ඉවුම් පිහුම්

කොස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් මදුළු 500g

කැරට් 30g

ලීක්ස් (සුදු කොටස) 30g

සැල්දිරි (දඬු කොටස) 30g

කරපිංචා මේස හැඳි 1

කුරුඳු කොළ 1

කරඳමුංගු 2

කරාබුනැටි 2

තෝර පරිප්පු 100g

වතුර 6L

බටර් මේස හැඳි 1

එළකිරි 1/2L

බිත්තර කහමද 2

ගම්මිරිස් ඇට තේ හැඳි 1/2

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1

සූදුරු කුඩු තේ හැඳි 1/2

කහ කුඩු තේ හැඳි 1/2

කොස් ඇට 10

තෙල් අඬුකෝප්ප 1

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

කොස් ඇට සුද්දකර බාගෙට තම්බා හතරට පළා අඟල් 1/4 විෂ්කම්භයට කපා ගැඹුරු තෙලේ බැදගන්න.

කරපිංචා, කුරුඳුකොළ, කරඳමුංගු, කරාබුනැටි, ගම්මිරිස් ඇට, දුහුල් රෙදි කෑල්ලක පොට්ටනියක් බැදගන්න.

කැරට්, ලීක්ස්, සැල්දිරි දඬු පොඩියට කපාගන්න.

කොස් මඳුළු සිහින්ව කපාගන්න.

භාජනයක් ලිප තබා බටර් එක්කර, කපාගත් එළවළු, කොස් දමා තරමක් බැදෙන්න හැර කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, කහ කුඩු දමා වතුර සහ සෝදාගත් පරිප්පු එකතු කරන්න.

උතුරන විට ගින්දර අඩු කර සාදාගත් පොට්ටනිය දමාගන්න.

ඉන්පසු හොඳට තම්බාගන්න.

හොඳින් තැම්බුණාට පසු පොට්ටනිය ඉවත් කර බ්ලෙන්ඩ් කර හෝ පොඩිකර පෙරාගන්න.

නැවත ලිප තබා උතුරන විට ගින්දර අඩුකර උඩට එන පෙණ ඉවත් කර ලිප නිවාගන්න. ඉන්පසු එම භාජනයටම බිත්තර කහමද දෙක සහ කිරි මිශ්‍ර කර හැඳිගාමින් ලුණු එකතු කරන්න.

සුප් පිළිගන්වනා අවස්ථාවේදී බැදගත් කොස් ඇට එකතු කරන්න.

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා