විශේෂාංග

අම්මාට ගහන්න උස්සපු මන්නෙට දුවගේ ඇඟිලි දෙකක් කැපිලා

වැරදි මගක ගියත්, මග වැරදී ගියත් දරුවෙකුට ඇති එකම පිහිට අම්මා යැයි කීම වරදක් නැත. ඒ මව්හත් ගුණය නිසා අම්මාවරුන් සෑම මොහොතකම තම සතුටට වඩා ප්‍රාර්ථනා කරන්නේ දූ දරුවන්ගේ සතුටයි.

මේ කියන්නට යන විමලාවතී අම්මාද තම එකම දියණිය සරෝජා ගැන හිතුවේ එපරිද්දෙනි. අනුරාධපුර නගරයෙන් එපිට පිටිසරට වන්නට ජීවත්වූ විමලාවතීගේ සිහින බොඳවී යන්නේ, සැමියා රිය අනතුරකින් ජීවිතය හැරයාමත් සමඟය. ඒ වනවිට සරෝජා දො‍ළාස් හැවිරිදි දැරියකි.

සරෝජාගේ බඩ කට පුරවනවා වාගේම ඇයට කෙසේ හෝ උගන්වන්නටද විමලාවතී අම්මාට බලාපොරොත්තුවක් තිබුණි. ඒ නිසාම නිවෙස්වල බැලමෙහෙ කරමින්ද, කඩයප්පන් හදමින්ද කීයක් හෝ සොයා ගන්නට ඈ බොහෝ වෙහෙසුනාය.

එහෙත් හිරිමල් වියට ළංවෙත්ම සරෝජාගේ හිත ගියේ ඉගෙනීමට නොවේ. වයස දාහතර, පහළොව වනවිට ඇය පෙම්වතුන් කිහිපදෙනෙකුම ඇසුරු කර තිබුණාය.

‘‘දරුවෝ මේ වයස හැමදාම එන්නේ නෑ. බලපං අද මං ගුරුවරු ඉස්සරහත් ලැජ්ජා වුණා. ඒකට කමක් නෑ උඹ දැන්වත් ගුරුවරු කියන දේ අහපං.’’

විමලාවතීව පාසලට කැඳවා තමන් ඉදිරියේ සරෝජාට අවවාද කළ දා ඇය එම ඉල්ලීම කළාය.

එහෙත් සරෝජා හිටි​යේ මේ කිසිවකුගේ උපදෙස් ඇසෙන මානයක නොවේ. පාසලේත්, පාසලෙන් පිටත් පෙම් කතා කිහිපයක් තම නම ඉදිරියේ කියැවෙද්දී සරෝජා ඉගෙනුම ලැබුවේ දහය වසර පන්තියේය.

කාලය ගෙවී යමින් ඇය දාසය වියැති වයසට පැමිණ සිටියාය. සාමාන්‍ය පෙළ විභාගයට හෝ පෙනී නොසිටි සරෝජා ගමේ වූ දඩබ්බරම තරුණයෙකු හා රහසේ පැනයන්නේ මේ අතරය. ඒ ගමට පමණක් නොව අහල ගම් හත අටටම නිතිවිරෝධී මත්පැන් සපයන කසිප්පු මුදලාලිගේ පුතෙකු සමඟය.

මේ සිදුවීමත් සමඟින් විමලාවතී අම්මාට දැනුණේ කියාගත නොහැකි තරමේ වේදනාවකි. අසරණකමකි. පන්සිය පනස් ජාතක පොතේ කලන්දක ජාතකයෙන් කියැවෙන්නේ දියට වැටුණු ලේන් පැටවා ගොඩ ගන්නට ​ලේන් අම්මා වලිගයෙන් මුහුද හිස් කරන්නට වූ කතාවයි. ඒ වාගේම තමන්ට ලැබුණු හෝඩුවාවන්ට අනුව යමින් ඇය දියණිය ඉන්නේ කොහිදැයි විපරම් කරන්නට වුවාය. හැඬූ කඳුළින් දියණිය සොයා ගම පුරා යද්දී විමලාවතී අම්මා ගැන ඇතැමුන් කතා කළේ අනුකම්පාවෙනි. තවත් අය නොයෙකුත් කතා කීහ. මේ කිසිඳු කතාවකින් විමලාවතීගේ හිතේ වූ දරුපෙම නම් නැතිවූයේ නැත. එය මහා ගින්දරක්ව ඇගේ හිතට දැනෙමින් තිබුණාය.

ගමේ ග්‍රාමසේවක මහතා විමලාවතී අම්මාව සිය කාර්යාලයට කැඳවන්නේ මේ අතරය.

‘‘තවම තමුන්ගේ දුවට වයස දාසයයි. කසාද බඳින වයසක් නෙවෙයි. තමුනුත් මේ පළහිලව්වට උදව් කළා කියලා කතාවක් තියෙනවා.’’

ග්‍රාම නිලධාරිවරයා කියද්දී විමලාවතී අම්මා මහහඬින් වැළපෙන්නට වූවාය. ඒ තම දියණියට ඉගැන්වීමේ සිහිනය මිස මගුල්තුලා කරදීමේ ඕනෑකමක් කිසිදාක තමන්ට නොවූ නිසාය.

