විශේෂාංග

මගේ බොස්ට මෝඩයෙක් වෙන්න ඕන

හිතන්න ඔබ අවදි විය යුතු වෙලාවට වඩා පැයක් ප්‍රමාද වී අවදි වුණ දවසක් ගැන. එහෙම දවසට වෙනදටත් වඩා මුලින්ම ඔබට මතක් වෙන්නෙ දවස පුරාවට කරන්න තියෙන වැඩ කන්දරාව. රැකියාවක් කරන කෙනෙක්නම් ඔෆිස් යන්නත් හොඳටම පරක්කු වෙලා. එහෙම වෙලාවට ඔබ හිතනවා, ‘‘අපෝ අද නම් මහ කාලකන්නි දවසක් කියලා…’’ හොඳට මතක් කරලා බලන්න එහෙම හිතුන එක දවසක්වත් ඇත්තටම හොඳ දවසක් වෙලා තියෙනවද?

‘මෙදා නම් විභාගය හොඳටම අමාරුවෙයි… මම පාඩම් කරලාත් නෑනේ!’

‘මේ ඉන්ටවීව් එකෙන් නම් මට පාස් වෙන්න බැහැ!’

‘එයා නම් මට කීයටවත් කැමති වෙන එකක් නෑ!’

මේ වගේ ඍණාත්මක සිතිවිලි (Negative Thoughts) ඔයාගේ ජීවිත කාලය පුරාවට කොච්චර නම් හිතිලා තියෙනවද? අද දවසටම කොච්චර හිතුවද? එහෙම හිතපු එක අවස්ථාවකදීවත් ඔයා කරන්න ගිය වැඩෙන්, යන්න ගිය ගමනෙන් හෝ විභාගයෙන් අතිසාර්ථක ප්‍රතිඵල ලැබුණද?

ඔයා නොදැනුවත් වුණාට ඔයාගේ මනස ඇතුළේ ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න ලෑස්ති වුණ, පුදුමාකාර තරම් කීකරු, ඒ වගේම පක්ෂපාතී සේවකයෙක් ඉන්නවා. එයාට අපි කියන්නේ Subconscious Mind (යටි සිත) කියලයි. ඔයා ඉල්ලන්නේ මොනවද ඒ දේ ගෙනත් දෙන්න මෙයා බැහැලම වැඩ කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ සේවකයා හරිම මෝඩයි. ඔයා ඉල්ලන දේවල් හොඳද නරකද කියලා වෙන්කර ගන්න එයාට හැකියාවක් නෑ. ඒ නිසා ඔයා හොඳ දෙයක් ඉල්ලුවත් නරක දෙයක් ඉල්ලුවත් ඒක ඔයාට ඒ විදිහටම ලබාදෙන්නයි එයා උත්සාහ කරන්නෙ.

‘මට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ! අනිත් යාළුවෝ එක්ක බලද්දි මම මහම මහ මෝඩයෙක්!’

මේ වගේ වාක්‍යයක් නිතර නිතර කටින් කියනකොට, හිතින් හිතෙනකොට, ඔයාගේ පක්ෂපාතීම සේවකයා හිතනවා, ‘මගේ බොස්ට මෝඩයෙක් වෙන්න ඕන. එයාට මතක හිටින්න හොඳ නෑ. මම ඒකට එයාට උදව් කරන්න ඕන කියලා. ඒ වගේම එයා ඒකට ඕන පසුබිම හදනවා. ඉතින් කාලයක් යද්දි ඔයාට තේරෙනවා කලින්ටත් වඩා ඔයාගේ මතක ශක්තිය දුර්වල වෙලා කියලා. ඔයාගේ හැකියාවන් මාරම විදිහට මොට වෙලා කියලා. ඒත් ඔයා තේරුම් ගන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැමදේකටම වග කියන්න ඕන ඔයාමයි කියලා.

ගොඩක් සාර්ථක ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන්, නළු නිළියන් වගේ සමාජයේ බොහෝ ඉහළ තැන්වල සිටින මිනිස්සු Positive Thinking (ධනාත්මක සිතුවිලි) ගැන සෑහෙන්න විශ්වාස කරන්නේ මෙන්න මේ නිසයි. සරලවම කියනවා නම් ‘සිතන දේ යථාර්ථය බවට පත්වෙයි’ කියන සංකල්පය. භාවනාව, යෝගා, Mind maps, Law of vibration, Visualization වගේ තවත් බොහෝ ක්‍රමවේද මෙන්න මේ Positive Thinking එකත් එක්ක ගසට පොත්ත වගේ බැඳිලා තියෙනවා. ගොඩක් දෙනෙක් කරන වැරදි දෙයක් තමයි ජීවිතය වෙනස් කරගන්න හරි අත්තිවාරමක් නැතුව එකපාරටම කුණ්ඩලනී භාවනා ක්‍රම වගේ මහා විශාල දේවල් කරන්න යනවා. එහෙම අය අවසානයේ නවතින්නේ හිටියටත් වඩා තමන්ගේ මානසිකත්වය පහත් තැනකට දාගෙන.

