විශේෂාංග

මම හිතන්නේ මම තමයි රටේ ජනප්‍රියතම කාන්තාව – පියුමි හංසමාලි

මම ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව වෙන්නත් පුළුවන්. ඒ නිසානේ මේච්චර කට්ටිය මාව Follow කරන්නේ. ගොඩක් අය මට කැමතියි. අකමැති පිරිසකුත් ඔය අතරේ ඇති. හැබැයි ලංකාවේ මිනිස්සු මගෙ ගැන හරියට හොයනවා. ඒ නිසා කොහේ කොතැන මොන ප්‍රශ්නේ ඇති වුණත් ඒක අන්තිමට ඉවර වෙන්නේ මගෙන්…”

එසේ කියන්නේ අප කවුරුත් දන්නා කියන පියුමි හංසමාලි ය.

මිලියන එකයි දශම හයක ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් පිරිසක් හිමි මේ සුරූපිනිය ශ්‍රී ලංකාවේ වැඩිම ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් පිරිසක් හිමි කාන්තාව ලෙසද හඳුන්වාදිය හැකිය.

පසුගිය දිනෙක මාධ්‍යවේදී චතුර අල්විස් මෙහෙයවන ‘Talk with Chathura’ වැඩසටහනකට සහභාගී වී පියුමි තම ජීවිතයේ අහුමුළු පිළිබඳව බොහෝ දේ කතා කළාය. මේ ලිපිය පියුමි, චතුරට කියූ ඒ කතා ඇසුරින් සකස් කරන ලද එකක්ය.

——————-

මම ඉපදුනේ රාජගිරියේ. මම තමයි අපේ පවුලේ එකම දරුවා. මගේ අම්මලා තාත්තලා එහෙමට සල්ලි තිබුණු අය නෙවෙයි.”

පියුමි කියන්නේ කුඩා කළ සිටම ඇය නාගරික දිවිපෙවතකට හුරු වූ තරුණියක් බවය.

මම ඉගෙනගත්තේ ගොඩක් දුප්පත් ළමයි ඉගෙනගන්න පාසලක. මට සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ. ඒ නිසා එකොළහ වසරෙදි මම පාසල් ගමන නැවැත්තුවා. ඊටපස්සේ මම ගුවන් සේවිකාවක් වෙන්න හීන දැක්කා. ඒත් ඒකට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනනේ. ඒ කාලෙ මට හරිහමන් ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඒ හින්දා ඒ හීනෙත් අතඇරලා දාන්න සිද්ධ වුණා.”

පාසල් අධ්‍යාපනයට සමු දී අවුරුදු 18න් පමණ විවාහ දිවියට එළැඹුණු බව ඕ කීයන්නීය.

මගේ ප්‍රථම ප්‍රේමය එක්ක තමයි මම විවාහ වුණේ. කසාද බැඳලා අවුරුද්දකින් මට පුතා ලැබුණා. එතකොට මට අවුරුදු 19යි. තවත් අවුරුදු දෙකක් විතර යනකොට අපි අතර නොගැළපීම් තියෙන බව දෙන්නටම තේරුණා. ඉතින් දෙන්නම කතාබහ කරලා වෙන්වෙන්න තීරණය කළා. ඒත් තවමත් අපි නීත්‍යානුකූලව වෙන්වෙලා නැහැ. ඔහු නැවත විවාහ වෙන්න යන නිසා ළඟදිම මම ඔහුට නීත්‍යානුකූලව වෙන්වීම ලබාදෙනවා. හැබැයි ඒ මොන ප්‍රශ්න වුණත් අදටත් අපේ හිත්වල කිසිම තරහක් නැහැ.”

පියුමි නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයට පා තබන්නේ වයස අවුරදු 21ක් වනවිටය.

මගේ පරණ සැමියා හරියට පත්තර බලනවා. ඉතින් බියුටි පැජන්ට් එකක් ගැන පත්තරේක දාලා තිබුණු දැන්වීමක් දැකලා මටත් ඒකට ඇප්ලයි කරන්න කියලා එයා කිව්වා. මම එදා ඒ පැජන්ට් එකට ගියා. හැබැයි ඒකෙන් ජයග්‍රහණයක් ලබාගන්න මට බැරි වුණා. ඉතින් නිකන්ම ගමනක් යනවට වඩා යමක් කමක් ඉගෙනගෙන ගමනක් යන එක හොඳයි කියලා පස්සේ මමත් හිතුවා.”

නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂා කළ ඇය රොසෑන් ඩයස් නිරූපණ පාසලෙන් නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් ලබාගන්නේ ඉන් අනතුරුවය.

ඊටපස්සේ සහභාගි වුණු බියුටි පැජන්ට්වලින් ජයග්‍රහණ කීපයක්ම ලබාගන්න මට පුළුවන් වුණා.”

වරක් තුර්කියේ පැවති ‘Future Fashion Face of The World’ තරඟයෙන් රටවල් 50ක සුරූපිනියන් පරදවා ආසියාවේ හොඳම නිරූපිකාව ලෙස කිරුළු පැළඳීමටද ඇය සමත් වී ඇත.

නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට අමතරව නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙසත් මම කටයුතු කරනවා. ඉන්දියාවේ මලයාලම් චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහාත් මට ආරාධනා ලැබුණා. මේ වෙනකොටත් ඒ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා ඉවරයි.

තනි මවක ලෙස ජීවත් වන ඇය තම පුතු වෙනුවෙන් කරනා කැපකිරීම් පිළිබඳව පවසන්නේ මෙවැන්නක්ය.

මට නොලැබුණු හැමදේම මගේ දරුවට දෙන්න තමයි මට ඕනේ. ඒ නිසා පුළුවන් හොඳම විදිහට මම ඔහුට සළකනවා. හැබැයි තනි මවක් විදිහට අසරණ වුණු තැන් නැහැයි කියලා මම කියන්නේ නැහැ. මගේ පුතා ඉගෙනගන්නේ ජාත්‍යන්තර පාසලක. පාසලේ දෙමාපිය රැස්වීම්වලට ගොඩක් දරුවන්ගේ අම්මයි තාත්තයි දෙන්නම එනවා. එතකොට පුතාට දුකයි කියලා මම දන්නවා. ට්‍රිප් එකක් යනකොට එහෙමත් හැමෝගෙම තාත්තලා එනවා කියලා පුතා මට කියද්දි මට ලොකු වේදනාවක් දැනෙනවා. එයා කැමති තැන්වල එක්කන් ගිහින් එයාව හැමවෙලේම සතුටින් තියන්න මම උත්සාහ කරන්නේ ඒකයි.”

පියුමි හංසමාලි නම් ඇය අඳින පළඳින ක්‍රමය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි බව බොහෝදෙනාගේ මතයයි. බොහෝවිට ඇය සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වන්නේද මේ කාරණය නිසාය.

මට තවම අවුරුදු විසිඅටයි. ඉතින් ලස්සනට ඇඳුම් අඳින්න, ෆැෂන් කරන්න මමත් කැමතියි. අනික ලංකාවේ ෆැෂන් කරන එකම කාන්තාව මම නෙවෙයිනේ. හැබැයි ගොඩක්දෙනාට පේන්නේ මම කරන දේවල් විතරයි. මනුස්සයෙක් වුණහම තරුණ කාලේ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න ඕනේ. මොකද වයසට ගියහම ෆැෂන් කරන්න බැහැනේ. විඳින්න පුළුවන් කාලේ ජීවිතේ නොවිඳ හිටියොත් වයසට යද්දි ජීවිතේ ගැන කළකිරීමක් ඇතිවෙනවා කියලයි මම නම් හිතන්නේ.

ඇය කියන්නේ කාන්තාවක් විවාහ වූ පසුවත් සුන්දරව සිටීම වැදගත් බවයි.

