ඉවුම් පිහුම්

චිකන් සම්බෝල…

අවශ්‍ය ද්‍රව්‍ය

*කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 150

(එය ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ සමඟ පදම් කර පැයක පමණ කාලයක් ශීතකරණයේ තබන්න.)

 

සම්බෝලය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

*පොල් බෑයක පොල් (ගාගත්)

*රතුලූනු ගෙඩි 4/5

*කෑලිමිරිස් මේස හැඳි 1 1/2

*ලුණු කුඩු අවශ්‍ය පමණට

*සුදුලූනු බික් 2

*ගම්මිරිස් ඇට 6/7

 

සාදන ක්‍රමය

*මෙය ගලේ අඹරා හෝ වංගෙඩියේ, බ්ලෙන්ඩරයේ කොටා රසවත් සම්බෝලයක් ලෙස සාදාගන්න. (ඊට දෙහි ඇඹුල් එක් නොකරන්න.)

*දැන් සීසන් කරගත් කුකුල් මස් ශීතකරණයෙන් ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

*එසේ බැදගත් චිකන් කැබලි අතින් ඉරා බඳුනකට දමාගන්න.

*බී ලූනු ගෙඩියක් ගෙන සිහින්ව ලියාගන්න.

*අමුමිරිස් කරල් 2/3ක් ගෙන සිහින්ව කපාගන්න.

*සුදුලූනු බික් 2ක්ද ගෙන ඒ ලෙසම කපාගන්න.

*තක්කාලි ගෙඩියක් ගෙන කොටු හැඩයට කපාගන්න.

*දැන් තෙල් ස්වල්පයක් එක්කළ භාජනයක් ලිප තබා එය රත්වනවිට ඊට රම්පේ, කරපිංචා, කපාගත් සුදුලූනු එක්කොට රන්පැහැ වනතෙක් බැදගන්න.

*අනතුරුව එයට කපාගත් ලොකු ලූනු ගෙඩිය හා අමුමිරිස් එක්කරගන්න.

*එය බැදුනු පසු ඊට තක්කාලි, මිරිස්කුඩු ස්වල්පයක් දමා රස අනුව ලුණු එක්කරගන්න.

*අනතුරුව අතින් ඉරාගත් කුකුල් මස් ඊට එක්කර කලවම් කරගන්න. (එය විනාඩියක් පමණ පියනකින් වසා උයාගන්න.)

*අනතුරුව පොල් සම්බෝලය ඊට එක්කර මද ගින්දරේ තවත් වේලාවක් පිස ලිපෙන් බාගන්න.

*දැන් දෙහි යුෂ ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කර කෑම මේසයට යවන්න.

 

ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම : නීරෝෂී දොලමුල්ල