විශේෂාංග

ප්‍රී ෂූට්වල නෝනගේ ගවුම උස්සලා බලන පුතාලා මේ ටිකත් බලන්න

ඒ කාලේ ඉඳලම අපේ ඇත්තෝ විවාහය සැලකුවේ මංගල කාරණාවක් විදියටනේ. විශේෂයෙන්ම උඩරට පැතිවල නම් විවාහ චාරිත්‍ර අදටත් අලංකාරයි. ඒ කාලේ අපේ උදවිය මඟුල් පෝරු හැදුවේ පොල්කොළ, තල්කොළ, කිතුල් රෑන්වලින් වැඩ දාලා. එහෙම හදපු පෝරුවල පුදුමාකාර ලස්සනක් විතරක් නෙවෙයි අපේකමත් ගෑවිලා තිබුණා. ඒවගේම දෙපැත්තේම ඉන්න හතරවරිගෙ නෑයෝ එකෙක් නෑරම මේ මඟුල් කෑමට එකතු වෙනවා. දෙන්නා දෙමහල්ලෝ දීග යන්නෙ දැනමුතු වැඩිහිටියන් සහිත මහා සභාවක් මැද. අෂ්ඨක සෙත් ගායනා, උපැහැරණ ගීතවලින් සමන්විත වුණු එදා මඟුල් මහා සංස්කෘතික උත්සවයක්.

හැබැයි ඒ කාලේ වේල් අඳින, තැලි මාල බඳින මඟුල් කියලා ජාතියක් තිබුණේ නෑ. අපිට තිබුණේ කෙළින්ම මනමාලිව ගෙදරට කැන්දාගෙන යන ඉතාමත් සරල මඟුල් ක්‍රමයක්.

එතැනදී මුලින්ම මනමාල පර්ශවයේ උදවිය මනමාලිගේ ගෙදර කඩුල්ල ළඟ ඉඳගෙන ඒ අය ආවයි කියලා දැනුම් දෙනවලු. ඊටපස්සෙ කඩුල්ල ළඟ ඉඳගෙනම තමන්ගේ පාර්ශවයෙන් ආපු පිරිසෙ ප්‍රමාණයට අනුව මනමාලිගේ ගෙදර ඇත්තන්ට බුලත් කොළ ටිකක් දෙනවලු. ගෙදර ඇත්තො ඒ බුලත් කොළ ප්‍රමාණයට අනුව කෑම පිඟන් ටික හදනකල් මනමාල පර්ශවයේ අය කාලේ ගෙවාගන්න කඩුල්ල ළඟ ඉඳගෙන තහංචි කවි කියන සිරිතක් තිබිලා තියෙනවා. මනමාලිගේ ගෙදර උදවියත් කෑම ලෑස්ති කරන අතරතුරේදිම කවියෙන්ම අර තහංචි බිඳින්න ඕනිලු. අන්තිමට මනමාලිව ලකලෑස්ති කරවලා කෑමබීම ටික සූදානම් කරගන ඉවර වුණහම තමයි මනමාල පාර්ශවයේ පිරිසට ගෙට එන්න අවසර දීලා තියෙන්නේ.

