විශේෂාංග

රතු පලස් මතින් ඇවිද යාමට පෙර හොලිවුඩ් තාරකාවියන් සිදුකරන Red Carpet Peel සත්කාරය

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක

මාලිංග ප්‍රනාන්දු

Personal Grooming Trainer NVQ 4,5

මේ සත්කාරයේ ඇත්තම නම ‘Laser Carbon Peel වුවද එය යුරෝපීය තරුණියන් අතර ජනප්‍රියව ඇත්තේ Hollywood Peel නැතහොත් Red Carpet Peel යන නම්වලිනි. සත්කාරය හොලිවුඩ් රුවැත්තියන්ගේ අංක එකේ සත්කාරයක් බව කීමට එයම හොඳ නිදසුනක්ය.

‘‘ගොඩක් අය හිතන්නේ හොලිවුඩ් තාරකා ලස්සන වෙන්න රූපලාවන්‍ය සැත්කම් එහෙමත් නැත්නම් එන්නත් වර්ග භාවිතා කරනවා කියලයි. ඒත් දැන් තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා ලස්සන වෙන්න කියලා ඔවුන්ට සිරුරට අහිතකර දේවල් කරන්න අවශ්‍ය නැහැ.’’

ඇන්ජලීනා ජොලි, කිම් කාර්ඩේෂියන් වැනි සුපිරි හොලිවුඩ් නිළියන්ගේ පෞද්ගලික චර්මරෝග වෛද්‍යවරයා වන Dr.David Colbert වරක් මාධ්‍යකට පවසා තිබුණි. එවැන්නක්ය. එසේම​ හොලිවුඩ් තාරකාවියන් අතර අංක එකේ ඉල්ලුමක් සහිත සුවිශේෂි රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මේ සත්කාරය පිළිබඳව ඔහු එහිදී හෙළි කළේය.

‘‘සාමාන්‍ය සත්කාරයක ප්‍රතිඵල ලබාගන්න නම් එය වාර තුනක්වත් කරන්න ඕනනේ. ඒත් ‘Hollywood Peel’ එකේදී පළමු වාරයේදීම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා හොලිවුඩ් තාරකා රතු පලස් මතින් ඇවිද යාමට කලින් මේ සත්කාරය කරනවා. සත්කාරය ‘Red Carpet Peel’ කියලා හඳුන්වන්නේ ඒ නිසයි. වෛද්‍ය ඩේවිස් එහිදි තවදුරටත් පවසා තිබුණේය.

මේ සත්කාරයේදී මූලිකවම සිදුකරන්නේ සම අභ්‍යන්තරයේ ඇති තෙල්, කුණු, දුහුවිලි සහ මැරුණු සම ‘Carbon’ මගින් සූරා ඉවත් කිරීමයි.

ඒ මගින් රූපලාවන්‍ය ගැටළු කිහිපයකටම පිළිතුරු ලබාගත හැකිය.

ඉන් පළමුවැන්න සමේ අඳුරුගතිය ඉවත්කර සම දීප්තිමත් කිරීමයි. කුරුලෑ සහ සමෙහි ඇති කුඩා ලප කැළැල් ඉවත් කිරීම සත්කාරයේ අනෙකුත් ප්‍රතිඵලයන්ය.

‘විනාඩි 20-30ක කාලයක් තමයි මේ සත්කාරය සඳහා වැයවෙන්නේ. ඉතින් ඒ නිසා මේක පෙනුම වැඩිදියුණු කරන වේගවත් සහ වේදනාරහිත ක්‍රියාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සත්කාරය කළාට පස්සේ මේකප් දාන්න ඕනෙත් නැති නිසා ගොඩක් අය විශේෂ උත්සවයකට කලින් මේ සත්කාරයට යොමු වෙනවා.

මේ සත්කාරය පියවර දෙකකින් යුක්තයි. මෙහි මූලික පියවර විදිහට අපි මුහුණට ‘දියර කාබන් මාස්ක්’ එකක් ආලේප කරනවා. සමේ තියෙන කුණු, දුහුවිලි, තෙල්, මැරුණු සම ආදී සියලුම දේ මේ කාබන් දියරය මගින් උරාගන්නවා.

කාබන් මාස්ක් එක හොඳින් වියලුණාට පස්සේ එයට උඩින් අපි ලේසර් උපකරණය අල්වාගෙන ඉන්නවා. ලේසර් කිරණ මගින් අපි කලින් ආලේප කළ කාබන් අවශෝෂණය කරගන්නවා. එතැනදී තාප කම්පන ප්‍රෝටීනයකුත් ශරීරයට මුදාහැරෙන නිසා කොලජන් තන්තු නිෂ්පාදනයට අවශ්‍ය කරන උත්තේජනයත් නිතැතින්ම වගේ සමට ලැබෙනවා. සත්කාරය මුහුණ, අත්, බෙල්ල, පසුපස පෙදෙස වගේ ඕනෑම ශරීර ස්ථානයකට කරගන්න පුළුවන්.’’

සත්කාරයෙන් දින කිහිපයක් යනතුරු සමට වියළි ස්වභාවයක් දැනුණද දින කිහිපයකින් එම තත්ත්වය පහව යන නිසා ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැත. එසේම සත්කාරයෙන් සති කිහිපයක් යනතුරු හිරුඑළියෙන් ආරක්ෂාවීමද වැදගත්ය.

විනාඩි 20කින් 30කින් හොලිවුඩ් තරුවක සුන්දරත්වය ඔබට ලබාදෙන මේ අනර්ඝ සත්කාරය දැන් අප රට තුළදීද අත්විඳිය හැකි බව අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

සෙව්වන්දි හෙට්ටිආරච්චි