විශේෂාංග

දොස්තර සිහිනෙද සිත්තර සිහිනෙද දරුවටම තෝරගන්න දෙන්න

දරුවන් වැලි පොළොවේ දුව පනිනාවිටත්, වැලි සෙල්ලම් කරනාවිටත් අම්මලා ඊට අකමැති වන්නේ ඔවුන් ලෙඩ හදා ගනිතැයි තිබෙන බිය නිසාය. එහෙත් දණගාන වයසේ සිඟිත්තෙකුට විවිධ අත්දැකීම් සහ කුසලතා ජීවිතයට එක් කරගන්නට එකී වැලි පොළොව තරම් මනරම් පියසක් තවත් නොවේ. අප එසේ කියන්නේ එවන් කුඩා වයසකදී මිදුලේ ඇඟිල්ලෙන් ඇඳි රූ රටාව අනාගත සිත්තරෙකු නිර්මාණය කරන්නට තරම් දායක වන අවස්ථා ඇති නිසාය.

එස්.එච්.ඩබ්ලිව්. සදෙව් නිම්සර පුතුද අවුරුදු දෙක තුනක් වෙද්දී එසේ වැලි මිදුලේ ඇඟිල්ලෙන් නෙක රටා ඇඳි පුංචි සිඟිත්තෙකි. සදෙව්ගේ මව වන චතුරිකා සඳමාලි ගුණවර්ධන එදා තමන් දුටු පුතුගේ දස්කම් ගැන මතකය අලුත් කළාය.

‘‘මට මතකයි පුතා මිදුලේ ඉස් ඉස්සෙල්ලම අතින් ඉරි රටා ඇඳපු හැටි. එයා වැලි ගොඩේ වගේම ගෙයි වතුර ටිකක් වැටිලා තිබුණත් ඇගිල්ලෙන් චිත්‍ර අඳිනවා. එයාට ඒ හැකියාව පිහිටලා තියෙනවා කියනෙක අපිට වැටහුණා. පෙර පාසල් වයසට එද්දී එයාගේ ඒ දස්කම් තවත් වැඩි වුණා. මොන්ටිසෝරියේ හොඳම චිත්‍රය ඇඳලා පුතා තෑගිත් ගත්තා. අපි අඳින්න කියලා නෙවෙයි එයාම හිතලා චිත්‍ර අඳිනවා. මිනිස් රූප, සත්තුන්ගේ රූප, ගහකොළ, පරිසරය ඒ සිතුවම් අතර කැපී පෙනුණා. ඒ වගේම දැන් පුතාට වයස දහතුනයි. විවිධ තරඟවලින් තෑගි සහතික සියයකට වඩා දැනට ලබාගෙන තියෙනවා.’’

සදෙව්ගේ දස්කම් වඩාත් කැපීපෙනෙන සේ මතු වූයේ ඉකුත් කොරෝනා සමයේ ලැබුණු පාසල් නිවාඩුවත් සමඟිනි. ඒ කාලයේ වැඩිපුර සායම් සමඟ කාලය ගතකළ සදෙව් තම චිත්‍ර ඇඳීමේ හැකියාව අපූරු ලෙස ප්‍රගුණ කරගත්තේය.

ඔහු පදිංචිව සිටින්නේ හම්බන්තොට දිස්තික්කයේ අම්බලන්තොට ගොඩවාය නම් ධීවර ගම්මානයේයි. කුඩාම වියේ පටන්ම සදෙව් සතා සීපාවන්ට මෙන්ම ගහකොළ ඇතුළු ස්වභාවික පරිසරයට බෙහෙවින්ම ආසා කළේය.

‘‘ඇත්තටම පුතාව පොතපතටම යොමු කරන්න, එයාට පාඩම් වැඩ කරන්න කියලා බලපෑම් කරන්න අපි හිතුවේ නෑ. එයාට එයා යන පාරේ යන්න දෙමින්, අපි එයාගේ පසුපසින් හිටියා. මොන්ටිසෝරි වයසෙදිම එයාගේ චිත්‍රවල විශේෂ ලක්ෂණ ගැන බොහොදෙනෙක් කතා කළා වගේම ඒවා අගය කළා. පහ වසර ශිෂ්‍යත්වය පුතා සමත් වුණේ ලකුණු එකසිය හැත්තෑ නමයක් අරගෙනයි. ඇත්තටම චිත්‍ර අඳින්න වගේම එයා අනෙක් හැම විෂයටමත් දක්ෂයි. දරුවෙක් විෂය කරුණු අතරෙම කොටු කරන්න නරකයි. එතකොට දරුවගේ සැබෑ දක්ෂතාව යටපත් වෙනවා. මම නම් හිතන්නේ දරුවව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කරනවා කියන හීනයේ පමණක් දෙමව්පියෝ ඉන්න හොඳ නෑ. දරුවා යන පාර මොකක්ද කියන එක එයාගේ දක්ෂකම අනුව තෝරගන්න දෙන්න ඕන. ඒ පසුපසින් දෙමාපියෝ ඉන්නත් ඕන.’’