එදා ඒ වගේ චාමෙට සරලව තිබුණ මඟුල අද වෙඩින් වෙලා. මනමාලිය කැන්දාගෙන ගෙදරට එන එකට අද කියන්නේ හෝම් කමින් කියලා. එදා පිපාසෙට තැඹිලි ගෙඩියක් දුන්නට අද දෙන්නෙ ජූස් එකක්. දවල් බතට එදා කිරිකොස්, පොලොස් ඇඹුල් තිබුණට අද තියෙන්නේ කොස් පොලොස් ඩෙවල්. උදේවරුවේ මුල් ඇඳුමෙන් ඉන්න මනමාල ජෝඩුව හවසට ඉන්නෙ ඉන්දියානු තාලෙට කුරුතාවක් ලෙහෙන්ගාවක් ඇඳගෙන. අවසානෙට යහළු යෙහෙළියන්ගෙන් අම්බානකට ගුටිබැට කාලා හනිමූන් යන එකත් දැන් මඟුල් ගෙවල්වල අනිවාර්යය අංගයක් වෙලා. එදා තිබුණ අපේ සරල මඟුල මේ විදියට වෙඩිමක් කළේ බටහිර උදවිය කියලයි ගොඩක් අය චෝදනා කරන්නේ. බටහිර සංස්කෘතියට අනුව නම් විවාහය කියන්නේ සැණකෙළියක්. මේ සැණකෙළියෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කැමරාකරුවන්, හෝටල්කරුවන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් කිව්වොත් හරි. හැබැයි ඉතින් අද අපි කතා කරන්න යන්නෙ එදා මෙදා තුර කාලයේ අපේ උදවිය මඟුල් කන විදියේ වෙනස්කම් ගැන නම් නෙවෙයි. මෑත කාලයේ මඟුල් කාපු, මඟුල් කන්න බලාපොරොත්තු වෙන සහ තරුණ තරුණියන් අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වේගෙන එන ලිංගිකත්වය ප්‍රදර්ශනය කෙරෙන අලුත්ම ප්‍රී ෂූට් රැල්ල ගැන.

ඒ ගැන සංවාදයක් ගොඩනගන්න වෙනදා වගේම අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතාට කතා කළා.

මේ කතාවේ මුලදිම එදා සහ අද අපේ සමාජයේ විවාහ මංගල උත්සවවල සිද්ධවෙලා තියෙන වාණිජකරණයේ වෙනස පැහැදිලි කරලා තියෙන නිසා මම ආපහු අමුතුවෙන් ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ. ඒ නිසා මම මේ කතාව විහාරමහාදේවියගෙයි, කාවන්තිස්ස රජතුමාගෙයි ආදර කතාවෙන් පටන්ගන්නම්.

ඉතිහාසය ගැන දැනුම් තේරුම් තියෙන උදවියට නම් මම මේ ගැන ආයෙම මතක් කරන්න අවශ්‍ය නෑ. නමුත් මේ ආදර කතාව අද අපි කතා කරන මාතෘකාවට ඉතාමත් සමීප නිසා ඒ කතාව ටිකක් කෙටියෙන් කියන්න ඕනෙ කියලා මට හිතුණා.

විහාරමහාදේවිය කියන්නේ ඒ කාලේ කැලණිය පාලනය කරපු කැලණිතිස්ස රජතුමාගේ දියණිය කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඔය කැලණිතිස්ස රජතුමා දවසක් ස්වාමීන් වහන්සේ නමකට දුරදිග නොබලා දීපු දඬුවමක් නිසා මුහුද ගොඩ ගැලුවා කියලනේ ථූපවංශයේ සඳහන් වෙන්නේ. එතකොට ඔය විපතින් රට බේරගන්න තමයි එතුමගේ දූ කුමරිය වුණ විහාරමහාදේවියට මුහුදට බිලිදෙන්න සිද්ධවෙලා තියෙන්නේ. අන්තිමේදී වාසනාවකට කිසිම විපතක් නොවී විහාරමහාදේවියගේ නැව දකුණු දිග පළාතේ කිරින්ද ප්‍රදේශයට ගොඩබාලා තිබුණලුනේ. අන්න ඒ වෙලාවේ මුහුද මැද ගල්පරයක් උඩදි තමයි කාවන්තිස්ස රජතුමාට මුලින්ම විහාරමහාදේවියව මුණගැහෙන්නේ. ඔවුන් මුලින්ම හදවතින් බැඳෙන්නෙ, ආදරය බෙදාගන්නේ, සිප වැළඳගන්නේ මුහුද මැද ආන්න ඒ ගල උඩදි. මං අහන්නෙ කෝ ඔවුන්ට අද වගේ ඔය ප්‍රී ෂූට්ද මොනවද කියන ඒවා තිබුණද? වෙඩින් ෂූට් තිබුණද? නමුත් ඔවුන් මැරෙනතුරාම ආදරෙන් ජීවත්වෙලා රට ජාතියට ගැමුණු කුමාරයා, සද්ධාතිස්ස කුමාරයා වගේ වීර කුමාරවරු දායාද කළේ නැද්ද? ඒකෙන් මම කියන්න උත්සාහ කළේ අද කාලේ තරුණ දුවලා පුතාලගෙ මංගල උත්සවවල තියෙන්නෙ විශ්වාසය ආදරය සහ බැඳීම්වලට වඩා සමාජ සංදර්ශන කියලා.

