නවතම ප්‍රවෘත්ති

එදා පාන්දර 1.15ට කෝල් කරලා “අම්මා මං පිටත්වුණා. පැයෙන් ගෙදර” කියලා කිව්වා – සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පෙරේරා

මීට වසර දෙකකට ඉහතදී සනත් නිශාන්ත අමාත්‍යවරයා ගමන්ගත් මෝටර් රථය පුත්තලම කුරුණෑගල මාර්ගයේදී අනතුරට ලක්විය. ගෙවුණු 2023 වසරේදී ද ඔහු ගමන්ගත් මෝටර් රථය මාරවිල ප්‍රදේශයේදී අනතුරකට ලක්වුණු බව අපට මතකය. ඒවා කොතරම් දරුණු අනතුරු වුවද හාස්කමකට මෙන් ඒවායෙන් අමාත්‍යවරයාගේ ජීවිතය බේරිණි. “මට පණ හතක් තියෙනවා” යනුවෙන් අවස්ථා කිහිපයකදීම ඔහු පැවසුවේ ඒ නිසා විය හැකිය. ඒ කෙසේ වෙතත් පසුගිය 25 වැනිදා සනත් නිශාන්ත අමාත්‍යවරයාට සිය ජීවිත කතාව අවසන් කරන්නට සිදුවිය. ඒ එදින පාන්දර කටුනායක සිට කොළඹ බලා එන ගමනේදී බිහිසුණු අනතුරකට ලක්වීමෙන්ය. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ හදිසි වියෝව ගැනත්, ඔහු තුළ ජීවත් වූ ආදරණීය මිනිසා ගැනත් අප සමඟ මේ විස්තර කීවේ ඔහුගේ ආදරණීය බිරිඳ අධිනීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මියටයි. 

 

*නොහිතපු වෙලාවක මේ නරක ආරංචිය දැනගත්තේ කොහොමද?

ඇමතිතුමාගේ වාහනේ ඇක්සිඩන්‍ට් වෙලා එයාව රාගම රෝහලට අරගෙන ගියා කියලයි මට ආරංචිය ආවේ. ඒත් ඒක මෙච්චර ලොකු අනතුරක් කියලා මම හිතුවේ නෑ. ඒත් මම එවෙලෙම රෝහලට ගියා. අනේ ඒ යද්දිත් ඔහු නැතිවෙලා.

 

*තාත්තා නැතිවෙලා කියලා දරුවන්ට කිව්වේ කොහොමද?

ඒක වෙනත් කෙනෙක් ලව්වා කියනවට වඩා මමම කියන එක හොඳයි කියලා හිතුණා. පස්සේ මං අමාරුවෙන් හිත හදාගෙන ඔයාලගේ අප්පච්චි නැතිවෙලා කියලා අමාරුවෙන් එයාලට කිව්වා. ඒ වෙලාවේ එයාලට ඒ දුක දරාගන්න බැරිවුණා.

 

*මියයන්න කලින් අමාත්‍යවරයා අන්තිමට කතා කළේ කීයටද?

සිද්ධිය වුණු දවසේ පාන්දර 1.15ට කෝල් කරලා “අම්මා මං වෙඩින් එකෙන් පිටත්වුණා. මං පැයෙන් ගෙදර” කියලා කිව්වා. මං බලාගෙන හිටියත් ඒ වෙලාවට එයා ආවේ නෑ. ඒ නිසා මං ආයේ එයාට කෝල් එකක් ගත්තත් ෆෝන් එක වැඩ කළේ නෑ. ඉතින් මම හිතුවේ නිදි ඇති කියලයි. 

 

*අමාත්‍යවරයා චමරිට ආදරේට කියපු නම ඒකද?

ඔව්. ආදරේ කරපු කාලෙයි බැඳපු අලුතයි එයා මට කිව්වේ සුදු මැණික කියලා. හැබැයි පළවැනි දරුවා ලැබුණ දවසේ ඉඳන් එයා මට අම්මා කිව්වා.

 

*අනතුර වෙන්න කලින් විශේෂ දේවල් මොනවාහරි වුණාද?

එදා අපිත් හලාවත යන්නයි හිටියේ. අපිව දාගෙන එයා වාහනේ පොඩි දුරක් ගියා. කොහොමහරි කලින් දවසේ වාහනේ ෆෝවීල් වැටිලා. එතකොට වාහනේ රේස් වෙනවා අඩුයිනේ. ඉතින් ඇමතිතුමා වාහනේ නතර කර කර ඒක හදන්න හැදුවා. මතක විදිහට හතර ගමනක් වාහනේ නැවැත්තුවා. තවත් හිටියොත් පරක්කු වෙන හින්දා එයා තනියම යන්නම් අපිට අනෙක් වාහනේ කොළඹ ගෙදර යන්න කියලා පස්සේ එයා කිව්වා.

 

*අමාත්‍යවරයාට අපලයි කියලා ඔහුගේ හඳහනේ තියෙනවා කියලා හැමෝම මේ දවස්වල කතා වෙනවා?

අපි කතෝලික. අපි ඒ දේවල් විශ්වාස කරන අය නෙවෙයි. හැබැයි මට හොරෙන් එයා වෙලාව බැලුවද, ඒ බලලා මං බයවෙයි කියලා ඒක මට නොකිව්වද දන්නෙත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා.

 

*සනත් නිශාන්ත අමාත්‍යවරයා මියයාමත් එක්ක සමහර අය සතුටු වුණා. බිරිඳ විදිහට ඒක කොහොමද දැනෙන්නේ?

ඒ සතුටු වුණු මිනිස්සු ගැන මං හුඟාක් කණගාටු වෙනවා. මොකද කෙනෙක් මියගියාට පස්සේ ඒ ගැන සතුටුවෙන එක මනුෂ්‍යත්වයට ගැළපෙන දෙයක් නෙවෙයි. කාට වුණත් ශාප කරන, වෛර කරන, නපුරක් පතන මිනිස්සු වෙන්න එපා කියලයි මම ඒ අයගෙන් ඉල්ලන්නේ. 

 

*එදා ඉඳලා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය විදිහට කටයුතු කළෙත් ඔබමයි නේද?

ඔව්. පළාත් සහාවේ ඉඳන්ම එයාගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට කටයුතු කළේ මමයි.

 

*එතකොට සනත් නිශාන්ත කියන දේශපාලනඥයාව ඔබ දැක්කේ කොයි විදියටද?

එතුමගේ දේශපාලන ජීවිතේත් කොටස්කාරියක් විදිහට ඔහු කරපු දේවල් මම දැක්කා. පුත්තලම් දිස්ත්‍රික්කයේ හිටපු විශිෂ්ටම දේශපාලනඥයා වුණේ ඔහු. ඒ වගේ චරිතයක් පුත්තලම් දිස්ත්‍රික්කයට ආයේ අවුරුදු ගාණකට බිහිවෙන එකක් නෑ 

 

*එතකොට පෞද්ගලික ජීවිතේ ඔහුට ඔබ එක්ක තිබුණු බැඳීම කොහොමද?

ඔහු හරි ආදරණීය සැමියෙක්. කිසි දවසක මට අඩුපාඩුවක් වෙන්න ඉඩ දීලා නෑ. මං කවදාවත් මට අරක ඕන මේක ඕන කියලා දෙයක් එයාගෙන් ඉල්ලලා නෑ. ඒත් එයා වාහනේ යනකොට ලස්සන ඇඳුමක් දැක්ක හැටියේ මට ඒක අරන් දෙනවා. ඒ වෙලාවෙම මම ඒක ඇඳලා එයාට පෙන්නුවාම මහත්තයට හරි සතුටුයි. 

 

*ඇමතිතුමාව ඔබට මුණගැහුනේ කොහොමද කියලත් කියන්න කැමතිද?

ඔහුව මුලින්ම මුණගැහුනේ මාදම්පේ දේවස්ථානයකදි. ඊටපස්සේ උසාවියේදි දැක්කා. ඒක වුණෙත් මෙහෙමයි. ඒ කාලේ (2005) මං හිටියෙ කොළඹ නීති පිඨයේ. අධිකරණයට පුහුණුවෙන්න යන්න අපිට මාස තුනක කාලයක් දෙනවා. ඒ ගිය වෙලාවක එයත් එතැනට ඇවිදින් හිටියා. එතකොට එයා පළාත් සභා මන්ත්‍රීවරයෙක්.

 

*දෙන්නාගේ සමීප හිතවත්කම ඇරඹුණේ ඔහු කරපු විහිලුවක් දුරදිග ගිහින්ලු නේද?

ඔව්, ඔව්. එදා මගේ අතින් පෑනක් බිමට වැටුණා. ඒක ගිහින් නැවතුනේ ඔහුගේ පුටුව ළඟ. පස්සේ මං ගිහින් ඒක ගන්න නැවෙද්දි එයා මට සුවපත් වේවා කිව්වා. ඒ වෙලාවේ මට හිනාගියා. පස්සේ මාස කීපයක් මම එයාව දැක්කේ නෑ. හැබැයි ආයේ සැරයක් ගමේ වැඩකට මට ඔහුට කතා කරන්න වුණා. එදා සිද්ධියත් මම එවෙලේ මතක් කළා. අපේ හිතවත්කම පටන්ගත්තේ එහෙම. ටික කාලයක් යද්දි ඒ හිතවත්කම ආදරේකට පෙරලුණා.

 

*ආදරේ කරපු කාලේ අමතක නෙවෙන මතක ගොඩක් ඇති?

අද ඊයේ වගේ ඒ කාලේ වුණු හැමදේම මතකයි. එයා නිතරම පුත්තලමේ ඉඳන් මාව බලන්න කොළඹට ආවා. ඒ දේවල් ගැන හිතද්දි හිතට හරි දුකයි.

 

*එතකොට දෙන්නා විවාහවුණේ?

අවුරුදු තුනක් ආදරේ කරලා 2008 අවුරුද්දේ අපි විවාහවුණා.

 

*පියෙක් විදියට අමාත්‍යවරයාගේ චරිතය ගැන කිව්වොත්?

අපිට දරුවෝ හතරයි. දුවලා තුන්දෙනයි පුතයි. හතරදෙනාම පාසල් යන වයසේ. එයා හොඳ පියෙක්. දේශපාලන වැඩ නිසා දරුවොත් එක්ක ගතකරන්න ලැබුණු කාලය අඩුයි. හැබැයි එයා දරුවො ගැන එයාගේ උපරිමයෙන්ම බැලුවා. දරුවොත් මට වඩා එයාටයි ලෙන්ගතු. එයා කලින් ගෙදර එනවා නම් දරුවන්ට ඊට එහා දෙයක් නෑ. දරුවෙක්ගේ බර්ත් ඩේ එකක් තිබුණත් කේක් එකක් කපලා පොඩියට හරි සමරන එක එයාගේ පුරුද්දක්.

 

*ඇමතිතුමා ගෙදර වැඩට එහෙම උදව් කළාද?

අනේ ඔව්. ගෙදර ඉන්නවා නම් ගෙදර වැඩටත් උදව් වෙනවා. එයාට රසට කෑම හදන්න පුළුවන්. නැතිවෙන්න ටික දවසකට කලින් අපට එළවලු රොටී, පරාටා, මස් රොටී එහෙම හරි රසට හදලා දුන්නා. 

 

*ගොඩාක් අය මේ සනත් නිශාන්ත කියන චරිතය දැක්කේ දඩබ්බර චණ්ඩියෙක් විදියට. ඇත්තටම ඔහු එහෙම කෙනෙක්ද?

මං දැකපු සනත් නිශාන්ත ඇමතිවරයා නිර්භීත, එඩිතර, කාර්යශූර, අසමසම පුද්ගලයෙක්. ඔහුව දන්න අය, සමීපව ඇසුරු කරපු අය ඔහු ඒ කියන විදියේ කෙනෙක් නොවන බව දන්නවා. පිටින් බලලා ඔහු ගැන තීරණය කරපු අය තමයි ඔය විදියේ වැරදි මතයක ඉන්නේ.

 

*හැබැයි පුත්තලමේ මිනිස්සු නම් එතුමාට හරි කැමතිලු නේද?

පුත්තලම දිස්ත්‍රික්කයේ දූෂිත දේශපාලනයක් තිබුණු කාලෙක තමයි එයා පුත්තලමෙන් දේශපාලන ගමන පටන්ගත්තේ. ඔහුගේ අයියා කෙනෙක් දේශපාලන ප්‍රශ්න නිසා නිකරුනේ වෙඩි කාලා මැරුණා. සනත්ලා තමයි ඒවට මැදිහත්වෙලා ඒ දූෂිත දේශපාලනය නැති කරලා එහේ මිනිස්සුට නිදහසේ පාරෙ බැහැලා යන්න පුළුවන් වටපිටාවක් හැදුවේ. ඒක දන්න නිසා ඒ පැත්තේ මිනිස්සු ඔහුට ආදරෙයි.

