News

PHI නිලධාරීන්ගෙන් අනාවැකියක්

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අනාවැකියක් පලකර ඇත.

එහි සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවා සදහන් කළේ ඉදිරි උත්සවය සමයේදි රජය සහ මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් නත්තල අවසන් වන්නේ කොවිඩ් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමෙන් බවයි.

එමෙන්ම මෙරට තුළ ඇතිව තිබෙන කොවිඩ් දෙවන රැල්ල මේ වන විට කොළඹ මහ නගර සභා ප්‍රදේශ පසුකරමින් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ කරා ගොස් ඇති බවට වාර්තා වන බව ඔහු පෙන්වා දෙයි.

තවදුරටත් කොවිඩ්-19 වසංගතය සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ආකාරයට පාලනය කළ නොහැකි බව පෙනෙන්නට ඇති බව උපුල් රෝහණ මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝධායනය සදහා මේ වන විට චක්‍ර ලේඛ විශාල සංඛ්‍යාවක් නිකුත් කර ඇතත්, නිරෝධායන කටයුතු මේ වන විට ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව ඒ මහතා පැවසීය.

ඉදිරියේදී එන උත්සව සමය ඉතාමත් අවධානමකින් සැමරීමට මහජනතාව සිදුව ඇති බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.