Latest News

මහ කොටියාගේ හිත හිටිහැටියේ වෙනස් කළ ‘මදිවදිනී’ – වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආදර කතාව

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා වුණු වේළුපිල්ලේ ප්‍රභාකරන් ළඟ තහනම් වචනයක් තිබුණා. ඒ තහනම් වචනය තමයි ‘ආදරය’. මිනිස්සුන්ට මරාගෙන මැරෙන හැටි උගන්නපු ඒ සංවිධානය ඇතුළේ පලිගැනීම ඇරුණුකොට ආදරයේ හෙණැල්ලක්වත් තිබුණේ නැහැ. හැබැයි ඉතින් කොටි කියලා කිව්වට එතැන හිටියෙත් මිනිස්සුනේ. ඒ නිසා සංවිධානය ඇතුළේ හොරා පොලිස් ක්‍රමයට ආදර සම්බන්ධ පැවත්වපු ඈයොත් නොහිටියාම නෙමෙයි. ඒ වුණාට ඒ ප්‍රේම කතා හැම එකකම වගේ අවසානය සනිටුහන් වුණේ වෙඩි උණ්ඩවලින්. කොහොම වුණත් ඒ විදියට ආදරේට කුරිරු වෙච්චි ප්‍රභාකරන්ටත් ආදරෙන් බේරෙන්න ලැබුණේ නැහැ. ඒ ගල් හිතත් අනංගයා ඉස්සරහා හෙල්ලිලා ගියපු දවසක් ආවා. ආදරවන්තයින්ගේ දවසේ මේ කියන්න යන්නේ ඒ කතාව.

1984 අවුරුද්ද උතුරේ කලබල වැඩි කාලයක්. තමන්ගේ අයිතිවාසිකම්වලට කන්දෙන්න කෙනෙක් නැති තැන උතුරේ මිනිස්සු පාරට බැහැලා උපවාස කළා. “උපවාස කරලා දිනන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා සටන් කරන්න” කියලයි දමිළ ජනතාවට ප්‍රභාකරන් කිව්වේ.

සටන් කරලා ලේ හොල්ලන්න අකමැති වුණු යාපනය විශ්වවිද්‍යාලේ ළමයි ටිකක් කොටි සංවිධානයට හොරෙන් අණ්ඩුවට විරුද්ධව උපවාස කරන්න පටන්ගත්තා. තමන්ගේ කීමට පිටින් යන අයට සමාව දෙන සිරිතක් නෑ ප්‍රභාකරන්ට. උපවාසෙ ගැන කනවැකුණු ප්‍රභාකරන් ඒ ශිෂ්‍යයින්ව පැහැරගෙන බෝට්ටුවකින් තමිල්නාඩුවට යැව්වා. පිරිමි ළමයි පස්දෙනෙක් වගේම ගැහැනු ළමයි හතරදෙනෙකුත් පිරිස අතරේ හිටියා.

තමිල්නාඩුවේදි තමන්ට මෙනවා වෙයිද කියලා නොදත්තු ශිෂ්‍යයෝ හිටියේ ජීවිත බයෙන්. හැබැයි එතැන එක ගෑනු ළමයෙක්ට විතරක් තිබුණේ බයක් නෙමේ ලොකු කේන්තියක්. ඒ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක් වෙච්චි මදිවදිනී. 

ටික දවසක් ගියා. එදා හෝලි උත්සවය දවස. පැහැරගෙන ආපු මදිවදිනිලාටත් හෝලි උත්සවේට යන්න අවසර ලැබුණා. ප්‍රභාකරනුත් ඒ වෙද්දි හිටියේ ඉන්දියාවේ. මදිවදිනිලා ගියපු හෝලි උත්සවේට කොටි නායක ප්‍රභාකරනුත් ගියා. තමන්ව පැහැරගන්න අණ දීපු මිනිහා ඈත ඉඳලා එනවා දැකපු මදිවදිනිගේ ඇඟේ මාළු නටන්න ගත්තා. ඇගේ කේන්තිය නිවුණේ පාට වතුර බේසමක් ප්‍රභාකරන්ගේ ඇඟට හැලුවට පස්සෙයි. 

තමන් වගේ දරුණු මිනිහෙක්ට බය නැතිව වතුර ගැහුවේ කවුද කියලා ප්‍රභාකරන් උඩබිම බැලුවා. කේන්තියට ඔහු මදිවදිනිට බොහොම දරුණු විදියට බැන්නා. කොච්චර එඩිතර වුණත් ප්‍රභාකරන්ගේ පරුෂ වචනවලට බයවෙලා මදිවදිනි ඇඬුවා. කාගෙවත් කඳුළු ඉස්සරහා මෙලෙක් නොවුණ මේ මහ කොටියාගේ හිත ඒ ඇඬිල්ල ඉස්සරහා හෙල්ලිලා ගියේ අන්න ඒ වෙලාවෙයි. ඒ ක්ෂණෙන් ප්‍රභාකරන්ට මදිවදිනි ගැන ආදරයක් හිතුණා. එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා. ‘කොටි සංවිධානය ඇතුළේ ආදරේ තහනම් කරපු මම කොහොමද ලැජ්ජා නැතිව ආදරේ කරන්නේ’ කියලා හිතුණත් මදිවදිනී ගැන දැනුණ ආදර හැඟීම ඊට වඩා ප්‍රබල වුණා. ​ඒ නිසා ලැජ්ජාවයි, ආදරේ කරන්න බෑ කියලා තිබුණු නීතියයි පැත්තකට දාලා ප්‍රභාකරන් ඔහුගේ අදහස ගැන මදීට කිව්වා.

