ඉවුම් පිහුම්

පුහුල් දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය:
* හොඳින් පැසුණු පුහුල් ගෙඩියක්
* සීනි 600g ක්
*කෑමට ගන්නා හුණු
* ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:
පුහුල් ගෙඩිය ටිෂූ එකක් හෝ රෙදි කැබැල්ලක් ආධාරයෙන් හොඳින් පිස දා පොතු ඇර කපා ගන්න. පසුව මදය ඉවත් කර තරමක් ලොකු කැබලි වලට කපා හොඳින් සෝදා ගන්න. කපාගත් සෑම කැබැල්ලකම ගෑරුප්පුවක් ආධාරයෙන් සිදුරු විද ගන්න.

මීළඟට තරමක් ලොකු භාජනයක් ගෙන මෙයට පුහුල් වලට සමාන ප්‍රමාණයක් ජලය දමා ගන්න. කන හුණු තේ හැදි භාගයක් පමණ මෙම ජලයේ හොඳින් දිය කරගෙන කැපූ පුහුල් කැබලි ටික මෙයට දමන්න. කැබලි වැසෙන ප්‍රමාණයට ජලය එක්කර පැය 8-10 ක් පමණ තිබෙන්නට හරින්න.

පැය 10කින් පසුව පුහුල් කැබලි හුණු ජලයෙන් ඉවතට පිරිසිදු ජලයෙන් දෙතුන් වතාවක් හොඳින් සෝදන්න. මෙලෙස සෝදා පිරිසිදු කරගත් ගත් පුහුල් කැබලි ජලය පිරවු සාස්පානකට දමා මද ගින්නේ හොඳින් තම්බා ගන්න (විනාඩි 15-20ත් අතර කාලයක්). තැම්බුන පසුව කෑලි ටික ඉවතට ගෙන ජලය පෙරා ඉවත් කරගන්න.

දැන් එම පුහුල් කැබලි වලට සීනි ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න (පුහුල් 500g ක් නම් සිනි 500g පමණ). මෙම බඳුන නැවතත් ලිපතබා මද ගින්දරේ විනාඩි 15ක් පමණ තම්බා ගන්න. මේ වනවිට පුහුල් කැබලි විනිවිද පෙනෙන ගතියෙන් (වීදුරු වගේ) යුක්ත විය යුතුයි.

අනතුරුව භාජනය පිටින්ම නැවත පැය 8-10ත් අතර කාලයක් මෙම සීනි මිශ්‍රණයේ පුහුල් ටික තියෙන්න අරින්න (පුරා රැයක් පමණ).

අනතුරුව කෑලි ටික නැවත ඉවත් කර ඉහත සීනි දියරයට ඉතුරු කරගත් සීනි ටික (100g) දමා මද ගින්නේ හොඳින් උකු වෙනකම්ම හැදි ගාන්න (මෙවිට සීනි දියරය බුබුළු දමමින් නටන්නට පටන් ගනී).

මෙය උකු වූ පසුව පුහුල් කැබලි ටික දමා ගල් වෙනකම් හැඳි ගාන්න. ගල් වූ පසුව භාජනයෙන් ඉවත් කර නිවෙන්නට තබන්න. නිවුණු පසු පිරිසුදු කරගත් වියලි වීදුරු හෝ ප්ලාස්ටික් බඳුනක අසුරා තබන්න.

* පුහුල් කෑලි ටිකක් ලොකුවට කපා ගන්න
* සාමාන්‍යයෙන් පුහුල් දෝසි හදනකොට, පුහුලුයි සීනියි එකම බර ප්‍රමාණයෙන් ගන්න.