Positive Thinking පටන් ගන්න හොඳම විදිය තමයි මුලින්ම Positive action ආරම්භ කිරීම. මුලින්ම උදේ පාන්දර අවදි වුණ ගමන් ඔයාගේ ඇඳ හදන්න. මේ හරහා ඔයාගේ Subconscious mind (යටි සිත) එකට පණිවිඩයක් යනවා නිදාගැනීමේ කාර්යය මම සාර්ථකව නිම කළා කියලා. කෑම කාලා ඉවර වුණ ගමන් පිඟාන හරියට හෝදන්න. වතුර බීලා ඉවර වුණාට පස්සේ කෝප්පය නියමිත තැන තියන්න. බඩුවක් භාවිතා කළාට පස්සේ තමන්ගේ වැඩේ ඉවර වෙලා ඒක නියමිත තැන අදාළ විදිහට තියන්න. කෑම උයලා ඉවර වුණාට පස්සේ භාජන ටික හෝදන්න අමතක කරන්න එපා. සරලවම කියනවා නම් ඔයා කිසියම් වැඩක් පටන් ගත්තොතින් අනිවාර්යෙන්ම සීයට සීයක්ම ඒ වැඩේ ඉවර කරන්න. මාසයක් මේ දේවල් කරලා බලන්න. ඔයාට තේරේවි කවදාවත් නැති විදිහේ අමුතු ශක්තියකින් ඔයාව පිරිලා යනවා. හිතේ සතුටත් එන්න එන්නම වැඩිවෙනවා. ඔන්න ඔයා දැන් නියම track එකට වැටුනා.

දෙවන අදියරේදී හෙමීට හෙමීට ඔයා කතාබහ කරන වචන සහ සිතුම් පැතුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න පටන් ගන්න. එතැනදී ප්‍රධානම දේ තමයි නැහැ බැහැ කින වචන දෙක ඔයාගේ ශබ්දකෝෂයෙන් ඉවත් කරන එක. අනිත් කාරණය තමයි කවමදාවත් ඔයාව පහතට හෙලන්න එපා.

පුළුවන් හැම වෙලාවකදීම,

‘මම බුද්ධිමත්! මට හොඳට පාඩම් කරන්න පුළුවන්!’

‘මම හරිම ක්‍රියාශීලියි, මට ඕනම අමාරු වැඩක් ගොඩ දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා’

‘මම හරිම දක්ෂයි, හැමෝම මට කැමතියි!’

වගේ දේවල් හිතන්න, මුමුණන්න.

ඔන්න එතකොට ඔයාගේ පක්ෂපාතී කීකරුම සේවකයාට මේ දේවල් ඇහෙන්න ගන්නවා. ඉතින් එයා තමන්ගේ ස්වාමියාට ඒ දේවල් ලබාදෙන්න කටයුතු කරන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න, දවසක් දෙකක් ඔයා මේ දේවල් හිතුවා කියලා තුන්වෙනි දවස වෙද්දි ඔයාට ප්‍රතිඵල ගන්න බැහැ. හේතුව තමයි Subconscious mind (යටි සිත) කියන ඔයාගේ සේවකයා දෙයක් අහන්නේ දිගින් දිගටම එයාට ඒ දේ කිව්වොතින් විතරයි.

මම කියන්නේ නැහැ ඔයා මුළු දවස පුරාම මේ දේවල් මුමුණ මුමුණ ඉන්න උවමනයි කියලා. නිදහ​සේ ඉන්න වෙලාවට දවසට විනාඩි 15ක් විතර ඔයා ගැන ධනාත්මකව හිතුව නම් හොඳටම ඇති. හැබැයි Positive action කියන එක හැමතැනකදිම ප්‍රගුණ කරන්න. කාලයත් එක්ක ඔයාගේ ආත්ම විශ්වාසය සෑහෙන්න වැඩි වේවි. ඒ වගේම මානසික මට්ටම කලින්ටත් වඩා ගොඩක් ඉහළට ගිහින් බව ඔයාටම තේරුම් යාවි. ඒ වගේම ඔයාගේ හැකියාවන් සහ දක්ෂතාවලත් පැහැදිලි වර්ධනයක් පෙනේනට පටන් ගනීවි. ඉඳලා හිටලා ඍණාත්මක දේවල් පොඩ්ඩක් ඔළුවට ආවට කමක් නැහැ. මොකද කොච්චර කිව්වත් සීයට සීයක්ම Positive vibes වල විතරක් ඉන්න එක ප්‍රායෝගික නැහැ.

ඒ නිසා දුර ගමනක් යන්න නම් මුලින්ම මේ විදිහට හොඳ අත්තිවාරමක් දාගන්න. ඊටපස්සේ අපි භාවනාව Mind maps, Visualization, Law of vibration වගේ පැතිවලටත් අනිවාර්යයෙන්ම හැරෙමු.

හසින්ත හේවාවසම්