තමන්ගේ බිරිඳ ලස්සනට ඉන්නවා දකින්න ගොඩක් සැමියන් කැමතියි. බහුතරයක් කාන්තාවන් විවාහයෙන් පස්සේ රූපය ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ. ගොඩක් පවුල්වල ආරවුල් ඇතිවෙන්නෙත් ඕන්න ඔය හේතුව නිසයි. විවාහ වුණා, දරුවන් ලැබුණා කියලා තමන්ව අතඇරලා දාන්න එපා. හැමවෙලේම ලස්සනට ඉන්න බලන්න. සැලුන් යන්න. ජිම් යන්න. සල්ලි නැත්නම් ගෙදරදිම ව්‍යායාම ටිකක් කරන්න. ස්වභාවික දේවල්වලින් ලස්සන වෙන්න බලන්න. උනන්දුව, උත්සාහය තියෙනවා නම් ඕනම කෙනෙක්ට ලස්සනට ඉන්න බැරිකමක් නැහැ.

හැබැයි තමන්ගේ බිරිඳට දිගට දිගේ ඇඳුම් අන්දලා, බිත්ති හතරට කොටු කරලා තියන පිරිමිත් ඉන්නවා. හැම කාන්තාවකටම ඇයගේ ජීවිතේ විඳින්න නිදහසක් තියෙන්න ඕනේ. යම් කෙනෙක් ඒ නිදහස නැති කරනවා නම් ඒක හරි වැරදියි.”

ඇය කියන්නේ යම් කාන්තාවකට තමාව අහිමි වන බැඳීමක් තුළ ඇය සිරගත විය යුතු නැති බවයි.

මමයි, හස්බන්ඩුයි ගොඩක් සතුටින් ජීවත්වෙනවා කියලා ලෝකෙට පෙන්නගෙන විවාහය ඇතුළේ අනේකවිධ දුක්විඳින කාන්තාවන් ගැන මම දන්නවා. එහෙම දුක් විඳ විඳ ජීවත්වෙනවට වඩා ගැළපෙන්නේ නැති තැන්වලින් ඈත්වෙලා සතුටින් ඉන්න එක හොඳයි. දෙන්නා දෙමහල්ලෝ සතුටින් ඉන්න පවුලුත් තියෙනවා. එහෙම පවුල් ඇත්තටම හරි පිංවන්තයි. එහෙම සතුටක් ලබන්න තරම් මම නම් පිං කරලා නැහැ. ඒ නිසා මෙහෙම තනියම ජීවත්වෙන එක මට හොඳයි.”

වරින්වර මතුවුණු ඇතැම් සිදුවීම් සමඟ ඇය අවේගශීලීව හැසිරුණු අවස්ථාවන් නොතිබුණාම නොවේ.

බොරුව, අසාධාරණය කියන දේවල්වලට මම කැමති නැහැ. ඉතින් ඒ වගේ දේවල්වලදි බොහොම අවේගයෙන් කෝපය පිටකරපු තැන් තිබුණා. දුක, තරහා හිතේ තද කරගෙන ජීවත්වෙන ගැහැනුත් ඉන්නවා. මට නම් එහෙම ජීවත්වෙන්න බැහැ. හිතට එන ආවේගය එක්ක සමහර වැරදි වචනත් පිටවෙනවා. ඒක වරදක් කියලා මම පිළිගන්නවා.

අපි හොඳක් කළත් නරකක් කළත් බණින්නම බලාගෙන ඉන්න පිරිසකුත් මේ සමාජයේ ඉන්නවනේ. ඉතින් ඒවා ගැන නොහිතා මට කැමති විදිහට මම ජීවත් වෙනවා.

බඩගින්න, වේදනාව කියන දේවල් ගැන මම හොඳට දන්නවා. ඒ නිසා මට පුළුවන් විදිහට මම අනිත් අයට උදව් කරනවා. පාරට ගියත් සීයා කෙනෙක්ට කෑම එකක් හරි අරන් දීලා තමයි මම ආයෙත් ගෙදර එන්නේ. ඒ දේවල්වලිනුත් මම යම් සතුටක් ලබනවා.

ඉස්සර පැජන්ට් එකකට යන්න හීල්ස් දෙකක් ගන්න මගෙ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒත් අද මට ඕන කරන හැමදේම මගේ ගාව තියෙනවා. ඉතින් කවුරු කොහොම කිව්වත් මම ඉන්න තැන ගැන මම සතුටුයි.”

 

සෙව්වන්දි  හෙට්ටිආරච්චි