විශේෂාංග

විලියම් කුමාරයත් බේබද්දෙක් වෙච්ච එකේ අපි රෑට ෂොට් එකක් දාලා ගියාම මොකද?

ලෝකෙ මොනතරම් රජ පවුල් තිබුණත් ‘රාජකීය’ කියන වචනෙ ඇහෙනකොට තාමත් අපිට මුලින්ම මතක් වෙන්නේ එංගලන්තෙ රජ පවුලනෙ. හැබැයි ඉතින් මේ දවස්වල ඒ රජ පවුල ඇතුළෙත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා කියලා තමයි ආරංචිය. ඒකට හේතුව එලිසබෙත් මහරැජිනගේ මුණුබුරා වෙච්ච විලියම් කුමාරයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීමලු.

රජ කුමාරයෙක් නෙවෙයි කවුරු වුණත් ‘මතට’ ඇබ්බැහි වුණොත් ආයේ ඉතින් ඒකේ ආනිසංස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉතින් විලියම් කුමාරයත් මේ දවස්වල රෑට රෑට බීලා ගෙදර ඇවිත් කේට් කුමරිය එක්ක වලි අල්ලන්න පටන් අරගෙනලු. මේවා අහද්දි අපේ අයටත් හිතෙන්න පුළුවන් විලියම් කුමාරයත් එහෙමනම් ඉතින් අපි රෑට පොඩි ෂොට් එකක් දාලා ගෙදර ගිහාම මොකද කියලා. හැබැයි ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා ළංකරගත්තොත් විනාසෙට මුල කියලා තමයි ඒ කාට කාටත් කියන්න තියෙන්නේ.

මේ ප්‍රශ්නෙ නිසා ඔවුන් දෙන්නගේ අවුරුදු නවයක පවුල් ජීවිතේටත් කණකොකා හඬලන්න ළඟ බවක් පේනවා කියලයි මාලිගාවේ අභ්‍යන්තර ආරක්ෂකයෙක් කියලා තිබුණේ.

විලියම් කුමාරයා වැඩ රාජකාරී ඉවර වුණහම මහන්සියට කියලා බීර වීදුරුවක් බොන්න ගන්නවා. හැබැයි ඒක එක වීදුරුවකින් දෙකකින් ඉවරයක් වෙන්නෙ නෑ. අන්තිමට බෝතල් දෙක තුනක්ම හිස් කරලා තමයි එතැනින් නැගිටින්නේ. මේ ළඟකදි විලියම් කුමාරයා යාළුවොත් එක්ක මත්පැන් බොන්න තියෙන උවමනාවට රාජකීය හමුවක් පවා අවලංගු කළා. අනිත් එක විලියම් කුමාරයා බීලා නිදාගන්නවා ඇරෙන්න මේ දවස්වල හරියට උදේකට හවසකට ව්‍යායාම් කරන්නෙත් නෑ. ඉස්සර උදේ පාන්දරට අවදිවෙලා බිරිඳ දරුවෝ එක්ක හිනාවෙලා කතාබහ කරපු ඔහු දැන් උදේ පාන්දරට නැගිටින්නෙම කෝපාවිශ්ඨ වෙලාලු.විලියම් කුමාරයාගේ මේ බීමත්කම නිසා කේට් කුමරිය නම් මේ දවස්වල ඉන්නේ ලොකු හිත කළකිරීමකින්ලු. ඔහුගේ ජීවිතයට අහිතකර බලපෑමක් වෙන්න කලින් මත්පැන්වලින් ඔහුව ඈත් කරගන්න ඇය ලොකු වෙහෙසක් ගන්නවාලු. හැබැයි ඉතින් මේ ප්‍රශ්නෙ ඉස්සරහා ඇය තාමත් බොහොම ඉවසීමෙන් කටයුතු කරන බව තමයි ආරංචි.

National Enquirer නම් වාර්තා කරන්නේ විලියම් කුමරුගේ බාල සහෝදරයා වෙන හැරී කුමාරයා මාලිගාව අතඇරලා ගියාට පස්සේ කේම්බ්‍රිජ් කාලසටහනත් වෙනස් වෙලා කියලා. අනිත් හේතුව සසෙක්ස් ප්‍රාන්තයේ වැඩකටයුතුත් එක්ක විලියම් සහ කේට්ගේ සත්හැවිරිදි පුත් ​ජේර්ජ් කුමාරයාගේ, පස් හැවිරිදි චාලට් කුමරිය සහ දෙහැවිරිදි ලුවිස් කුමාරයාගේ වැඩ රාජකාරිත් මේ දෙන්නා මත පැවරිලා තියෙන එක කියලා. හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් රජ පවුලෙ රජ දරුවො බලාගන්න අතට පයට වැඩකාරයො නැද්ද කියලා කෙනෙකුට හිතෙන එකේ වරදකුත් නෑනේ.

ඒවා එහෙම වෙද්දි විලියම් කුමාරයාගේ මේ බීමත්කම නිසා රජ පරම්පරාවේ වැඩි දෙනෙකුගේ බැණුම් අහගන්න සිද්ධවෙලා තියෙන්නෙ නම් චාල්ස් කුමාරයාටයි කැමිලා ආදිපාදවරියටයිලු. ඒ අය නම් කියන්නේ විලියම් කුමාරයා රාජකීය නම්බුව ආරක්ෂා කරන එක කෙසේ වෙතත් මතට ඇබ්බැහි වෙලා ඉන්න චාල්ස් කුමාරයාගෙයි කැමිලා ආදිපාදවරියගෙයි ආරෙට යන හැඩයි කියලා.

ප්‍රශ්නයක් වුණ ගමන්ම ඒ අලකලංචි අස්සේ ජාතකේම ඇදලා අරන් හත්මුතු පරම්පරාවටම බණින එක නම් ඉතින් එහෙට මෙහෙට විතරක් නෙවෙයි කොහෙටත් පොදු දෙයක්නෙ. ඒ අතින් බැලුවම නම් රජ පවුලේ අයත් අපේ අයට දෙවැනි නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.

ඒ කතා කොහොම වුණත් 38 හැවිරිදි මේ රාජකීයයා නම් කියන්නේ තමන් දවස අවසානයේ බීර ටිකක් පානය කරන්නේ කායික සහ මානසික විඩාව දුරු කරගන්න මිසක් බේබදුකමට නෙවෙයි කියලා.

ලිහිණි මධුෂිකා