විශේෂාංග

උදේ කෑමට අදිමදි කරන පොඩ්ඩන්ට සැන්ඩ්විච් කියන්නෙ මැජික් එකක්

පාන් කිව්වහම විශේෂයෙන්ම ලොකු අයට වඩා පොඩි අයට නම් මතක් වෙන්නේ සැන්ඩ්විච්. සැන්ඩ්විච් උදේ කෑම විදිහට හැදුවත් දවල්ට හැදුවත්, රෑට හැදුවත් මගේ පැටව් තුන්දෙනා නම් හරි කැමැත්තෙන් කනවා. ඒ නිසා දරුවො කන්න ආස කරන විදියේ සැන්ඩ්විච් වර්ග ටිකක් හදන හැටි තමයි අද කියලා දෙන්න යන්නෙ.

මුලින්ම බිත්තර සැන්ඩ්විච් හදන විදිය ලියන්නම්. පොඩ්ඩෝ මේකට ගොඩක් ආසයි. උදේට ඉස්කෝලේ යන්න කලින් කරදරයක් නැතුව කවලා යවන්න පුළුවන් කෑමක් තමයි මේ සැන්ඩ්විච් එක. ඒ නිසා මේක හදන විදිය දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම උදේ රැකියාවට යන අම්මලාට මේ සැන්ඩ්විච් එක රෑට හදලා කපන්නෙ නැතුව wrap එකකින් ඔතලා තියලා උ‍දේට කපලා කන්න දෙන්න පුළුවන්.

ඒක හදන්නේ මෙහෙමයි.

බිත්තර හතරක් තම්බලා ඒක සුද්ද කරලා ගෑරප්පුවකින් පොඩිකර ගන්නවා. පස්සෙ මයෝනිස් මේස හැඳි දෙකක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, පොඩි රතුලූනු ගෙඩි 6ක් හිනියට කපලා දාලා, තක්කාලි ගෙඩියකින් කෑල්ලකුත් පොඩියට කපලා දාලා ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. මයෝනිස් තියෙන නිසා ලුණු ඇඹුල් දාන්න ඕන වෙන්නෙ නෑ. පාන්වල ගාලා, ප්ලේන් ටී එකක් බොන ගමන් කන්න කියාපු සැන්ඩ්විච් එක. මේක ගොඩක්ම රස කට්ලට් එක්ක කද්දී.

අනිත් එක ක්ලබ් සැන්ඩ්විච්…

ගෙදරට අමුත්තෙක් ආපුවාම සංග්‍රහ කරන්නත් මේ සැන්ඩ්විච් එක ගොඩක් හොඳයි.

ක්ලබ් සැන්ඩ්විච් හදද්දි මුලින්ම මං ඕන කරන දේවල් ටික ලෑස්ති කරගන්නවා. මුලින්ම පාන් පෙති තුනක් පෑන් එකේ තියලා දෙපැත්ත toast කරගෙන පස්සේ ලූනු ගෙඩියකින් රවුම් පෙත්තකුයි, තක්කාලි ගෙඩියකින් රවුම් පෙත්තකුයි කපාගෙන පිඟානක තියාගන්නවා. සලාද කොළේකුත් පැත්තකින් තියාගන්නවා. Cheese slice එකකුයි, තව Ham slice එකකුයි පෑන් එකේ දාලා දෙපැත්ත රත් කරලා ඒකත් පිඟානේ පැත්තකින් තියාගන්නවා. බිත්තරයකුත් බැදගෙන ඊටපස්සේ තක්කාලි සෝස් එකයි, මයෝනීස් එකයි ළඟින් තියාගන්නවා. මේ ටික ලෑස්ති කරගෙනයි සැන්ඩ්විච් එක හදන්නේ.

පාන් පෙත්තක් උඩින් සලාද කොළේ තියලා, ඒකට උඩින් Ham slice එක තියලා ඒකට උඩින් Cheese slice එක තියලා පස්සේ ලූනු පෙත්ත තියලා, තක්කාලි සෝස් එකෙන් පොඩ්ඩක් ගාලා ඒකට උඩින් පාන් පෙත්තක් තියනවා. ඒ පාන් පෙත්ත උඩට බැදගත්ත බිත්තරේ තියලා ඒක උඩට මයෝනිස් ටිකක් දාලා ඒකට උඩින් තක්කාලි පෙත්ත තියලා තක්කාලි පෙත්තට උඩින් ඉතිරි පාන් පෙත්ත තියනවා. එච්චරයි. Club sandwich එක හදලා ඉවරයි.

