ඉවුම් පිහුම්

කොස් ඇට තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය:

* කොස් ඇට කෝප්ප 2ක්
* වියළි හාල්මැස්සන් හෝ කූනිස්සන් 100g ක්
* කහ කුඩු තේ හැඳි භාගයක්
* සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 5-6ක්
* මිරිස් කුඩු තේ හැඳි එකක්
* සිහින්ව ලියාගත් බී ලූණු ගෙඩියක්
* අබ තේ හැඳි භාගයක්
* තලාගත් සුදුලූණු බික් 5-6ක්
* කරපිංචා කොළ ඉත්තක්
* පොල්තෙල් මේස හැඳි 2ක්
* අවශ්‍ය ප්‍රමාණයට ලුණු

සාදන ක්‍රමය:

කොස් ඇට ටික හොඳින් පොතු ඇර සුද්ද කරගෙන දෙකට තුනට පලාගන්න.

භාජනයක් ලිපේ තබා, එයට සුද්ද කර ගත් කොස් ඇට ටික දමන්න. එයට කහ සහ ලුණු දමා කොස් ඇට ටික වැහෙන ප්‍රමාණයට වතුර දමා කොස් ඇට පිටි ගතියට එන තුරු තම්බා ගන්න.

මීළඟට තාච්චියක් ලිපේ තබා එයට තෙල් දමන්න. තෙල් රත් වෙද්දී එයට වියළි හාල්මැස්සන් දමා බදින්න. බැදගත් හාල්මැස්සන් තෙලෙන් ඉවත් කරන්න.

දැන් ඉතිරි වී ඇති තෙල් ටිකට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී කරපිංචා ටික දමන්න. කරපිංචා පුපුරන විට සුදුලූණු, බී ළූණු සහ වියළි මිරිස් ටික දමා විනාඩි 2-3ක් තෙම්පරාදු කරන්න.

දැන් එයට මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කරන්න. මීළඟට තම්බාගත් කොස් ඇට එය තැම්බූ වතුර වලින් කෝප්ප කාලක් සමග දමන්න. හාල්මැස්සන් ටිකත් මෙයටම දමා හොඳින් මිශ්‍රකරන්න. ලුණු බලා මදිනම් දමන්න. මද ගින්දරේ වතුර ගතිය නැති වනතුරු පිස ලිපෙන් බා ගන්න.

* මේ සඳහා තලාගත් කොස් ඇට කබලේ බැද ගෙන පාවිච්චි කරන්නත් පුලුවන්.