විශේෂාංග

කසාද සහතිකෙයි, හැඳුනුම්පතයි බලලා මිසක් ජෝඩුවලට ගෙවල් කුලියට දෙන්න එපා

වෙබ් අඩවි 05ක දැන්වීම් පල කිරීමෙන් අනතුරුව 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ බව කියන පුවතක් පසුගිය දිනවල අනාවරණය විය. ඒත් සමඟ දැරියගේ පහස පතා පැමිණි ප්‍රසිද්ධ ගිහි පැවිදි චරිතවල නම් ගම්ද එකින් එක එළියට ආවේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති පැවසුවේ මේ වනවිට ඇය සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් බවයි. මෙම ජාවාරම සිදුකළ රජීව් නමැත්තා දැරිය රඳවා​ තබාගෙන තිබුණේ මොරටුව, ලක්ෂපතිය, මහාවිහාර පාරේ කුලී නිවසකය. අපි එම නිවස සොයා ගියෙමු.

දිනය ඉකුත් සඳුදාය. කොළඹට ධාරාණිපාත වැසි ඇද හැලෙමින් තිබුණි. අප මොරටුව ලක්ෂපතියට ළඟා වනවිටත් වේලාව සවස 3.30ට ආසන්නය. කෝකටත් කියා මාධ්‍ය හැඳුනුම්පත් කාටත් පෙනෙන පරිදි බෙල්ලේ එල්ලා ගත්තේ රහස් පොලිසිය යැයි සිතා ලක්ෂපතිය අවට කිසිවෙක් මේ දැරිය ගැන දන්නා දේ කීමට ඉදිරිපත් නොවන බව කල්තියාම අප දැන සිටි නිසාය. මුලින්ම හමුවුණේ මහාවිහාර පාරේ ත්‍රීරෝද රථ රියැදුරෙකි.

‘‘අපිට අර මෙහෙ පදිංචි වෙලා හිටපු අවුරුදු 15 ගෑනු දරුවා ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? අපි ධරණී පත්තරෙන්.’’

අපි ඔහුව කතාවට අල්ලා ගත්තෙමු.

‘‘මේ දවස්වල නම් පත්තරවලින්, ටීවීවලින් විතරක් නෙවෙයි, පොලිසි උසාවිවලිනුත් මේ පාරේ යනවා එනවා ඉවරයක් නෑ.’’

ඔහුද කැමැත්තෙන්ම කතාව පටන් ගත්තේය.

‘‘අපිට නම් ආරංචි වුණ විදිහට ඒ ගෑනු ළමයාව තියාගෙන හිටපු රජීව් කියන මනුස්සයා පාතාලෙට සම්බන්ධ මිනිහෙක්. මොකද දැනට අවුරුදු දෙකක විතර ඉඳන් ඔය මනුස්සයා ඒ ගෙදර හැංගිලා වගේ තමයි ජීවත් වුණේ. දවස ගානේ සුපිරි කාර්වලින් ගියාට මොකද ඔය ළමයව සමහරක් දාට අපේ ත්‍රීවිල්වල දාලා තමයි හෝටලේට යවන්නේ. රජීව්ට තිබුණු බයට කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්න ගියේ නෑ.’’

ඔහු කීවේ එපමණකි. නමුත් ඔවුන් පදිංචිව සිටි කුලී නිවසට ගියහොත් වැඩිදුර තොරතුරු දැනගැනීමට හැකි බව ඔහු කීවේය. දැරිය පදිංචිව සිටි නිවස පිහිටා තිබුණේ එතැන සිට කිලෝමීටරයක පමණ දුරිනි.

මේ මොහොතේ එම නිවසේ කිසිවෙකුත් සිටීද, අයිතිකරුවන් කවුරුන්ද, ඇතුළුවීමට අවසර ලැබේවිද යන අටෝරාශියක් ප්‍රශ්න සිතට නැගුණත් අපි එහි ගියෙමු. ත්‍රීරෝද රථ රියදුරු කීවේ ඔවුන් රැඳී සිටි නිවස, මොරටුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සහෝදරයෙකුට අයත් එකක් බවයි.

අඩවල් කර තිබූ ගේට්ටු පියනක් විවර කර වත්තට ඇතුළු වෙද්දී නිවසේ හිමිකරුවෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු පිටතට ආවේය. ඔහු සමඟ හිතවත් කතාබහක් ගොඩනගාගැනීමට උත්සාහ කළද කිසිවක් නොවිමසාම ඔහු අපේ ඇඟට ගොඩවිය. මේ දිනවල දෙනෝදාහක් දෙනා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන්ම හෙම්බත්ව සිටි එම පුද්ගලයාගේ මානසිකත්වය තේරුම් ගැනීම අපට අපහසු වුණේ නැත.

