවේල පාර්ලිමේන්තු ​භෝජනාගාරයෙන් ලබාගන්නවා.

පාර්ලිමේන්තු භෝජනාගාරය කියන්නේ ආහාර නාස්තිවෙන තැනක් කියලා ජනතාව අතර මතයක් පවතිනවා. එහි සත්‍යතාවයක් තිබෙනවද?

මෙහෙමයි. එක එක කාලවලදී විවිධ කටකතා පැතිරෙනවා. මෙය විශේෂ වරප්‍රසාදයක් කියන මතයේ ඉඳලා අදහස් දැක්වීම නිසා තමයි මේ අදහස සමාජගත වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු ආහාරවේල කිව්වම එය සාමාන්‍යයෙන් සතුටුදායක මට්ටමේ දිවා ආහාරවේලක් ලෙස තමයි පිළිගන්වන්නේ. එය පිළියෙල කරන්නේ දෛනික ගණනය කිරීම්වලට අනුවයි. ආහාර කළමනාකරණ කමිටුවක් තිබෙනවා. විගණන අංශ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් වගේම අපේ නිලධාරීන් ඒ පිළිබඳ නිර්දේශ කිරීම කරනවා. නාස්තියක් සිදුවෙනවද කියන කාරණය, මුදල් වියදම් වීම ගැන අධ්‍යනය කෙරෙනවා. හාල් කිලෝ එකක් ගත්තොත් ඉන් කී දෙනෙකුට අනුභව කරන්න පුළුවන්ද කියන කාරණය අපි දිනපතා ගණනය කිරීම් කරනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මහජන නියෝජිතයින් ඇතුළු පිරිසටයි මෙම ආහාර සපයන්නේ. තරු පන්තියේ කෑමවේලක් සැපයීම නෙවෙයි මෙහිදී සිදුවන්නේ. මස්, මාළු වුණත් නාස්තියක් වෙනවද කියලා බලලා ඒවා බොහෝදුරට දැන් අඩුකරලයි තිබෙන්නේ.

රාජකාරියෙන් පසු ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු?

මගේ මහත්තයා හරිගුප්ත රෝහණධීර. ඔහුගේ රැකියාව නීති ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඔහුගේ පියා තමයි මැන්දිස් රෝහණධීර මහත්මයා. රට පිළිගත් විද්වතෙක් වගේම පුරාවිද්‍යා ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීණයෙක් ලෙස සැලකෙනවා. ඒ වගේම සිංහල භාෂාව ගැන, බෞද්ධාගම ගැන ඉතාම උන්නදුවෙන් කටයුතු කළ අයෙක්. එතුමන්ගේ පුතා සමඟ විවාහ වෙන්න ලැබීම ගැන මා තුළ සතුටක් තිබෙනවා. මට මගේ මහත්තයාව මුණ ගැහෙන්නේ විශ්වවිද්‍යාලයේදි. අපි අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා. විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා ටික කලක් ඇතුළත අපි විවාහ වෙනවා. අපි පුතුන් තුන්දෙනෙකුගේ දෙමාපියන් අද. ලොකු පුතා සුදම් ලංකේෂ, දැන් විසිහතර හැවිරිදියි. ඔහු උසස් අධ්‍යාපන කටයුතු නිමාකොට සිටිනවා. දෙවැනි පුතා යසිඳු අභිෂේක් වගේම චූටි පුතා ජවන හංස තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. පවුලක් හැටියට අපි බොහොම ආදරණීය ජීවිතයක් ගත කරනවා.

ඒ ආදරණීය ජීවිතය තුළ කුස්සියේ කටයුතුවලට ඔබේ දායකත්වය කෙබඳුද?

ඇත්තටම මොන රාජකාරි අතරේ සිටියත් ගෙදරදී මා බිරිඳක්, මවක් වගේම ගෘහනියක්. ගෙදර කටයුතු සියල්ල මා අතින් කළමනාකරණය වෙනවා. පුංචි කාලෙ ඉඳලම මට රසට කෑම උයන්න පුළුවන්. ඒ වගේම මං උයන්නත් ඉතාම කැමතියි. ගමේ කෑමද, බටහිර කෑම ද කියලා වෙනසක් නැහැ. මහත්තයත් පුතාලා තුන්දෙනත් කැමති කෑම මම බොහෝම කැමැත්තෙන් ඔවුන්ට පිළියෙල කර දෙනවා. ඊට ප්‍රතිචාරත් ඉතාම හොඳයි. එතැනදී පවුලක් ලෙස අප ලබන සතුට විශේෂිතයි.

