නවතම ප්‍රවෘත්ති

කජු සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන එක කජු කනවා තරම් ලේසි වැඩක් වුණේ නෑ

‘එක්කෝ ඔබට එය සිදුවනතුරු බලාසිටීමට හැකිය. නැතිනම් එය සිදුකිරීම සඳහා කොටස්කරුවෙකු වීමට හැකිය.’ මේ කැනඩාවේ දක්ෂ ව්‍යවසායකයකු මෙන්ම නව නිපැයුම්කරුවකු වන ඊලොන් මස්ක් (Elon Musk) වරක් සිදුකළ ප්‍රකාශයකි. ඔහු ඉන් අදහස් කළේ තවකෙනෙකු අතින් යම් කාර්යයක් ඉටුවනතුරු බලාසිටිනවාද, නැත්නම් එම කාර්යය වඩාත් හොඳින් නිම කරන්නට තමාගේ දායකත්වය ලබාදෙනවාද යන්න තීරණය කළ යුත්තේ තමන් බවයි.

එලෙස බලා නොසිට තමාගේ වගකීම් කොටස නිසිලෙස ඉටුකරමින් සාර්ථකත්වයට පත්වුණු තැනැත්තියකගෙන් මෙවර ‘ධරණී’ කවරය සරසන්නට අපි සිතුවෙමු. ඇය ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක මහත්මියයි.

ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි වැඩ කරන්න ඕන. සැලසුම් සහගතව ඉදිරි ඉලක්ක දිහා බලන්න ඕන. කොළඹ ඔෆිස් කාමරේට වෙලා ඉඳගෙන විතරක් කාර්යය කරන්න බැහැ. මම ශ්‍රී ලංකා කජු සංස්ථාවට ඇවිත් මේ ගෙවෙන්නේ තුන්වැනි අවුරුද්ද. මේ වෙද්දි සංස්ථාවට අයත් සෑම කජු වත්තකම හතර මායිම් මම දන්නවා. සමහර වතුවලට මම දහ වතාවකට වඩා ගිහින් තියෙනවා. ඒ වතුවලට අදාළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙද්දී කරන්න ඕන දේ, ගන්න ඕන තීරණය මොකක්ද කියලා ඒ නිසා කොළඹ හිටියත් මම දන්නවා.”

2023 වසරට ශ්‍රී ලංකා කජු සංස්ථාව පිහිටුවා වසර පනහකි. එදා මෙදා තුර එම සංස්ථා ඉතිහාසයේ සභාපති පුටුවට පත්වූ පළමු සභාපතිනිය වන්නේ ඇයයි.

මම ඉපදුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරාම කියන ගමේ. අම්මා රෙජිස්ටාර්වරියක්. තාත්තා කෘෂි උපදේශකවරයෙක්. අයියයි, නංගියි එක්ක අපේ පවුලේ පස්දෙනෙයි. අපේ ළමා කාලය බොහෝම ලස්සනයි. ගහකොළ එක්ක, ගමේ පරිසරය එක්ක යා වෙලයි එම කාලය ගෙවුණේ. තාත්තා කෘෂි උපදේශකවරයෙක් නිසා ආශ්‍රිතව මගේ දැනුමත් හොඳ මට්ටමක තිබුණා. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ, ලන්ඩන් එල්.එල්.බී. විභාගේ කළා. එහෙම විදේශ උපාධිය අරන් ලංකාවේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා නීතිවේදී උපාධියක් ලබාගත්තා. නීතීඥවරියක් විදියට වසර අටක් විතර මම සේවය කළා.”

ඇය ජනාධිපති ලේකම් කාර්යාල නීති අංශයේ පත්වීමක් ලබන්නේ 2015 වසරේදීය. එසේ රාජකාරි කරගෙන යන අතරතුර තරුණයන්ට සංස්ථා මණ්ඩලවල තනතුරු දෙමින්, රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල යටතේ ඇයටද අවස්ථාවක් හිමිවුණි.

මම කජු සංස්ථාවේ සභාපති තනතුරට පත්වෙද්දි සංස්ථාව තිබුණේ පාඩු ලබන තැනක. ඊළඟට පිටරටින් කජු ගෙන්වන තත්ත්වය හමුවේ කජු වගාවෙන් ගොවීන් ඈත්වෙමින් හිටියා. ඔවුන් වෙනත් භෝග වගාවන්ට යොමු වුණා. සමහර උදවිය කජු ගස් කපලා දරවලට අරගෙන තිබුණා. මේ අතරේ කොරෝනා උවදුර ඇවිත් රටේ ආර්ථිකය තවත් අඩපණ කරන්න පටන්ගත්තා. කොහොම වුණත් මේ කර්මාන්තය වැටෙන්න නොදී ආරක්ෂා කරගැනීමේ වගකීම මම ඇතුළුව අපේ සංස්ථාවේ හැමදෙනාටම තිබුණා. නියෝජ්‍ය සභාපතිනිය, අධ්‍යක්ෂ මණ්ඩලය වගේම කාර්ය මණ්ඩලයේ හැමකෙනාටම ඊට උනන්දුවක් තිබුණා. ඉතින් මට තිබුණේ අයත් එක්ක කතාබහ කරලා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන වැඩ කරගෙන යන්නයි. පරිපාලන ක්ෂේත්‍රයේ වැඩ කරලා ලබපු අත්දැකීම් වගේම, කෘෂි කර්මාන්තය ගැනත් මම දැනගෙන හිටියා.