‘‘මේක මගේ අයියගෙ ගෙදර. එයා දැනට පදිංචි වෙලා ඉන්නෙ දෙමටගොඩ. අනික මමත් මෙහෙ ඉස්කෝලෙක ගුරුවරයෙක්. මේ ටිකේම කොයිවෙලාවෙත් පොලිස් ජීප් එද්දි අහල පහල මිනිස්සු මේ ගේ වටේට පිරෙනවා. අපේ දරුවොත් පාරේ බැහැලා යන්න ඕනෙ. පින් සිද්ධ​ වෙයි අපිට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යන්න.’’

ඒ ඔහුගේ පිළිතුරය.

‘‘අපි ආවේ ඔයාලට ප්‍රශ්නයක් ඇති කරන්න නෙවෙයි. අද ඒ දරුවට වෙච්ච දේ හෙට ඔයාලගෙ දරුවෙකුටත් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන දැනුවත් කරන එක අපි දෙගොල්ලොගෙම වගකීමක්.’’

ඒ වගකීම කෙසේ වෙතත් අප ද පිළිතුරක් ලබාගෙන මිස ආපසු ඒමට සූදානම් නැති බව තේරුණු නිසාදෝ ඔහු කතාව කියන්නට පටන් ගත්තේය.

‘‘රජීව් කියන මනුස්සයා 2019දී තමයි මේ ගේ කුලියට ගත්තේ. අපිට මාසෙට රුපියල් 27,000ක කුලියකුත් ගෙව්වා. ඊටපස්සේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර්වල එයාගෙ නෝනා කියලා ඉෂිනි කියන ගෑනු කෙනාව මෙහාට එක්කන් ආවා. ඔහොම ටික කාලයක් යනකොට ඉෂිනිගෙ අක්කගෙ දුවයි, පුතයි කියලා අවුරුදු 15ක ගෑනු දරුවෙකුයි, පොඩි පිරිමි දරුවෙකුයිත් මෙහාට එක්කගෙන ආවා. අක්කගෙ දුව කියලා අපිට කිව්වට ඒ ඉෂිනිගෙම දුවයි, පුතයි. (ඉෂිනි යනු 15 හැවිරිදි දැරියගේ මවය. ඇගේ වයස අවුරුදු 28කි.) මෙහෙට එන්න කලින් දෙල්ගොඩ, කඳුබොඩ හිටියා කියලා තමයි ළමයි අපිට කිව්වේ. ඔය සිද්ධියට සම්බන්ධ ගෑනු දරුවා බැලූ බැල්මට අඩි පහක්වත් උස නැති තලෙලු පෙනුමක් තියෙන ළමයෙක්. කතාබහ කරද්දි තමයි දැනගත්තේ 2005 ඉපදිච්ච ළමයෙක් කියලා. රජීව් වුණත් කොයිවෙලාවත් මගෙ සුදු දුවේ කියලා තමයි ගෙදරදි කතා කරේ.’’

පර්චස් 40කට ආසන්න වපසරියකින් යුත් ඉඩමක එකම පවුලේ සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුට අයත් නිවාස තුනක් විය. රජීව් නැමැත්තා කුලියට ගෙන තිබුණේ එම නිවාස තුනෙහි හරි මැද පිහිටා තිබූ වැඩිමහල් සහෝදරයාට අයත් නිවසයි. එහි තීන්ත ගල්වා තිබුණේ සුදු පාටිනි. ඉහළ මාලය තවමත් ඉදිවෙමින් තිබූ අතර, කොරිඩෝව කොන්ක්‍රීට් කර තිබුණි. ඒ වනවිටත් ඔවුන් දමාගිය අයුරින්ම එහි කොරිඩෝවේ තිබූ විදුලි බල්බද දැල්වෙමින් තිබුණි. නිවසේ ජනෙල් පියන් කිහිපයක් විවරව තිබුණි. නිවස ඇතුළත බලාගැනීමට අවශ්‍ය වූ නමුත් නිවැසියන්ගෙන් ඊට අවසරයක් ලැබුණේ නැත.

ඒත් නිවසේ ඇර තිබූ ජනේල පියනකින් ඇතුළතට එබිකම් කරද්දී පෙනෙන්නට තිබුණේ එහි කොට්ට මෙට්ට ඇඳුම් පැලඳුම් පොට්ටනි ගසා සීසීකඩ දමා තිබූ ආකාරයයි. මුළුතැන්ගෙයි තිබිය යුතු හට්ටි මුට්ටි තිබුණේ සාලයේ සෝපාව මතය. කාන්තා පිරිමි යටඇඳුම් පවා සාලයේ ටයිල් මත විසිරී තිබුණි. මේ කිසිසේත්ම දරු පවුලක් නවාතැන්ගැනීමට සිතාගෙන ගත් නිවසක් යැයි සිතීමට පවා නොහැකි විය.