මට මතකයි මේ මෑතකදී සමාජ මාධ්‍ය පුරාම මනමාල මහත්තුරු දෙන්නෙක් තමන්ගේ නෝනලාගේ පස්ස පැත්ත මිරිකන, ගවුම උස්සලා යටින් බලන ඡායාරූප වගයක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. මං හිතන්නේ ඒවත් කරලා තිබුණේ ඔය ප්‍රී ෂූට් කියලා තමයි. අනේ ඉතින් ඒ තරුණයෝ දෙන්නා ඒ ඡායාරූපවල පෙනී හිටියේ හරියට මහා ලොකු වීරකමක් කරලා වගේ. මට කියන්න තියෙන්නේ අනේ පුතේ මේ රටේ ලෝකේ ඕක නොකරපු කොල්ලෙක්, පිරිමියෙක් නැතුව ඇති. ඒත් ඒ කිසිම කෙනෙක් මෙච්චර කාලෙකට ඒවා ෆොටෝ ගහල ප්‍රසිද්ධ කළේ නෑ. දැන් මම මෙහෙම කියනකොට සමහර උදවිය අහයි උන් උන්ගේ ගෑනුන්ට මොනවා කළත් අත්තනායක මහත්තයට ඇති රුදාව මොකක්ද කියලා. ඇත්ත. මම මේ කියන්නේ උන් කරපු දේ වැරදියි, සදාචාර විරෝධීයි, සංස්කෘතියට පටහැනියි කියලා හෝ උන්ට හූ කියපල්ලා කියලා නෙවෙයි. මට කියන්න ඕන වුණේ අද කාලේ කසාද බඳින පමාවට දික්කසාද ‍නඩු ෆයිල් වෙන්නේ මේ විවාහය කියන එකේ බරක් පතළක් නොදැන බටහිරින් හෝ කොහෙන්හරි බලාගෙන ඔය විදියේ සංදර්ශනවල යෙදෙන අයගේ කියලයි. මොකද ඒ ගොඩක් දරුවො හීන මවන්නේ ෆේස්බුක් එකේ පළකරන්න හිතාගෙන ඉන්න ප්‍රී ෂූට් ෆොටෝ ටික, වීඩියෝ ටික ගැන මිසක් විවාහයෙන් පස්සෙ ජීවිතේ බෙදාහදා ගන්න විදිය ගැන නෙවෙයි. ඒ නිසා ණයක් වෙලා හරි ප්‍රී ෂූට් එකක් කරලා, මුදු මාරු කරන්නත් වෙනම උත්සවයක් අරගෙන කොහොමහරි මඟුලකුත් කනවා.

