විශේෂාංග

“අන්න අර ගෑනු ළමයා ඔයා දිහා බලාගෙන ඉන්නවා” කියලා මමයි එයාට පෙන්නන්නේ

2017 වසරේදී දකුණත් පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙසද ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ දක්ෂ ක්‍රීඩකයෙකි සධීර සමරවික්‍රම. මුල් කාලයේදී ඉහළ දක්ෂතා පෙන්වුවත් අනතුරුව ඔහුගේ සුපුරුදු පිතිහරඹ රටාව ගිලිගී ගියේය. එතැන් පටන් සධීරට වූයේද කණ්ඩායමට එන යන ක්‍රීඩකයෙක් වෙන්නටයි. නමුත් මෑතකදී නිමාවූ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) තරඟාවලිය ඔහුගේ ක්‍රිකට් ජීවිතයම කණපිට හැරෙව්වේය. තිසර පෙරේරා ප්‍රමුඛ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරඟ 10ක් තුළ ලකුණු 294ක් ලබාගනිමින් ඔහු තරඟාවලියේ වීරයා බවට පත්විය. එම දක්ෂතාවය නිසාම මේ වනවිට යළිත් ඔහුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවා තිබේ. එවන් මොහොතක මේ කතාබහ ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආදරණීය බිරිඳ තිලක්ෂි ගමගේ සමඟිනි.

*දිගු කාලෙකට පස්සේ ආයෙත් සධීරව ජාතික කණ්ඩායමට කැඳවලා තියෙනවා. ඔබට සතුටුයිද දැන්?

ඇත්තටම සධීරට තරමටම මටත් ලොකු සතුටක් තියෙනවා. මොකද එයා ලොකු කාලයක් තිස්සේ කණ්ඩායමෙන් ගිලිහිලා හිටියේ. එයාට ලොකු උවමනාවක් තිබුණා ආයෙත් කණ්ඩායමට එන්න. ඒ වෙනුවෙන් එයා කරපු කැපකිරීම් දන්නේ මං විතරයි. ඉතින් එක්දින ලෝක කුසලානයකුත් අත ළඟ තියෙන වෙලාවක සධීරට ආයෙත් කණ්ඩායමේ ස්ථානයක් ලැබුණු එක ගැන හරිම සතුටුයි.

 

*මං ආසයි මේ කතාබහ ඔයාට සධීරව මුණගැහුනු තැනින් පටන්ගන්න. ඇත්තටම දෙන්නා මුණගැහුනේ කොහොමද?

අපි මුණගැහුනේ 2013 අවුරුද්දේ. ඒ මගේ යාළුවෙකුගේ උපන්දින පාටියක් වෙලාවේ. එදා සධීරත් ඒකට ඇවිත් හිටියා. එදා දැනඅඳුරගෙන ෆේස්බුක් හරහා තමයි අපේ යාළුකම ගොඩනැගුනේ. කොහොමහරි ඒ විදියට මාස පහක් වගේ හිටියා. ඊටපස්සේ සධීර ඇහුවා මගෙන් කැමතිද කියලා. ඉතින් මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ.

 

*එදා සධීරට කැමති වෙන්න තිබුණු හේතු මොනවද?

එයාගේ ගතිගුණ තමයි ඉතින්. මං අදටත් ආස එයාගේ නිහතමානීකමටයි කරුණාවන්තකමටයි. එදත් ඒ ගතිගුණ දෙක එයාට අඩුවක් නැතුව තිබුණා.

 

*2013 කියන්නේ ඒ කාලේ දෙන්නා ඉස්කෝලේ යන වයසේ ඉන්න ඇති නේද?

(සිනාසෙමින්) ඔව් ඔව්. ඒ වෙනකොට සධීර උසස් පෙළ පන්තිවල හිටියේ. මං නම් සාමාන්‍ය පෙළ ලියලා හිටියේ.

 

*ඒ වෙනකොට සධීර ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවද?

ඔව්. එයා පාසල් ක්‍රිකට් කණ්ඩායමේ හිටියා. ආදරේ කරන කාලෙම 19න් පහළ ජාතික කණ්ඩායමටත් තේරුණා. ඒත් ජාතික කණ්ඩායමට නම් තේරෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.

 

*හැබැයි එහෙම වුණා නේද?

ඔව්. අපි ආදරේ කරන්න පටන් අරන් හතරවැනි අවුරුද්ද වෙනකොට එයාව ජාතික කණ්ඩායමට කැඳෙව්වා. මං හිතන්නේ සධීර ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියේ ඒ ආරංචිය ලැබුණු දවසේ තමයි.

 

*තිලක්ෂි ඒ වෙනකොට ක්‍රිකට් මැච් බලලා තිබුණද?

මං ඉස්කෝලේ කාලේ ඉඳන් ක්‍රිකට් මැච් බලනවා. ඒ වෙනකොටත් මං හොඳ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක්. ඒ නිසාම සධීර ජාතික කණ්ඩායමට කැඳෙව්වට පස්සේ එයා තරමටම මටත් ලොකු සතුටක් දැනුණා “අදින් පස්සේ මගේ කොල්ලත් මැච්වල ඉන්නවනේ” කියලා.

 

*ඒ සතුට අස්සේ පොඩි බයකුත් තියෙන්න ඇති. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ තරුණියන්ගේ ආකර්ෂණය ලොකුවටම ලැබෙන පිරිසක්. අනෙක් කාරණාව ඒ වෙනකොට සධීර කියන්නේ ඔයාගේ පෙම්වතා විතරයි?

ඔව් ඉතින් හස්බන්ඩ් ක්‍රිකට් ගහනවා වගේ නෙවෙයි බෝයිෆ්‍රෙන්ඩ් ක්‍රිකට් ගහනකොට. ඒ අත්දැකීමට මුහුණදෙන ඕන ගෑනු ළමයෙකුට එහෙම බයක් දැනෙන්න පුළුවන්. ඒත් සධීර මට එහෙම බයක් ඇතිවෙන්න පුංචි ඉඩක්වත් තිබ්බේ නෑ. එයා පුංචි පුංචි දේවල් පවා මගෙත් එක්ක කිව්වා. ඒ විශ්වාසය නිසා ඇත්තටම මට බයක් දැනුණේ නෑ.

 

*කොහොමහරි 2021 අවුරුද්දේ දෙන්නා එක වහලක් යටට ආවා නේද?

(සිනාසෙමින්) අවුරුදු අටක් ආදරේ කරලා 2021 පෙබරවාරි 02 වැනිදා අපි විවාහවුණා.

 

*ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් වෙලා ඉන්න එක ලේසියිද?

එළියේ ඉඳන් බලන අයට නම් පේනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් කියන්නේ හැමදේම ලැබෙන හරිම වාසනාවන්ත පිරිසක් කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒ ඇත්ත අස්සේ කවුරුත් නොදකින පැත්තකුත් තියෙනවා. ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ තියෙන කාර්යබහුල බව. සමහර වෙලාවට එයාලා සති ගණන් මාස ගණන් ගෙවල්වල නෑ. ළඟින් ඉන්න ඕනම වෙලාවල්වල ගෙදර නෑ. ටුවර් වගේ ගියාම හරියට දැනෙනවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් වෙන්න ලේසි නෑ. ඒකට ක්‍රිකට් ගැන අවබෝධයක් සහ තේරුම්ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ලොකු කැපකිරීමක් කරන්නත් වෙනවා.

 

*සධීර ගෙදරදි හරි නිදහසේ ඉන්න කැමති කෙනෙක් කියන්නේ ඇත්තද?

ඒක ඇත්ත. එයා හරි සරලව නිදහසේ ඉන්න ආස කෙනෙක්. ගෙදර ඉන්න වෙලාවට මැච් එකක් බලන එක නැත්නම් සිංදුවක් අහන එක තමයි කරන්නේ. හැබැයි එයා හරිම ආසයි ගෙදර අයත් එක්ක ඉන්න.

 

*විවාහයෙන් පස්සේ තිලක්ෂිගෙන් සධීර වැඩිපුරම බැණුම් අහන්නේ ඇයි?

(සිනාසෙමින්) අමතක වෙන ලෙඩේට තමයි එයා මගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ.