ඒ දැනුම තවත් වැඩි කරගැනීමට ඇයට ඕනෑ විනි. කජු කර්මාන්තයෙන් යැපෙන පවුල් මුණගැසී ඒ අදහස්ද සලකමින්, විවිධ ප්‍රවර්ධන වැඩසටහන් කරන්නටද ඕ කටයුතු කළාය. අලුතින් කජු වගා කරන්නටත් ඒ ගැන උනන්දුවක් පවතින අයගේ උනන්දුව වැඩි කරන්නටත් ප්‍රාදේශීය කාර්යාල හරහා විවිධ වැඩසටහන් හඳුන්වාදීම සිදුවිය.

සමහර අය අවුරුදු හය හතක් බලාගෙන ඉන්නවා කජු ගහකින් පලදාව ගන්න. එහෙම නොවී හොඳ ප්‍රභේද හඳුන්වා දුන්නොත් ලැබෙන ප්‍රතිඵලය මේ කර්මාන්තයට වැදගත් කියන කාරණය අපි සලකා බැලුවා. අනුව වයඹ විශ්වවිද්‍යාලයයි, කජු සංස්ථාවයි එක්වෙලා අධ්‍යයන කරලා අවුරුදු තුනකදී පලදාව ලබාගන්න පුළුවන් ප්‍රභේද හඳුන්වා දුන්නා. වගේම අපි මේ වෙනකොට අලුතින් කජු අක්කර දාහතරදාහක් විතර වගා කරලා තියෙනවා. තව අවුරුදු දෙකකින් වගේ ඒවායේ අස්වනු ලබාගන්න පුළුවන්. එතකොට අපට අපේම කජුවලින් රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්කම ලැබෙනවා. දැනට පවතින කජු මිල ගණනුත් යම් තරමකට අඩුවේවි. දැනටත් වෙනත් වෙළඳසැල් ආශ්‍රිතව ගනිද්දි සංස්ථා කජු මිල අඩුයි. අපි මේ විදියට බලාපොරොත්තු වෙන ඉලක්ක ජයගන්න අලුතින් කජු අක්කර තිස් පන්දහසක් පමණ වගා කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

එසේ අලුතින් කජු වගා කරනවා සේම එම කජුවතු අද දක්වා ඇති තත්ත්වයට දියුණු කරන්නට පියවර කිහිපයක් ගැනිණි.

ඇත්තටම මන්නාරම, කොණ්ඩච්චි කියන වත්ත තමයි සංස්ථාවේ හදවත හා සමාන වත්ත හැටියට සලකන්න පුළුවන්. එල්.ටී.ටී.. කාලේ ඔවුන් මේ වත්ත අල්ලගත්තා. ඊට කලින් එහි සේවකයෝ දෙදහසක් පමණ සේවය කළා. කාලේ ටොන් 200 විතර කජු අස්වැන්නක් ලැබුණත්, යුද්දේ කාලේ සියල්ල විනාශ වුණා. කොහොමහරි දකුණු ආසියාවේ හොඳම පාර්ශ්වික පස තියෙන වත්ත විදියටත් සැලකුණේ අක්කර හයදාහකින් යුත් මෙම වත්තයි. යුද්දේ නිමාවුණාට පසුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් එහි අක්කර එක්දහස් පන්සියයක් පමණ අලුතින් වගා කරලා තිබුණා. මම පත්වුණාට පස්සේ අවශ්‍ය විදුලිය ඇතුළු පහසුකම් නංවන්න මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරගැනීම කළ යුතුව තිබුණා. වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ ජානක වක්කුඹුර මහතා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දුන්නා. අනුව අපිට තව අක්කර දහසක් පමණ අලුතින් වගා කරන්න අවස්ථාව ලැබුණා. මේ වගාවන් කරද්දී කජු පැළ දෙකක් අතර පරතරය අඩි විස්සක් පමණ තියෙන නිසා අතුරු භෝග වගාවකත් නියැලුණා. එහිදී එළවලු වගා කරලා අමතර ආදායමක් ලබන්න අවස්ථාව ලැබුණා.”