ඕකට මම තව හොඳ කතාවක් කියන්නම්. මේ මෑතකදී මම ගියා මට හිතවත් ව්‍යාපාරික මහත්තයෙකුගේ පුතාගේ මංගල්ලෙට සාක්ෂියට අත්සන් කරන්න. අනේ ඉතින් එතෙන්ට ගියාම මංගල ශාලාව එකම සැණකෙළියක් වගේ. කිසිම දේකින් අඩුවක් නෑ. මං හිතන විදියට කෝටි ගාණක් වියදම් කරලා තියෙන්න ඇති. ඒ තරුණයාත් මංගල්ලෙ දවසට කලින් ඔය කියන විදියේ ප්‍රී ෂූට් එකක් කරලා තිබුණා. කළාට මොකද ඒ හපන්කම් ටික හැමෝටම පෙන්නන්නත් ඕනනේ. ඔන්න ඉතින් ඒ ජෝඩුවත් මල්වතුවලට, කූඩාරම්වලට ගිහිල්ලා අඩනිරුවතින් සිපවැළඳගෙන ඉන්න ඡායාරූප සියල්ලම ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් මගින් මුළු මංගල සභාවටම පෙන්නුවා. ඉතින් ඒ වෙලාවේ මම දැක්කා අර මනමාලිගේ අම්මයි, තාත්තයි ඉතාමත් ලැජ්ජාවෙන් බිම බලාගත්ත හැටි. තමන්ගේ දරුවෝ කසාඳ බැඳලා දරුමල්ලෝ හදනවා කියලා කොයි දෙමව්පියොත් දන්නවා. නමුත්, දරුවෝ අඩනිරුවතින් ඉන්න විදිය දැක්කම, කාමුක විලාසයෙන් පෙනී හිටිනවා දැක්කම කොයි දෙමව්පියොත් අසරණ වෙනවා. මොකද මේක යුරෝපය නෙවෙයි.

අපේ උදවිය බටහිර විවාහ මංගල්‍යය අනුකරණය කරන්න ගිහිල්ලා අල්ලගෙන තියෙන්නේ හරි තැනින් නෙවෙයි. අහුවෙච්චි තැනින්. ඔය ප්‍රී ෂූට් රැල්ලත් ඒවගේ එකක්. අද කාලේ මඟුල් ගෙවල්වලට අඩුවකට තිබුණේ මනමාල ජෝඩුවගේ ලිංගිකත්වය ප්‍රදර්ශනය කරන හැසිරීම් විතරයි. දැන් ඉතින් ඔය ප්‍රී ෂූට් රැල්ල නිසා ඒකෙ අඩුවත් පිරිමැහීගෙන යන බවක් තේරෙනවා. තව ඉස්සරහට වැඩි දවසක් නොගිහින් මංගල සභාවේ පෝරුවේ චාරිත්‍ර ටිකේ ඉඳන් මධුසමයට ගිහිල්ලා කරන දේවල් ටිකත් මංගල සභාවෙදිම කරන තත්ත්වෙට මඟුල් ගෙවල් පොෂ් වෙයි.

ඊළඟ තරුණ පරම්පරාවට මම කියන්නේ දුවේ පුතේ උඹලගෙ කසාදය කියන්නේ උඹලගේ ජීවිත දෙවැනි වතාවටත් අලුතින් පටන්ගන්න දවසක්. එතැන වැරදුණොත් සමහරක්විට සදහටම මුළු ජීවිතේම වරදින්න පුළුවන්. අන්න ඒ නිසා ඒකට මුලින්ම කරන්න ඕනේ උඹලා දෙන්නට දෙන්නගේ ඇඟේපතේ අමාරුකම් වීඩියෝ කරලා රටේ ලෝකේ සේරම උන්ට පෙන්නන එක නෙවෙයි. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මැද, ආගමානුකූලව, සරලව ඒ වැඩකටයුතු ටික කරන එක. මම මෙහෙම කිව්වට තමන් කැමති විදියට තමන්ගේ මංගල්ලේ ගන්න ඕනම කෙනෙකුට නිදහසක් තියෙනවා තමයි. ඒ කොහොම වුණත් මට ඉදිරියට විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ දුවලා පුතාලට කියන්න තියෙන්නේ එකම දෙයයි. දුවේ පුතේ උඹලගේ මංගල දවස රටේ ලෝකේ උන් ඉස්සරහා නිරුවත, ලිංගිකත්වය ප්‍රදර්ශනය කරන දවසක් කරගන්න එපා.”

 

ලිහිණි මධුෂිකා