Latest News

රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින් රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගය ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා දිනාගනී

ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ  ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය.

රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන් වෙනුවෙන් පවත්වනු ලබන එම දිනුම් ඇදීමෙන් දෙවැනි ස්ථානය අත්කර ගත් වාද්දුව පදිංචි ජනනි සේනාධිර රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයට හිමිකම් කී අතර, රත්නපුර පදිංචි තනූෂි වාසනා ඇල්පිටිය තුන්වැනි ස්ථානය හිමිකර ගනිමින් රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගය දිනා ගත්තාය.

බාල, තරුණ, මහලු ඕනෑම වයස් කාණ්ඩයකට සරිලන විවිධාකාරයේ මෝස්තර පෙළක් සහිතව අතැති මුදලට ගැළපෙන ආකාරයේ මිල පරාසයන් යටතේ මිලදී ගත හැකි රිච් ලුක් ප්‍රදර්ශනාගාර සමූහයේ මෝස්තර සොයා ඇදෙන දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන් වෙනුවෙන් මේ තෑගි තරගයේ සංකල්පය ආරම්භ වූයේ 2016 වසරේදී බව රිච් ලුක් ප්‍රදර්ශනාගාර සමූහයේ අධ්‍යක්ෂ ළහිරු චාමිකර මහතා ප්‍රකාශ කළේය.

‘අපිට මෙපමණ දුරක් පැමිණීමට ශක්තියක් වුණේ මේ දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන් පිරිසයි. ඔවුන් නිසා තමයි අපේ ජාලය ශාඛා පහක් දක්වා ව්‍යාප්ත වුණේ. ඒ නිසා අපි කල්පනා කළේ වට්ටමක් පිරිනැමීමට අමතරව අපේ පාරිභෝගිකයන්ට විශාල තෑගි මුදලක් ලබා දෙන්න ඕන කියලයි.‘ ජයග්‍රාහකයන්ට රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ මුදල් ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ අධ්‍යක්ෂ ළහිරු චාමිකර මහතා එසේ සඳහන් කළේය.