විශේෂාංග

පැමිණිල්ලක් කරන්න ගියපු මට පාදුක්ක පොලිසියේ නිලධාරීන් අතවර කළා

පසුගිය දිනක පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය තිස්පස් හැවිරිදි කාන්තාවකට පොලිස්  නිලධාරීන් පිරිසක් පහර දී, ලිංගික අතවර කිරීමට ගිය බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා කරළියට පැමිණියේය. එම කාන්තාවගේ කතාව ඇසූ බොහෝ අය කියා සිටියේ යුක්තිය පසිඳලීමට සිටින පොලිස් නිලධාරීන් මෙසේ හැසිරීම ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවයි. කෙසේවෙතත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට අප මෙම සිදුවීමට මුහුණපෑවා යැයි කියන ලිලානි දයාරත්න සමඟ කතා කළෙමු.

අපි එච්චර  ඇති හැකි පවුලක් නෙවෙයි. අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ වෙනකොට ලොකු දුවට අවුරුදු දාසයක්. මමයි, මහත්තයයි යන්තම් දරුවන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්නෙ සුළු රැකියාවල් කරලා. අපි දෙන්නම හම්බ කරන්න ගිහාම අපේ මහගෙදරින් තමයි වැඩි හරියක් දරුවො ගැන හොයලා බලන්නෙ. එදා ජූනි 20 වෙනිදාත් මමයි, මහත්තයයි ගෙදර ආවහම අපේ නෑදෑ වෙන පුතෙක් කිව්වා අපේ ලොකු දුව කාත් එක්කදෝ ෆෝන් එකෙන් කතාබහ කරන ගමන් ෆොටෝ පවා හුවමාරු කරගන්නවා දැක්කා, පොඩ්ඩක් හොයලා බලන්න කියලා…”

එසැණින් තම වැඩිමහල් දියණියගේ ජංගම දුරකතනය සෝදිසි කර බැලූ ලිලානිටත්, සැමියාටත් දකින්නට ලැබුණු දෙයින් දෙදෙනාම ඇස් උඩ ඉන්දවා ගත්තාහ.

ඒ වෙලාවෙ අපි දැක්කා දුවගේ ෆෝන් එකට පිරිමි ළමයෙක් නිරුවත් ෆොටෝ එවලා තියෙනවා. අනිත් පැත්තට අපේ දුවත් එයාගේ නිරුවත් ෆොටෝ යවලා තියෙනවා දැක්කම අපි දෙන්නාට පොළොව පලාගෙන යන්න හිතුනා…”

ඔවුන් විසින් සිය දියණියගෙන් මේ ගැන විමසූ පසුව, ඇය හඬමින් කියා සිටියේ තමා ෆේස්බුක් හරහා දිල්ශාන් නමැති පිරිමි ළමයෙකු සමඟ පෙම් සබඳතාවයක් ඇති කරගත් බවත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා මෙවැනි දෙයක් කිරීමට පෙළඹුණු බවත්ය.

මමයි, මහත්තයයි ඒ ගැන අහන්න ඒ පිරිමි ළමයට කෝල් කරාට පස්සෙ අපිට කැත විදිහට බැනලා , රෑ එළිවෙන්න කලින් ගෙට පැනලා දුවව අරන් යනවා කියලා තර්ජනය කරා.”

හරි වැරැද්ද හොයන්නට පෙර තම දරුවාගේ ආරක්ෂාව තර කිරීමට සිතූ ඔවුහු මේ සම්බන්ධව පාදුක්ක  පොලිසියේ පැමිණිල්ලක් දැමීමට ඒ මොහොතේම නිවසින් පිටත් විය.

පස්සෙ අපි පුළුවන් ඉක්මණට පාදුක්ක පොලිසියට ගිහිල්ලා දුවගේ ෆෝන් එකේ තිබුණ ෆොටෝ, මැසේජ්, වීඩියෝ සේරම පෙන්නලා පැමිණිල්ලක් දාන්න ඕන කියලා කිව්වා. ඒත් ඒ වෙලාවෙ  කාන්තා පොලිස්  කාර්යාංශයේ කවුරුත් නෑ කියලා එයාලා අපිට පහුවදාට එන්න කිව්වා. අපේ දුවව අරන් යනවා කියපු නිසා අපිට පහුවදා වෙනකන් ඉන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. අපි ඒ වෙලාවෙම මිරිහාන පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් දැම්මා.”

මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දැමූ බව කියා සිටීමටත්, පහුවදාට නැවත පැමිණීමට අවශ්‍යද කියා දැනගැනීමටත් ඔවුන් නැවතත් පාදුක්ක පොලිසිය වෙත ගියේ මිරිහාන පොලිසියේ සිට ආපිට නිවසට යන අතරතුරය.

ඒත් එතකොට පාදුක්ක පොලිසියෙන් අපිට කිව්වා මිරිහානේ පැමිණිලි දැම්මට වැඩක් නෑ ගමේ පොලිසියෙත් පැමිණිලි කරන්න ඕනේ කියලා. ඒත් අපි ඇහුවාම ඒ වෙලවෙත් කාන්තා පොලිස් කාර්යාංශයේ කිසිම කෙනෙක් හිටියෙ නෑ. ඊටපස්සෙ පොලිසියෙ අය එයාලට ඕන විදිහට පැමිණිල්ලක් ලියලා මහත්තයට කිව්වා අත්සන් කරහන් කියලා. අත්සන් කරලා තප්පරයක් යන්න කලින් ඒ අය මහත්තයට කිව්වා උඹ පලයන් කූඩුව ඇතුළට කියලා. ඊටපස්සෙ උඹ ළමයි එක්ක එළියෙන් වාඩිවෙලා හිටපන් කියලා මට පුටුවක් ගෙනත් දුන්නා. ඒ වෙලාවෙ මමයි, මහත්තයයි කෑගහලා ඇහුවා පැමිණිල්ලක් දාන්න ආපු අපිව කූඩු කරන්නේ මොන වරදක් කරාටද කියලා. ඊටපස්සෙ කිව්වා කූඩුවෙ දාලා පොලිසියේ තියාගන්නෙ අපේ ආරක්ෂාවට කියලා. කෑගහලා, පින්සෙන්ඩු වෙලා බැරිම තැන මහත්තයා කිව්වා එයාව තියාගෙන මාවයි දරුවන්වයි ගෙදර යවන්න කියලා. ඒත් කිසිම කෙනෙක් අපිව කනකට ගත්තෙ නෑ. අන්තිමට මහත්තයාට කූඩුවෙම බිම වැටිලා නින්ද ගියා. දරුවොන්ටත් එයා ළඟම කූඩුවෙන් එළියේ නින්ද ගියා.”

ඒ වනවිටත් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබූ අතර, ලිලානි පොලිස් නිලධාරියෙකුගේ සහාය පැතුවේ වැසිකිළිය තිබෙන තැන සොයාගැනීමටය.

ඒ වෙලාවෙ මම හිටියෙ බඩගින්නටයි, මහන්සියටයි හෙම්බත් වෙලා. පොලිසියෙ කෙනෙක් කිව්වා වැසිකිළිය තියෙන තැන පෙන්නන්න එයාගෙ පස්සෙන් එන්න කියලා. මම වැසිකිළියට යද්දි ඒ හතරවටේම දාලා තිබුණ ලයිට්, එළියට එනකොට සේරම නිවලා දාලා තිබුණා. එකපාරටම මාව එක්කගෙන ආපු පොලිස් නිලධාරියා කළුවරේම මගේ ළඟට ඇවිත් මගෙ අත් දෙකෙන් තද කරලා අල්ල ගත්තා. මං ඒ මොකද කියලා ඇහුවහම කිව්වා මිනිහව නිදහස් කරගන්න ඕනෙ නම් මගේ උවමනාවක් තියෙනවා ඒක කරලා දීපන් කියලා. ඒ වෙලාවෙ මං බයට හයියෙන් කෑගහද්දි ඒ මනුස්සයා මගේ කට තදකරලා වහගත්තා. ටික වෙලාවක් යද්දි තවත් සිවිල් පොලිස් කට්ටියක් එතෙන්ට දුවගෙන ආවා. ඊට පස්සෙ මේකිට මේවා මෙහෙම කියලා හරියන්නෑ කියලා කට්ටියම මට පොලුවලින් ගහන්න ගත්තා. ඒත් එක්කම තව කෙනෙක් මගෙ කොන්දට පයින් පාරක් ගැහුවා. ඒ වෙලාවෙ මගෙ ඇස් දෙක නිලංකාර වෙලා ගිහින් ටැප් එක ළඟ වතුර ගොඩේ ලිස්සලා වැටුණා.