එම ආදායම් වැඩිකර ගන්නට පියවර ගන්නවා සේම, එහිදී ගම්වාසීන්ටද නව රැකියා අවස්ථා ලැබිණි.

මේ අතර කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් වෙල්ලකුලම් කජුවත්තද එල්.ටී.ටී.ඊ. කාලයේ විනාශව ගොස් තිබූ එකකි. කොණ්ඩච්චි වත්තට මෙන් නොව මීට සංස්ථා නිලධාරීන්ට ඇතුළුවීමටද ගම්මුන්ගෙන් බාධා ඇතිවී තිබුණි. ඒ එම ඉඩම් ගම්මුන් අතර බෙදාදෙන බවට කවුරුන් හෝ ඇතිකළ වැරදි වැටහීමක් හේතුවෙනි. මෙම පසුබිම තුළ වැවිලි කාර්මාන්ත අමාත්‍යවරයාත්, කර්මාන්ත අමාත්‍යවරයාත්, ගම්මුනුත් අතර සුහද හමුවක් ඇති කරමින් සාකච්ඡාමය විසඳුමක් සොයාගන්නට ඇය සමත් වූවාය.

පාඩු ලබමින් තිබුණු අවස්ථාවක සංස්ථාව භාරගැනීමට සිදුවුවත්, වසර නවයකට පසු රුපියල් පන්දහසක දිරි දීමනාවක් සේවකයන් වෙත ලබාදෙන්නටද ඇය සමත් වූවාය. පැය අටක් නොව පැය විසිහතරම දුරකතනය සක්‍රියව තබා ගනිමින් ඕනෑම ගැටලුකට විසඳුම් දීමට ඇය කාලය වෙන්කරගෙන තිබීම විශේෂයකි.

මම එනකොට අපට තිබුණේ කජු අලෙවිසැල් දෙකයි. එය දැන් නවයක් දක්වා වැඩිවෙලා තියෙනවා. 2025 වෙද්දි අපිට ඉල්ලුමට සරිලන කජු සැපයුමක් ලබාදෙන්න වගේම පුංචිම මනුස්සයටත් කජු කන්න පුළුවන් වටපිටාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. කජු පුහුලම්වලින් වයින් සෑදීමේ ව්‍යාපෘතිය 2015 සිට නතරවෙලා තිබුණේ. දැන් එයත් ක්‍රියාවට නැංවෙමින් තියෙනවා. මාර්තු මාසේ වෙනකොට කජු අස්වැන්න ලැබෙනවා. එතකොට කජු පුහුලන් විශාල ප්‍රමාණයකුත් ලැබෙනවා. අනුව වයින් නිෂ්පාදනයත් අත්හදාබැලීම් සමඟ යළි සිදුවෙනවා. වගේම ලංකාව පුරා තව අක්කර 35,000ක් විතර අලුතින් වගා කළොත් අපේ ඉලක්කයට යෑම අසීරු නැහැ.”

ඇය කියන්නේ එම ඉලක්ක සපුරාගැනීම දුෂ්කර නැති බවය. ඊට ඇය සතුව ශක්තිමත් කණ්ඩායමක් සිටින බවත්, ඔවුන්ගේ සහයෝගය කැපවීම වැදගත් වන බවත් ඇය කියන්නීය. පසුගිය කාලයේ සංස්ථා කජු අලෙවිය සියයට එකසිය පනහකින් පමණ වැඩිවී ඇති බවද ඇය කියන්නීය.

මම ආවේ වැඩ කරන්න නිසා මම කාර්යය කරනවා. කජු කර්මාන්තය හා එක්ව වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. අද එයාලගෙත් බලාපොරොත්තු ඉහළ නැංවිලා තියෙනවා.”

ඇය කජු සංස්ථාවේ සභාපතිනිය වී වසර තුනකි. එහෙත් ඇයට කජු ගැන ඇති දැනුම නිසාම ඇයගේ උපාධිය කජු සම්බන්ධ එකක්දැයි අසන්නන් හිඳී. ලංකාවේ කුඩාම කජුවතුවල වාගේම ලොකුම කජුවතුවලත් අලගිය මුලගිය තැන් දන්නා ඇය ඒ ගැන නොදන්නා දේ උගනින්නටද, ඒ උගනින දෙය නිර්මාණශීලීව කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නටද දක්ෂය. රාජකාරි ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබරව පවත්වාගෙන යන ඇය අභිමුව ඇති ඉලක්ක කජු කනවා තරම් ලේසි නොවූවත්, ඒ අසීරුතා ජයගන්නට ඇය ශක්තිමත් බව නම් කිව හැකිය. ඒ සඳහා ‘ධරණී’ අපද ඇයට ශුභාශිංසන එක් කරන්නෙමු.

දීපා වසන්ති එදිරිසිංහ

ඡායාරූපසමන් අබේසිරිවර්ධන