 

*දෙන්නත් එක්ක පාරෙතොටේ යද්දි සධීරට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. සමහර පිරිමි ළමයි එහෙම එයාගේ ළඟට ඇවිත් සෙල්ෆියක් ගහලා කතාබහ කරලා යනවා. ටීම් එකේ නැති කාලේ එහෙම “ආයෙත් ඉක්මනට ටීම් එකට එන්න ඕන” කියලා ගොඩාක් අය එයාට සුබපැතුවා.

 

*එතකොට අපේ ගෑනු ළමයින්ගේ එහෙම ප්‍රතිචාර කොහොමද?

(සිනාසෙමින්) ඒත් වෙනසක් නෑ. සමහර වෙලාවට මමමයි එයාට පෙන්නන්නේ “අන්න අර ගෑනු ළමයා ඔයාව අඳුරගෙනද කොහෙද ඔයා දිහා බලාගෙන ඉන්නවා” කියලා. මං හිතන්නේ ඒ විදියට ආදරේ ලබන්න අපි හැමෝටම බෑ. ඒ අතින් නම් සධීර හරිම වාසනාවන්තයි.

 

*ගෙදර උයන්නේ සධීර කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) අයියෝ කවුද ඒ බොරුව කිව්වේ? එයාට උයන්න බෑ.

 

*අපි සධීරගේ ක්‍රිකට් ජීවිතේ පැත්තට හැරුණොත් පසුගිය ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) තරඟාවලිය සධීරගේ ක්‍රිකට් ජීවිතේ සහමුලින්ම වෙනස් කළා නේද?

අනිවාර්යයෙන්ම. සධීර ජාතික කණ්ඩායමට ආවේ 2017 අවුරුද්දේ. ඒත් කණ්ඩායමෙන් එයාව ගිලිහුනා. ඒ නිසා එයාට උවමනා වෙලා තිබුණේ ආයෙත් කොහොම හරි කණ්ඩායමට එන්න. ඒ වෙනුවෙන් එයා ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට පහුගිය LPL තරඟාවලියේ එයාට හොඳට දස්කම් පෙන්නන්න පුළුවන් වුණා. තරඟාවලියේ වීරයාත් වුණා. ඒත් එක්කම එයාව ආයෙත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා.

 

*ඒ ගැන සධීරටත් වඩා සතුටුවෙන්න ඇත්තේ එයාගේ තාත්තා වෙන්න ඇති නේද?

ඔව් ඔව්. එයාගේ තාත්තා තමයි සධීරගේ පළවැනි පුහුණුකරු. මැච් එකකට යද්දි පවා තාත්තට කතා කරලා යන්නේ. මැච් එකක් ෆේල් වුණොත් එහෙම ගෙදර ඇවිත් මුලින්ම කරන්නේ එයාගේ තාත්තට කතා කරලා ඒ අඩුපාඩුව ගැන කතා කරන එක. ඒ දෙන්නා අතරේ ලොකු බැඳීමක් තියෙනවා.

 

*ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයෝ ඉන්නේ ටැටූ ගහලා. ඒත් සධීර එහෙම නෑ. ඒකට හේතුවක් තියෙනවද?

(සිනාසෙමින්) ඇත්තටම සධීර ටැටූවලට ආසයි. ඒත් එයා කටුවලට බයයි. එයාට බෙහෙත් විදින්න එහෙම ලේසි නෑ. ඔන්න රිදෙන්නේ නැතුව ටැටූ ගහන කාලයක් ආවොත් සධීරත් ටැටූ එකක් ගහයි. හැබැයි මං නම් ටැටූවලට ටිකක් අකමැතියි.

 

*සධීර ඇරුණම තිලක්ෂි ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් තමයි.

 

*අවසාන වශයෙන් කියන්න, එක්දින ලෝක කුසලානයට තව ටික දවසයි තියෙන්නේ. සධීර ඒ වෙනුවෙන් ලෑස්තිද?

මං විශ්වාස කරනවා එයා ලෝක කුසලාන සංචිතයට නම් කරයි කියලා. එහෙම වුණොත් එයා එයාගේ උපරිමය කරයි. මොකද එයාගේ ලොකුම ආසාව ලෝකයේ අංක එකේ පිතිකරුවා වෙන එක. ඒ නිසා එයා උපරිමය කරයි.

 

රුවන් එස්.සෙනවිරත්න