මේ සැන්ඩ්විච් එක හැදුවාම කපාගනිද්දී පාන් පෙත්තේ හතරපැත්තටම toothpick 4ක් ගහන්න ඕන. ඊටපස්සේ ත්‍රිකෝණේ හැඩේට දෙපැත්තට කපනවා. අයිනෙන් කපන්න පටන් ගන්නේ නෑ. මැදින් පටන් අරන් දෙපැත්තට කපන්නේ. Toothpick ගැහුවාම කපාගන්න ලේසියි. බිත්තරෙත් මං දෙපැත්තම බදිනවා. අනිත් දේ මං Ham පාවිච්චි කරාට Chicken දාන්නත් පුළුවන්. මේ ලිව්වේ මම ක්ලබ් සැන්ඩ්විච් හදන විදිය. විශේෂයෙන් පොඩි අය ආස ඒ නිසා අපේ ගෙදර මාසෙකට පාරක්වත් හදනවා.

උපන්දිනවලට ගොඩක්ම මේසේ ලස්සන කරන සැන්ඩ්විච් එකක් ගැනයි මේ ලියන්නේ. මේකට අපි පොඩි කාලේ ඉඳන් කියන්නේ රේන්බෝ සැන්ඩ්විච් කියලා. මුලින්ම හදන විදිය ලියන්නම්.

කැරට්, බීට්රූට්, ග්‍රීන්පීස් වෙන වෙනම තම්බ ගන්නවා. ස්ටීම් කරලා ගත්තාත් කමක් නෑ. පස්සේ ඒවා වෙන වෙනම බ්ලෙන්ඩර් එකට දාලා පොඩි කරන් පොඩි bowl තුනකට දාගෙන, තව වෙනම bowl එකකට බටර් මේස හැඳි දෙකක් දාලා ඒකට ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි, අබ paste එකෙන් පොඩ්ඩකුයි දාලා කවලම් කරනවා. ලුණු රස අනුව දාලා දෙහිත් දාලා කවලම් කරලා, ඒකෙන් කැරට් bowl එකටයි, බීට්රූට් තියන bowl එකටයි, ග්‍රීන්පීස් තියන bowl එකටයි ටික ටික දාලා වෙනම හැඳි තුනකින් කවලම් කරලා පේස්ට් තුන හදාගන්නවා.

ඊගාවට, පාන් පෙති 4ක් අරන් පාන් පෙත්තෙන් පාන් පෙත්තට මේ කැරට්, බීට්රූට්, ග්‍රීන්පීස් paste එක ගාලා පාන් පෙති එක උඩ එක තියලා, හතර පැත්තෙන් වාටි කපලා, අයින් කරලා පාන් පෙති ත්‍රිකෝණ හැඩයට කපාගන්න විතරයි තියන්නේ.

උපන්දිනයක් තියෙද්දී මං උපන්දිනේට කලින්දා හදලා පාන්වල ගාලා කපන් නැතුව ciling wrap එකකින් ඔතලා, ශීතකරණයේ පහල කොටසෙන් දානවා. එහෙම කළාම පහුවදාට ලස්සනට කපාගන්නත් ලේසියි.

මේවා ගොඩක් අය දන්න සැන්විච් වර්ග. ඒත් හදන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. මං කලින් වතාවකත් කිව්වේ කෑම හද්ද්දී අපිටම විශේෂ වුණ විදි තියෙනවා කියලා. නොදන්න කෙනෙක්ට මං මේ කියපු ක්‍රමවලටත් උත්සාහ කරලා බලන්න පුළුවන්.

අපි දන්න පුංචි දෙයක් වුණත් නොදන්න කෙනෙක්ට කියලා දුන්නාම දැනෙන සතුට ගොඩක් වැඩියි. එහෙම හිතාගෙන තමයි මං දන්න දේ අකුරක් නෑර ලියන්නේ.තවත් ලිපියකින් හමුවෙනකල් පරිස්සමෙන් ඉන්න.

හැම දවසක්ම සුන්දර දවසක් වේවා!!!

හෂීණී මනමේන්ද්‍ර