හිතක් පපුවක් නැති මිනිහෙක්ට ආදරේ කරන්න ඇය කැමති වුණේ නැහැ. ඒ නිසා ඇය බය නැතිව ප්‍රභාකරන්ගේ මංගල යෝජනාව ප්‍රතික්​ෂේප කළා. තමන් එක්ක විවාහ වෙන්න කියලා බල කළේ නැතත් ප්‍රභාකරන් දිගින් දිගටම මදිවදිනිට තමන්ගේ තියෙන ප්‍රේමය ගැන කිව්වා. මදිවදිනිටත් ඔහු ගැන ආදරයක් ඇතිවෙන්නේ ඒ පෙරැත්තය නිසයි. පස්සේ දෙන්නා කොටි සංවිධානයේ හැමෝටම හොරෙන් ප්‍රේම කළා. 

කැස්සයි, ආදරයයි හංගන්න බෑ කියනවා වගේ මේ ප්‍රේමකතාව සංවිධානයේ අනිත් අය අතරට යන්න වැඩි කාලයක් ගියේ නැහැ. කොටින්ට ආදරේ තහනම් කරපු තමන්ගේ නායකයාගේ වෙස් පෙරළිය සංවිධානේ කාටත් ප්‍රහේළිකාවක් වුණා. කොටි නායකයා වචන වෙනස් කරන මිනිහෙක් කියලා සමහර සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ.ය අතඇරලා යන්න තීරණය කළා. මුළු මුළුවල මීට විරුද්ධව කතා ඇති වුණත් ප්‍රභාකරන්ගේ මූණ ඉස්සරහට ගිහින් “අපිට ආදරේ තහනම් කරන උඹ ආදරේ කරන්නේ ඇයි?” කියලා අහන්න කාටවත් හයියක් තිබුණේ නැහැ.

1984 ඔක්තෝබර් පළවැනිදා මදුරාසියේ මුරුගන් හින්දු කෝවිලේදී ප්‍රභාකරන් තමන්ගේ ආදරවන්තිය මාදිව විවාහ කරගත්තා. මේ මංගල උත්සවයට ඇවිත් හිටියේ නෑදෑ හිතවතුන් සහ ප්‍රභාකරන්ගේ ළඟ මිතුරන් කිහිපදෙනෙක් විතරයි. එදා ප්‍රභාකරන් හිටියේ ටයි එකක් දාලා. හරියට මහත්තයෙක් වගේ. කවදාවත් ටයි නොදාපු ප්‍රභාකරන් දිහා හැමෝම බලන් හිටියේ පුදුමෙන්. ඊටත් වඩා ඒ අය පුදුම වෙන්න ඇත්තේ ආදරය තහනම් කරපු මිනිහා කසාද බඳින එක ගැන වෙන්න ඇති.

ආදරේ, විවාහය කියන්නේ මිනිස්සුන්ට ඕන දෙයක් කියලා ප්‍රභාකරන් තේරුම්ගත්තේ එදා. විප්ලවේදී ආදරය කරන එකෙන් අරමුණ වෙනස් වෙනවා කියපු මනුස්සයාම එදා ඒ නීතිය වෙනස් කළා. තමන් විතරක් විවාහවෙන එක අසාධාරණයක් කියලා තේරුම්ගත්තු ප්‍රභාකරන් ඕනම කෙනෙක්ට කොටි සංවිධානයට බැඳිලා අවුරුදු පහකට පස්සේ විවාහ වෙන්න පුළුවන් වෙන විදියට විවාහ තහනම් නීතිය එදා වෙනස් කළා. ඒ වගේම සංවිධානය ඇතුළේ ආදර කතාවලටත් පස්සේ කොටි නායකයා හරස් වුණේ නැහැ. පහුකාලෙක ප්‍රභාකරන්ට දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. බඳින්න තියා ආදරේ ගැන හැඟීමක්වත් නොතිබුණු මේ දරුණු මිනිහා විවාහ වෙලා දරුවොත් හැදුවේ ඔහොමයි. ලෝකේ දරුණුම මිනිස්සු පවා ආදරේට යටයි. ආදරේ උඩින් යන්න පුළුවන් ජගතෙක් තාම මේ ලෝකේ නැහැ. ඉතින්, මේ ආදරවන්තයින්ගේ දවස ඔබටත් ආදරණීය දවසක් වේවා!

නෙත්මි තෂාරා