‘‘දවස ගානේ එක එක වාහන ගේනකොට අපිට පොඩි සැකයක් ඇති වුණා රජීව්ගේ රස්සාව ගැන. පස්සේ ඇහුවම කිව්වා එයාලා කැබ් සර්විස් එකක් කරගෙන යනවා කියලා. කිසිම වෙලාවක රජීව් සුදූ දුවව තනියම අරගෙන ගෙදරින් පිටට ගියේ නෑ. මුළු පවුලම එකට එළියට ගිහිල්ලා එකටම ගෙදර එනවා. ඒ යද්දිත් ඒ දරුවට හරි හුරතල් විදිහට ඇඳ පැළඳවගෙන තමයි එක්කගෙන ගියේ. එහෙම එක්කන් ගිය දරුවව හෝටලයක තියාගෙන විකුණනවා කියලා කවුද හිතන්නෙ? අනික හැම ඉරිදාම පවුලේ හැමෝම ස්විමින්ග් පූල් ගිහින් නාලා, රෑට හෝටලයකින් කාලා බීලා තමයි ගෙදර එන්නේ.’’

‘‘ඒත් මේ ගෑනු දරුවා කියලා තිබුණේ මල්ලි බඩගින්නෙ තියන්න බැරි නිසා රජීව් කියපු දේවල් කළා කියලනේ?’’

අප අසා තිබූ දේ අනුව ප්‍රශ්න කළෙමු.

‘‘අපිට නම් බඩගින්නෙ ඉඳපු පාටක් පේන්න තිබුණෙ නෑ. නිකමටවත් එහෙම බඩගින්නෙ හිටපු බවක් පේන්න තිබුණ නම් අපි බත් වේලක් නොදී ඉන්නවද?’’

ඔහු කීවේ කණස්සල්ලෙනි.

‘‘වෙනකොටත් රජීව් සුදූ දුවවයි, එයාගෙ මල්ලිවයි ගමේ ඉස්කෝලෙන් මෙහෙ ඉස්කෝලවලට දාන්න මගෙන් උදව් පවා ඉල්ලලා තිබුණා. දරුවන්ට හොඳට උගන්වන්න ඕන කියලා ටියුෂන් කරන්න බාරදීලා තිබුණෙත් මටමයි. එහෙම උගන්වන වෙලාවකදිවත් ඒ ළමයා මානසිකව ඇදගෙන වැටිලා හිටිය බවක්වත් ඔය කියන විදිහේ කිසිම ප්‍රශ්නයක් තියෙන බවක්වත් මට තේරුණේ නෑ. අන්තිමට මොරටුව පොලිසියෙන් දරුවවත් අරගෙන ඇවිත් ප්‍රශ්න කරන්න ගෙට අරගෙන යද්දි තමයි මෙච්චර හරියක් වෙලා කියලා අපි දැනගත්තේ.’’

ඒ මොහොතේ ගෑනු දරුවා හැසිරුණේ මොන විදිහටදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.

‘‘ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙදිවත් ඒ ළමයගෙ මූණෙ බයක්, ලැජ්ජාවක් තිබුණෙ නෑ. ඒකට හේතුව අපි දන්නෙ නෑ. අහල පහල මිනිස්සු වටවෙලා ඉද්දි අපි ලැජ්ජාවට මූණ වහගත්තා ඇරෙන්න ඒ ළමයා නම් කිසි ගානක් නැතුව හිටියා.’’

තවත් බොහෝ දේ දැන කියාගත්තත් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු නිම වෙනතුරු ඒ සියල්ල අනාවරණය කිරීමට අවස්ථාවක් නැත.

‘‘අද කාලේ මේ මගේ නෝනා, දරුවා කියලා කවුරුහරි පෙන්නලා ගෙවල් කුලියට ඉල්ලාගෙන ආවම කසාද සහතිකෙයි අයිඩින්ටි කොපියයි ගලපලා මිසක් ගෙවල් දෙන්න එපා. මොකද ගෙයක් කුලියට දුන්නට පස්සේ අපිට ඒ අයගේ පුද්ගලිකත්වයට අත දාන්න බෑ. ’’

මාත් සමඟින්ම ඉදිරියට ඇදුනු ඔහු එසේ කියා සිටියේ මහා කරදර ගොඩකට මුහුණදීමට සිදුවූ නිසා විය යුතුය.

‘‘අනික මමයි මගේ අක්කයි දෙන්නම ගුරුවරු. මෙච්චර කාලයක් අපි දෙන්නත් හිටියේ මෙතනමයි. ඒ ගෑනු දරුවට මේ ගේ ඇතුළෙදි මෙච්චර කරදරයක් වෙනකොට අපිට කියන්න තිබුණා. එහෙමනම් අපි ඒ දරුවා වෙනුවෙන් පෙනී ඉඳලා යමක් කරනවා.’’

යැයි ඔහු කියා සිටියේ ඔහුත් එවැනිම වයසේ දරුවන් කිහිපදෙනෙකුත් පියෙක් වන නිසාත්, දහස් ගණනක දරුවන්ගේ දෑස් පාදන ගුරුවරයෙකු වන නිසාත්ය.

ලිහිනි මධුෂිකා

දර්ශාන් කානිල්