කෙසේ හෝ මෙම පුවත ග්‍රාම නිලාධාරීවරයා පොලිසියට දැනුම් දුන්නේය. තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ විමලාවතීගේ දුක වැඩි කරමිනි. දුව කොහෙදැයි, ඇය හොඳින්දැයි ඕ නිතර කල්පනා කළාය.

‘‘විමලාවතී අන්න තමුන්ගේ දුව පොලිසියේ ඉන්නවා.’’

පොලිස් නිලධාරියෙකු ගේ ළඟට පැමිණ කී සැනින් විමලාවතී පොලිසියට ගියා නොව ඉගිලුනාය. ඇය යනවිට සරෝජා පොලිසියේ බංකුවක වාඩිවී සිටියාය. විමලාවතී දියණියව තුරුළු කරගත්තේ මහත් ආදරයෙනි. එහෙත් දුව අම්මා දෙස බැලුවේවත් නැත.

‘‘දුවේ කෝ අර දරුවා?’’

‘‘ඔය ඉන්නෙ කූඩුවේ. දැන් අම්මට සන්තෝෂයිනේ. ඕකටනේ ග්‍රාමසේවක ගාවට ගිහින් පැමිණිලි කළේ.’’

සරෝජා ඉන්නේ කේන්තියෙනි. ඇයගේ මුහුණද තරහෙන් පිරී ගොසිනි.

විමලාවතීට යළිත් ඉකිගැසිනි. ග්‍රාමසේවක තමාගෙන් තොරතුරු විමසුවා මිස තමා ග්‍රාමසේවක මහතාට කී දෙයක් නැත.

කෙසේ හෝ සරෝජා බාලවයස්කාරියක නිසා විමලාවතී අම්මාට නැවත ඇයව භාර කෙරිනි. බාලවයස්කාරියක් අපහරණය කිරීමේ වරදට ඇගේ පෙම්වතාට එරෙහිව චෝදනා නැගුනි. ගොනුකළ නඩුවට අනුව ඔහුට සිරගත වන්නට සිදුවිය.

විමලාවතී අම්මා සරෝජාව පෙර සෙනෙහසින්ම ගෙදර කැඳවාගෙන ගියත් ඇය සිටියේ මව සමඟ තරහිනි. එය වෛරයකට පෙරලෙමින් තිබුණි. අහිංසක විමලාවතී ඒ වගක් නොදැන සිටි අතර, සරෝජාට නොවෙනස්ව සෙනෙහස පෑවාය.

‘‘දැන් බොරුවට මට ආදරේ පෙන්නලා වැඩක් නෑ. තමුන් නිසා තමයි අර කොල්ලා හිරේ ගියේ.’’

සරෝජා නිතර නිතර කෑගැසුවාය. විමලාවතී කළේ ඒ වෙලාවට හීල්ලීම පමණි.

එහෙත් සරෝජාගේ හිතේ වූ වෛරය ඔඩුදුවමින් තිබුණි. ඇය එසේ සිතන්නේ තම ආදරණීය අම්මා කෙරෙහි වග සිතන්නටවත් ඇයගේ මනස නිරවුල්ව තිබුණේ නැත.

දවසක් විමලාවතී අම්මා කුස්සියේ මිරිස් අඹරමින් සිටියාය. සරෝජා මාන බලමින් සිට මවට මන්නා පහරක් එල්ල කරන්නේ ඇගේ කෙස්වැටියෙන් අල්ලාගෙනය. එහෙත් එය වැරදීගොස්, මන්නය බිත්තියේ වැදී යළි සරෝජාගේ වම් අත මත පතිත වන්නේ නොසිතූ ලෙසය. විමලාවතී අම්මාද සුළු තුවාල ලබන අතර, සරෝජාගේ දඹරගිල්ල හා තවත් ඇඟිල්ලක කොටසක් කැපී බිම වැටෙන්නේ ඇයට නොදැනුණු මව් සෙනෙහස මන්නා පිහියට දැනුණු නිසාදැයි කියන්නට නොදනී. මෙය නම් දිට්ඨධම්මවේදනීය කර්මය පලදුන්නාක් වැනි දෙයකැයි ඇතැමුන් කීවත් සරෝජා​ චෝදනා කළේ අම්මාටය. අම්මා තමාට පහර දුන්නායැයි ඇය පොලිසියේදී කීවාය. එහෙත් විමලාවතී සත්‍ය සිදුවීම පොලිසියට පැහැදිලි කළාය. සරෝජාටද අනතුරුව ඇත්ත පිළිගන්නට සිදුවිය.

‘‘දරුවගේ වරදක් නෑ රාළහාමි. මම මේ විවාහය වෙනවට කැමතියි.’’

විමලාවතී අම්මාගේ හිත දරුපෙමින් පොහොසත් බව ඇය නැවත පෙන්වුවාය. ඒ මව්ගුණය කවදා හඳුනාගන්නට සරෝජාට හැකිවේදැයි අප දන්නේ නැත. එහෙත් දරුවෙකුට ඒ මව්ගුණය තරම් ජීවිතයට මඟපෙන්වන්නක් නම් මේ ලොව තුළ තවත් නැතැයි කීම නම් වරදක් නොවේ.

(පොලිස් වාර්තා අනුව සැකසුණු මෙය සත්‍ය සිදුවීමකි. නම් ගම් පමණක් මනඃකල්පිතය.)

කේ.එම්.එස්.කරුණාරත්න