සදෙව් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ අම්බලන්තොට​ ථේරපුත්ත ප්‍රාථමික විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්වය සමත්වන ඔහු අනතුරුව ඇතුළත් වන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලටයි. දැන් ඔහු අට වසර පන්තියේය. එහි ඉගෙනුම ලබන සිසුන් අතරද ඔහු කැපීපෙනෙන දස්කම් ඇති සිසුවෙකි. ඒ චිත්‍ර අඳින්නට වාගේම අනෙකුත් විෂයන්ට ඔහු තුළ ඇති දක්ෂතා නිසාවෙනි.

‘‘පුතා කොරෝනා නිවාඩු කාලේ තමයි වැඩිපුරම චිත්‍ර අඳින්න යොමුවුණේ. ඒ වගේම විවිධ තරඟවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුවා. ඒ අතර රටවල් 180ක් සහභාගී වුණ ජපන් කනගාවා (යුනෙස්කෝ ආයතනය සංවිධානය කරන) චිත්‍ර තරඟයෙන්, 2021 වසරේ විශේෂ සම්මානයක් ලැබුවා. ඒ වගේම 2020 වසරේ රාජ්‍ය ළමා චිත්‍ර තරඟයෙන් සම්මාන සහතික ලැබුවා. බැංකුවලින් වගේම විවිධ ආයතන මගින් සංවිධානය කළ චිත්‍ර තරඟවලට ඉදිරිපත්වෙලා ලබපු ජයග්‍රහණ රැසක් තියෙනවා. ඇතැම් දර්ශන ඡායාරූපගත කරලා, ඒ විදියටම අඳිනවා. ඒ වගේම වනජීවී සිතුවම් අඳින්නත් දක්ෂයි. එයාගෙම ශෛලියක් එයා භාවිතා කරනවා.’’

ඇය කියන්නේ සදෙව් පාසැල් අධ්‍යාපන කටයුතුත්, චිත්‍ර ඇඳීමත් සමබරව කරගෙන යන බවයි. පුතු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමෙන් පසු උසස් පෙළ සඳහා කුමන අංශයෙන් ඉදිරියට යන්නේ දැයි තීරණය කරන්නට නිදහස ලබාදෙන බවද ඇය කියන්නීය. සදෙව් නිම්සර පවුලේ එකම දරුවා වන අතර, ඔහුගේ පියා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන බලපන්ති සැරයන් අසංක රත්න ප්‍රභාත්ය.

‘‘පුතා චිත්‍ර අඳිනවට එයාගේ තාත්තත් හරිම කැමතියි. එයාට ඕන කරන පාට, සායම් වර්ග ගෙනැත් දෙන්නෙත් තාත්තයි. පුතා පරිසරය සමඟ බොහොම සංවේදීව කටයුතු කරනවා දකිද්දි අපි දෙන්නටම සතුටක් දැනනවා. ඒ වගේම ඔහු සත්තුන්ට හරිම ලැදියි. සමනලයෙක්, පණුවෙක් දැක්කත් ඡායාරූපයක් අරන් ඒ විදියටම සිතුවම් කරනවා. පුතා ඇඳපු චිත්‍ර රාමු කරලා අපේ ගෙදර සාලය අලංකාර කරලා තියෙනවා. ඒ වගේම පුතාගේ කාමරයත් එයා ඇඳපු චිත්‍රවලින්ම ලස්සන කරගෙන තියෙනවා.’’

සදෙව්ගේ අනාගත සිහිනය චිත්‍ර ගුරුවරයෙකු වීමයි. ඒ අදහස අනාගතයේ දවසක වෙනස්ව දොස්තර කෙනෙකු වෙන්නට සිතුවද සොඳුරු සිත්තරකු ඔහු තුළ සිටින බැවින්, රෝගීන්ට මුණගැසෙන්නේ බොහෝ කාරුණික හා කලාකාමී වෛද්‍යවරයෙකි. පාසලේ ගුරුවරුද ඔහුගේ දස්කම් නිතර අගය කරනු ලබති. ඒ නිසාම සදෙව්ගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට නුදුරු දිනකදී පාසල් මව්ගෙන් ඉඩ ලැබෙනු ඇත.

‘‘දරුවෙක් දක්ෂ මොන පැත්තටද කියලා බලලා, දරුවව ඒ ඔස්සේ ඉදිරියට යවන්න. පරිසරය එක්ක ගහකොළ එක්ක එයාට හැදෙන්න අවස්ථාව දෙන්න. අපි ශිෂ්‍යත්වයට වුණත් දරුවව ඇදගෙන පන්ති ගානේ දිව්වේ නෑ. ඒත් එයාව ධෛර්යමත් කළා. එතකොට එයා යා යුතු මාර්ගය නිදහසේ තෝරා ගන්නවා. ඒ නිදහස තුළ දරුවගේ ගමන ශක්තිමත් වෙනවා.’’

සදෙව්ගේ ළමා ලෝකය ලස්සනය. ඔහුට බොහෝ යහළුවන් හිඳී. ඒ අතර ලස්සන කුරුල්ලන්, සමනලුන්, බලු සුරතලුන් ගොන්නකි. මේ යහළුකම් මැද සදෙව්ගේ ළමා ලෝකය වාගේම හෙට දවස වඩාත් ලස්සන වනු නොඅනුමානය.

දීපා වසන්ති එදිරිසිංහ