නවතම ප්‍රවෘත්ති

පිළිකාවක් නිසා බ්‍රිතාන්‍යයේ රජුට ලේලි ගැන ආඩම්බර හිතිලා

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ගේ ඇහිපිල්ලමක වෙනසක් පවා මාධ්‍යකරුවන්ගේ ග්‍රහණයට හසුවීම වැළක්වනවා බොරුය. 

මේ නිසාම බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය මාධ්‍යයෙන් වහන් වී සිටීමට උත්සාහ දරන අවස්ථා ද නැතුවාම නොවේ. නමුත් මීට ටික දිනකට ඉහතදී බ්‍රිතාන්‍ය පුවත් සේවයට නිවේදනයක් නිකුත් කරමින් බකින්හැම් මාලිගයෙන් දැනුම් දී තිබුණේ විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කිරීමට සූදානම් වන ලෙසයි. බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව සමස්ත ලෝකවාසීන්ගේම අවධානය දිනාගත් මේ පුවත අන් කවරෙකුත් ගැන නොව ඔටුන්න හිමි කුමරිය හෙවත් වේල්සයේ කුමරිය වන කේට් කුමරියගේ රෝගී තත්ත්වය පිළිබඳයි.

රාජකීය පවුලේ ප්‍රබල සාමාජිකාවක් වන කේට් කුමරිය, තමා පිළිකා රෝගයකින් පෙළෙන බව පසුගියදා මාධ්‍යයට නිවේදනය කළාය. ඊට සති කීපයකට පෙර බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුටද පිළිකාවක් වැළඳී ඇති බවට පුවත් වාර්තා වී තිබුණත් මේ සිද්ධි දෙකෙන් වඩාත් බ්‍රිතාන්‍ය පුරවැසියන් කම්පනයට පත්වූයේ කේට් කුමරිය පිළිබඳ පුවතිනි.

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් පිළිකා රෝගයට ගොදුරු වීමේ දැඩිව අවධානමක් පවතින බැවින් චාල්ස් රජුගේ රෝගී තත්ත්වය බ්‍රිතාන්‍ය වැසියන් කම්පා කරවන තරමේ පුවතක් බවට පත්වුණේ නැත.

එහෙත් බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව සමස්ත ලෝකවාසී බොහෝදෙනෙක් කේට් කුමරියගේ පිළිකා රෝගය ගැන අසා කම්පා වූහ.‍

බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව ලොව ප්‍රබල රාජ්‍ය නායකයින් පවා ශෝක පණිවිඩ එවන තත්ත්වයකට එම පණිවිඩය ලොව පුරා පැතිරිණි.

එහෙත් පිළිකා රෝගයට ගොදුරු වූ තමා එයට නොබියව මුහුණ දෙන බවත්, සැත්කමෙන් පසු පිළිකාව මර්ධනය කළ හැකි ප්‍රතිකාර ලබමින් සිටින බවත් කුමරිය මාධ්‍යය වෙත දන්වා ඇත. 

එවැනි නිර්භීත ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධව චාල්ස් රජු තම ලේලිය පිළිබඳව ආඩම්බර වෙන බවයි ඔහු පවසා ඇත්තේ. 

42 හැවිරිදි වියෙහි පසුවන කේට් කුමරිය පසුගිය ජනවාරියේදී උදරයේ සැත්කමකට ලක් වූ අතර, ඒ වනවිට ඇගේ පිළිකා රෝගී තත්ත්වය අනාවරණය වී නොතිබූ බවද වාර්තා වේ. පිළිකා රෝගයේ මුල් අවධියේ සිටින බැවින් පූර්ණ සුවය ලබාගැනීමට හැකිවනු ඇතැයි ඇය විශ්වාසය පළ කර තිබේ.

පිළිකාව වැළඳී ඇතැයි තහවුරු වීම විශාල කම්පනයකට හේතු වූවද, තමා හොඳින් සිටින බවත් ඇය සිය වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇති අතර, සිය වෛද්‍ය කණ්ඩායම උපදෙස් පරිදි කීමෝ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවත් ඇය සඳහන් කර තිබේ. කේට් කුමරිය කීමෝතෙරපි ප්‍රතිකාර ලබාගැනීම ආරම්භ කර ඇත්තේ පසුගිය පෙබරවාරියේදී වුවද, එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට බකිංහැම් මාලිගාව තීරණය කර ඇත්තේ ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය පමණක් නොව ලොවම කම්පනයට පත්කළ මේ පුවත පිළිබඳව විශේෂයෙන්ම ප්‍රංශයේ ජනාධිපති, කැනඩාවේ අගමැති, බ්‍රිතාන්‍ය අගමැති වැනි බලවතුන් සිය සෝකය  ප්‍රකාශ කර සිටී. 

එමෙන්ම කේට් කුමරිය පිළිබඳව විටින් විට පැතිර යන ඕපාදූප වෙනුවට ඇය මාධ්‍යයට මුදාහළ ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව ප්‍රකාශයෙන් පසුව‍ බ්‍රිතාන්‍ය වැසියන්, මාධ්‍ය සහ ගොසිප්කරුවන් ද ඇයට මහත්සේ ආදරය කරන්නට පටන්ගෙන ඇති බවට වාර්තා වේ.

ඩයනා කුමරිය තරමටම රැඩිකල් චරිතයක් නොවුණත් වේල්සයේ නව කුමරිය වන කේට් කුමරියද එවැනි චර්යා ඇත්තියක බව පෙනේ. ඇය දරුවන් හදා වඩාගන්නා ආකාරය ඊට උදාහරණයකි. සිංහාසනයේ උරුමක්කරුවන් දෙදෙනෙකු එකම ගුවන්යානයක එකවර ගමන් නොකිරීමයි රාජකීය සම්ප්‍රදාය වුණේ. එහෙත් ඩයනා කුමරිය එම රීතිය බින්දාය. 1983 දී ඩයනා කුමරියට සහ චාල්ස් කුමරුට ඔස්ට්‍රේලියා-නවසීලන්ත සංචාරයක් යෙදිණ. එහිදී සිය නවමස් වියැති වැඩිමහල් පුත් විලියම් ආයම්මා කෙනෙකුට පවරා යාමට ඩයනා කුමරිය එකඟ වුණේ නැත. තිදෙනාම එකම යානයකින් ගුවන්ගත විය යුතු බවයි ඇගේ තීරණය වුණේ. සිය මවගේ මාර්ගයේ ගමන්ගන්නා විලියම් කුමරු සහ කේට් කුමරියද සිය දරු තිදෙනා සමඟ ගමන් කරනුයේ එකටමය. දරුවන් සමඟ වඩා සමීප සබඳතාවක් පවත්වා ගැනීමටද ඔවුහු උත්සාහ දරති. පිළිකා රෝගය අනාවරණය කරගත් පසු එය තම දරු තිදෙනාට හෙළිකිරීම වඩාත් අපහසු වූ බයයි ඇය පවසා තිබුණේ. ඩයනා කුමරිය මෙන්ම කේට් කුමරියද ආදරණීය මවක ලෙස ප්‍රසිද්ධය. එනිසා ජනතාව ඈ කෙරෙන් ඩයනා කුමරියව දැකීමත් ඔවුන් දෙදෙනා සැසඳීමත් නවතාලීම අපහසුය. එනිසා බ්‍රිතාන්‍ය වැසියන් සේම අපේ ද ප්‍රාර්ථනය ඇය සුව වේවා යන්නය.

චාන්දනී දිසානායක