විශේෂාංග

මගේ ගෑනිට මං මොනවා කළත් උඹලට මොකද?

ඔයාලා කවදාහරි දවසක ‘රි සෝජු’ කියන නම අහල තියෙනවද? ඇත්තටම ඒ නම කාටවත් ඒ තරම් හුරුපුරුදු නෑ. ඒ වුණත් ඇය තමයි මුළු ලෝකයෙම අවධානය දිනාගත්ත දරුණු පාලකයෙක් වුණු උතුරු කොරියානු ජනාධිපති ‘කිම් ජෝන් උන්’ ගෙ බිරිඳ. ඇය මේ විදියට අප්‍රසිද්ධ ජීවිතයක් ගෙවන්න හේතුව උතුරු කොරියානු නායකයාගේ අසාමාන්‍ය දරදඬු නිතිරීති කියලයි ආරංචිය.

උතුරු කොරියානු නායකයාගේ බිරිඳ වීමට කලියෙන් ඇය ඒ රටේ ක්‍රීඩා කණ්ඩායම් නායිකාවක් විදියට කටයුතු කරලා තියෙනවා. ක්‍රීඩාව ගැන දැනුවත් කරන්න ලෝකෙ රටවල් බොහොමයක සංචාරය කරලත් තියෙනවලු. ඒ විදියට ඇය වැඩිපුරම සංචාරය කරලා තියෙන්නේ චීනයේ. ක්‍රීඩාවට විතරක් නෙවෙයි ඇය සංගීතයටත් ලොකු ඇල්මක් දක්වලා තියෙනවා. ඒ නිසාම චීනයේදී සංගීතය ගැන වැඩිදුර අධ්‍යාපනය හදාරන්නත් ඇය උනන්දුවෙලා තියෙනවා. එතැනින් පස්සේ උතුරු කොරියාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වුණ ‘යොන් හාසු’ ඔකෙස්ට්‍රා කණ්ඩායමත් එක්ක ගීත ගායනා කරපු ඇයට ප්‍රේක්ෂක ආදරය දිනාගන්න වැඩි කාලයක් ගිහිල්ලා නෑ. ආරංචියේ හැටියට නම් කිම් ජෝන් උන් ජනාධිපතිවරයා ඇයව මුලින්ම දැකලා තියෙන්නෙත් ඒ වගේ ගායන සංගීත ප්‍රසංගයකදිලු.

කොහොම වුණත් උතුරු කොරියානු නායකයාගේ බිරිඳ වුණාට පස්සේ ඇගේ ඒ නිදහස් ජීවිතය සම්පූර්ණයෙන්ම මකා දමන්න ඇයට සිද්ධ වෙලා. ඒක නම් ඉතින් රි ​සෝජුට විතරක් නෙවෙයි කසාදෙන් පස්සේ ගොඩක් ගෑනු ළමයින්ට ලැබෙන තෑග්ගක්නෙ.

ඊටපස්සෙ ජනතාව සන්තකයේ තිබුණ රි සෝජුගේ සංගීත තැටි, යූ.එස්.බී. පවා විශාල සංඛ්‍යාවක් ආරක්ෂක අංශ යොදවලා විනාශ කරන්න උතුරු කොරියානු නායකයා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රි සෝජු සමඟ ගීත ගායනා කරපු යොන් හාසු ඔකෙස්ට්‍රා කණ්ඩායමේ සාමාජිකයින් නවදෙනෙක්ව ඝාතනය කරලත් තියෙනවා.

ඒ විතරක් නෙවෙයි කසාදෙන් පස්සේ කිම් ජෝන් උන්ගේ තනි තීරණයකට රි සෝජුගේ අනන්‍යතාවය පවා වෙනස් කරලා කියලයි කියන්නේ. ගොඩක් විශේලේෂකයෝ නම් කියන්නෙ රි​ සෝජු කියන මේ නමත් ඇගේ ඇත්ත නම නෙවෙයි කියලා. පුදුමෙ කියන්නේ උතුරු කොරියානු නායකයා ඔහුගේ මව ‘කෝ යුන්ග් හුයි’ගෙත් ඇත්ත නම කිසිම කෙනෙකුට කියන්න තහනම් කරලලු. මේ ගැන ඇහුවම උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් නම් කියලා තියෙන්නේ තම පවුලේ තොරතුරු බුද්ධි අංශවලින් පිටතට යෑම වළක්වන්න මේ වගේ තීරණයක් ගත්තා කියලා. බලාගෙන ගියාම බොරු නම්වලින් පෙනී හිටීම උතුරු කොරියානු පාලන සැලසුමේම කොටසක්ද කොහෙද.

ඔන්න ඊට ටික කාලෙකට පස්සේ ඒ කියන්නෙ 2012දී විතර රි සෝජුව හිටිහැටියෙම රහසිගතව සිර කරලා තියන්නත් කිම් ජෝන් උන් කටයුතු කරලා තියෙනවා. ඒ පාර නම් ගොඩක් අය හිතලා තියෙන්නේ මේ කෲර නායකයා ඇයට කුමක් හෝ දඬුවමක් දීලා කියලා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ ඇය ගර්භිණී වීමලු. බැලුවම ඉතින් ඒකට මොකුත් කියන්නත් බැනේ. බැරි වෙලාවකවත් කිම් ජෝන් උන් ඇහුවොත් ‘මගෙ ගෑනිට මං මොනවා කළහම තොපිට මොකද?’ කියලා. කටඋත්තරත් නෑනෙ.