ගෘහණියක් විදිහට අරපිරිමැස්ම ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?

ඇත්තටම කොතැනක රාජකාරි කළත් ගෙදරට එම කාන්තාව මවක්, බිරිඳක්, ගෘහනියක්. ඇයට තමයි ගෙදර බර වැඩිපුරම දැනෙන්නේ. එහිදී ලැබෙන ආදායම වියදම අතර මනා කළමනාකරණයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. අපි දන්නවා කන බොන එක විතරක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, එදිනෙදා ජීවිතයේ අනෙකුත් අවශ්‍යතා ලැබෙන වැටුපට අනුව කළමනාකරණය කර ගනිමින් ජීවත් වෙන්න හුරු වෙනවා නම් ජීවිතය පහසුයි, වගේම සතුට රඳවා තබාගැනීම පහසු වෙනවා.

එතැනදී ලෝබකම සහ අරපිරිමැස්ම කියන්නේ දෙයාකාර වූවක්. මං ලෝබකම අතහැරලා අරපිරිමැස්මෙන් කටයුතු කරන කෙනෙක්. මම මගේ දරුවන්ට කැමති කෑම ගෙදර හදලා දෙනවා. මම එය විටෙක සලකන්නේ ලෝබකමක් විදිහට. කෙනෙකුට හිතෙන්න පුළුවන් කෑමබීම පිටතින් ගන්න වියදම් කරන්නේ නෑ කියලා. ඒත් දරුවෝ අපිත් එක්ක ඉන්නේ කොතරම් කෙටි කාලසීමාවක්ද? ඒ කාලය තුළ ඔවුන් කැමති ආහාරපාන සියල්ල මා අරපිරිමැස්මෙන් ඔවුන්ට සකසා දෙනවා. ඒ තුළ මා ලබන සතුට විශාලයි.

එතකොට ඔබේ විවේකය ගත වෙන්නේ කොහොමද?

මගේ ලොකුම විනෝදාංශය තමයි සින්දු කියන එක. ඒ වගේම බොහෝ ගීත රස විඳින්න මා කැමතියි. ඒ වගේම උයන එකත් මගේ ලොකුම විනෝදාංශයක් බව නොකියා බැහැ. පොත් කියවීමත් ඉස්සර ආසාවෙන් කළ දෙයක්. දැන් ඊට ඉඩකඩ අඩුයි. අපි පවුලේ අය ඉඩකඩක් ලැබුණම, පෞරාණික තැන් වගේම නිස්කලංක ප්‍රදේශවල ඇවිදින්න කැමැතියි.

ඔබ රටේ පිළිගත් තනතුරක් දරණ කාන්තාවක්. ඒ වගේම ගෘහනියක්. ඔබට මොනවද අපේ ආදරණීය ධරණීපාඨකයින්ට කියන්න තියෙන්නේ?

අපේ රටේ කාන්තාවන් ඉතාම​ ධෛර්යසම්පන්න පිරිසක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම ඔවුන් කුසලතාවලින් පිරිපුන් පිරිසක්. ඒත් කාන්තාවගේ ගමන නවතන, ඔවුන්ව පසුගාමී කරන දේවල් මේ සමාජය තුළ තිබෙනවා. මට කියන්න තියෙන්නේ ඒ අවස්ථාවන්ටත් ධෛර්යයෙන් මුහුණ දෙන්න. කාන්තාවන්ගේ චරිතය අල්ලගෙන පහර දුන්නොත් ඔවුන් එතැනදී පසුබානවා. ඒත් තමන් පැහැදිලි ගමනක් යද්දි ඒ කාරණාවලට චිත්ත ධෛර්යයෙන් යුතුව මුහුණදීමට තරම් කාන්තාව ශක්තිමත් වීම වැදගත් වෙනවා. කාන්තාවක් තම කුසලතා ඔපමට්ටම් කරගෙන ස්වාධීනව ඉදිරියට ඒමට තරම් ශක්තිමත් වීම කාලෝචිත වූවක් ලෙස මා දකිනවා.

දීපා වසන්ති එදිරිසිංහ