මට ආපහු සිහිය එනකොට එයාලා මාව හිටපු තැනටම ගෙනත් දාලා තිබුණා. පස්සෙ මම කූඩුව ළඟට ගිහින් මහත්තයාව ඇහැරවලා වෙච්ච දේ කිව්වම එයා කිව්වා උදේට ඕ.අයි.සී. මහත්තයා ආවහම කියමු කියලා.”

පසුදින ස්ථානාධිපතිවරයා කැඳවූ පසුව සියල්ල පවසා සාධාරණයක් ලබා ගැනීමට බලපොරොත්තු වුවද සියල්ල සිදුවූයේ කණපිටටය.

.අයි.සී. මහත්තයා අපිව දැක්ක ගමන් කැත විදිහට අපිට බනින්න පටන්ගත්තා. අපි ආවෙ කොහෙන්ද, මොකට ආවද ඒ කිසිම දෙයක් කියන්න ඉඩක් දුන්නෙ නෑ. උඹේ ළමයව වැදුවෙ මමද? හැදුවෙ මමද? කියලා ඇහුවා. උඹේ ළමයට ෆෝන් දීලා ඇඟ වීඩීයෝ කරලා පිරිමින්ට යවන්න කිව්වෙ මමද කියලා ඇහුවා. උඹේ මිනිහගෙ කට වැඩියි, අවුරුදු ගානකට ඇප ගන්න බැරි වෙන්න හිරේ යවනවා කිව්වා.”

පසුව ඔවුන්ව නිදහස් කළද, පැමිණිල්ලක් දැමීමට ගිය ඔවුන්ට සැකකරුවන් ලෙස පොලිස් ඇප පිට එළියට ඒමට සිදුවීම පුදුමසහගතය.

මගේ ෆෝන් එක තාම තියෙන්නෙ පාදුක්ක පොලිසියෙ. එයාලා ඒක නඩු භාණ්ඩයක් විදිහට උසාවි දානවා කියලා තියන් ඉන්නවා. ඒත් නඩු දානවද, නැද්ද, මොකටද කියලා අපිට පැහැදිලිව කියන්නෙ නෑ.”

ලිලානි පවසන්නේ ඔවුන් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයත්, පොලිස්පති කාර්යාලයත් දැනුවත් කර පැමිණිලි කළද මේ වනතුරුත් නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බවයි.

පසුව අප පාදුක්ක පොලිසිය ඇමතුවේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරක්  දැන ගැනීමටය. එහිදී පාදුක්ක  පොලිසියේ පොලිස්  නිලධාරී උදය කුමාර මහතා (97016) පවසා සිටියේ මෙවැනි දෙයකි.

ඔය කියන පවුලේ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නෙවෙයි. අපි දන්න තරමින් ඒ ගෑනු ළමයත් එච්චර හොඳ චරිතයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ අය පොලිසියත් එක්ක තියන මොන තරහකට මෙහෙම කරාද කියාලා අපි දන්නෙ නෑ. කොහොම වුණත් අපිට කියන්න තියෙන්නෙ මේක බොරු පැමිණිල්ලක්, අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි.”

නඩුත් හාමුදුරුවන්ගේ වී බඩුත් හාමුදුරුවන්ගේ වූ කල මීට වඩා දෙයක් නීතිය තුළින් බලාපොරොත්තු විය නොහැකිය. මේ ‘SYSTEM ’ එක කවදා කොතැනකදී කොහොම වෙනස් වේදැයි කියන්නට අප දන්නේද නැත. ඒ නිසා විශේෂයෙන්ම තරුණ ගැහැණු දරුවන් මෙවැනි සිදුවීම්වලින් පාඩම් උගෙන කටයුතු කරන්නේ නම් හොඳ බව අපේ අදහසයි. එසේම යුක්තිය පසිඳලන ආයතනවලදී මෙවැනි අකටයුතුකම් සිදුවන්නේ නම් ඔබ කළ යුතු තවත් යමක් ඇත. එනම් ඔබට සිදුවන අසාධාරණය පිළිබඳ කිනම් හෝ ඩිජිටල් සාක්ෂියක් ඉතිරි කරගැනීමයි. එවිට බෝල පාස් කිරීම තවදුරටත් කිසිවෙකුටත් පහසු නොවනු ඇත.

ලිහිණි මධුෂිකා