කොහොම වුණත් උතුරු කොරියානු බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් මෙන්ම උතුරු කොරියානු නායකයාගේ ළඟම මිතුරෙක් වෙන ‘ඩෙනිස් රෝස්මන්ඩ්’ 2013 වසරේ මාර්තු මාසයේදී ජනාධිපති පවුලට උපන් ‘ජූ ඒ’ නම් කුඩා දියණියව තමන්ට දැකගත හැකිවුණ බවක් මාධ්‍යයට කියලා තිබුණා. එතැනින් පස්සේ රි සෝජු 2017 අවුරුද්දෙදිත් රහසිගතව සැඟව ඉඳලා තවත් ගැහැනු දරුවෙකුට මෙන්ම පිරිමි දරුවෙකුටත් උපත් දීලා තියෙනවා. උතුරු කොරියාවේ පවුල්වල දරුවන් සෑදීම නීතියෙන්ම දෙදෙනෙකුට සීමා කරලා වුණත් උතුරු කොරියානු නායකයාගේ රාජ්‍ය වංශය ඉදිරියට ගෙන යෑමට පුතෙකු අවශ්‍ය නිසා රි සෝජුට තවත් දරුවන් බිහිකිරීමට කිම් ජෝන් උන් විසින් බලපෑම් කරලා තියෙනවලු. රි සෝජු තම බිරිය වුවත් පිරිමි දරුවෙකු බිහි නොකිරීම නිසා කිම් ජොන් උන් ඔහුගේ කෝපය ඒ විදියටම ඇයටත් පෙන්වා ඇති බවයි ආරංචිය.

ඇත්තටම ඒක අහඹුවකුත් නෙවෙයි. මොකද පහුගිය අවුරුදු කීපය පුරාම උතුරු කොරියාව පාලනය කරලා තියෙන්නේ කිම් ජෝන් උන්ගෙ පියා වන ‘කිම් ජෝන් ඉල්ගෙ’ පරම්පරා තුනක පුද්ගලයො තුන්දෙනෙක්. ඒක තමයි ඒ රටේ නීතිය. උතුරු කොරියාව පාලනය වන රාජ්‍ය වංශය තීරණය වෙන්නෙ ඒකාධිපති පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වූ මූලධර්ම න්‍යාය නමින් හැඳින්වෙන පාලන ක්‍රමවේදයකට.​ මේ මූලධර්මවලට අනුව නම් රටේ ප්‍රධානියා ලෙස පත්වෙන්න ඕන එකම පරම්පරාවක ලේ උරුමක්කාරයෝ.

ඉතින් තවදුරටත් එම ප්‍රධානියා කිම් ජෝන් ඉල් පවුලේ පිරිමි දරුවෙකු වීම අනිවාර්යය වෙනවා. ඒක නිසා හතරවන පරම්පරාවේ නායකයෙකු උතුරු කොරියාවට බිහිකර දීමේ භාරදූර වගකීම පැවරිලා තියෙන්නේ රි සෝජුට. ඉතින් හිතන්නකෝ පූරුවේ කරුමෙකට හරි රි සෝජුට පිරිමි දරුවෙක් බිහි කරන්න බැරි වුණා නම් මොනවයින් මොනවා වෙයිද නේද? අනිත් එක උතුරු කොරියාවේ නීතියට අනුව පරදාර සේවනයයි බහුවිවාහයයි නීතියෙන්ම තහනම් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒ වුණාට ඔය ඒ රටේ රාජ්‍ය නායකයින්ට නම් අනියම් බිරින්දෑවරු ඕනතරම් තියාගන්න පුළුවන් කියන්නේ. කිම් ජෝන් උන් කියන්නෙත් ඔහුගේ පියාගේ අනියම් බිරිඳගේ දරුවා කියලයි රට්ටු කියන්නේ. මේ ළඟදි කිම් ජෝන් උන් එයාගේ පැරණි පෙම්වතියට උතුරු කොරියානු මධ්‍යම කාරක සභාවේ සාමාජික ධුරයකුත් දීලා කියලයි ආරංචි. ඇය කිම් ජෝන් උන් එක්ක නිතර නිතර චීනයේ ව්‍යාපාරික සංචාරවලටත් යනවලු.

ඕනම රටක ජනාධිපති ආර්යාවව රූපවාහිනී නාළිකාවල මෙන්ම සමාජ මාධ්‍යවලත් ඉතාමත් පහසුවෙන් දැකගන්න පුළුවන්කම තියෙනවනේ. ආරංචියේ හැටියට කිම් ජොන් උන්, රි සෝජුට ඒ දේවල් තහනම් කරලලු. ඒ වගේම ඇයට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න පුළුවන් කිම් ජෝන් උන් එක්ක විතරමලු. කොටින්ම කියනවා නම් කිම් ජෝන් උන්ගේ අවසරය නැතුව ඇය කෑමක් කෑවත්, ඇඳුමක් පැළඳුමක් ඇන්දත් ඇයට දැඩි දඬුවම් නියම වෙනවලු.

2011 අවුරුද්දෙදි ඇය ජනාධිපති ආර්යාව විදියට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළත් කිසිම අවස්ථාවක ඇගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරලා තිබුණෙ නෑ.​ බොහෝ විශ්ලේෂකයින් නම් කියන්නේ කිම් ජෝන් උන්ට විහිළුකාරී බඩතඩි පෙනුමක් තියෙන නිසා ඔහු ඇගේ ආකර්ෂණීය සුන්දර පෙනුම ලෝකයාගෙන් සඟවලා තියන්න උත්සාහ කරනවා කියලා. කොහොම වුණත් කිම් ජොන් උන් ඔහුගේ බොහෝ සමීපතමයින්ට කියලා තියෙන්නේ රි සෝජු ඔහුගේ ගමනේදී බිමනේදී ජනතාවට හිනාවෙලා අත වනන්න දුන්න සජීවී ප්‍රචාරක භාණ්ඩයක් විතරයි කියලා.

ලිහිණි මධුෂිකා