 

*මෑත කාලේ ඔහුට දේශපාලනය ගැන කළකිරීමක් තිබුණද?

එහෙම නම් නෑ. ඒත් අරගල කාලේ ගේ ගිනි තිබ්බම ‘සනත් ඔයා තවදුරටත් දේශපාලනය කරනවද?’ කියලා මම ඇහුවා. ‘ඇයි මොකද ඔයා බයවෙලාද?’ කියලා ඒ වෙලාවේ එයා මගෙන් ඇහුවා. පස්සේ ‘දේශපාලනේ හැටි ඔහොමයි, අතීතයේ මීට වඩා දේවලුත් රටේ වෙලා තියෙනවනේ’ කියලා ඔහු මගේ හිත හැදුවා.

 

*දේශපාලනයට සමුදෙන්න හිටපු දවසක් ගැන ඔහු ඔබත් එක්ක කියලා තියෙනවද?

60ක් වුණාම අනිවාර්යයෙන්ම දේශපාලනයට සමුදෙනවා කිව්වා. එයා දෙයක් කිව්වොත් ඒක කරනවාමයි. ඇඟේ හයිය තියෙන කාලේ රටේ මිනිස්සුන්ට හොඳ දෙයක් කරලා වයසට යද්දි ඒකෙන් අයින් වෙන්නයි එයාට ඕන වුණේ. හැට පැනලා හැරමිටියෙන් දේශපාලනය කරන්න එයාගේ ආසාවක් නෑ කියලා එයා මට කීපපාරක්ම කිව්වා. ඒත් අවාසනාවට 48න් එයා යන්නම ගියා.

 

*එයා වැඩිපුරම සතුටින් හිටපු දවස මතකද?

මං හිතන්නේ පුතා ඉපදුණු දවස. දුවලට කොච්චර ආදරේ කළත් එයා ආසාවෙන් හිටියේ පුතෙක්ට. ඉතින් පුතා ලැබුණු දවසේ එයා ගොඩාක් සතුටු වුණු බව මට තේරුණා.

 

*එතකොට වැඩියෙන්ම සංවේදී වුණ දවස?

2008දී එයාගේ අම්මා නැතිවුණු වෙලේ එයා පුදුම විදියට සංවේදී වුණා.

 

*අමාත්‍යවරයා මත්පැන්, සිගරට් එහෙම පාවිච්චි කළේ නෑ කියන්නේ ඇත්තද?

ඇත්ත. එයා ඒ දේවල් කළේ නෑ කිව්වට කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.

 

*දැන් අමාත්‍යවරයා ජීවතුන් අතර නෑ. ඉතින් ඒ අඩුව ඔබට වගේම දරුවන්ටත් තදින් දැනෙනවා ඇති?

මට හැමවෙලේම ඔහු නැති දුක දැනෙනවා. දරුවන්ට තාම ඒ ගැන ලොකුවට තේරුමක් නෑ.මොකද තාම පවුලේ අය අපේ ගෙදර ඉන්නවනේ. ඒත් වෙනදා වගේ එයාලගේ අප්පච්චි හවසට ගෙදර නොඑද්දි, ආයෙමත් අප්පච්චි කියන්න කෙනෙක් නැතිවෙද්දි එයාලටත් ඒ අඩුව තදින්ම දැනෙයි.

 

*සනත් නිශාන්තගේ අඩුව පුරවන්න ඊළඟට ඔබ දේශපාලනයට එන කතාවක් මේ දවස්වල කණින් කොනින් ඇහෙනවා. ඒක ඇත්තද?

මං කොතැනදිවත් එහෙම කතාවක් කියලා නෑ. දේශපාලනයට එන්න දැනට මගේ අදහසක් නෑ. ඒත් අපි බලමු. ඇමතිතුමාගේ දෛවය ඔය විදිහට ලියැවුණා නම් මගේ දෛවය කොහොම ලියැවිලා තියෙනවද කියලා මං දන්නේ නෑනේ.

 

රුවන් එස්.සෙනවිරත්න