විශේෂාංග

ලැජ්ජාවයි බයයි හෙටට කල්දැම්මොත් ගැහැනියකට යන්න බැරි දුරක් නෑ

‘‘ගැහැනියකගේ බලාපොරොත්තුත් හරියට ගිනිපුපුරු වගෙයි. ඒවා නිසි පරිදි දල්වා ගත්තොත් ලෝකයම ජයගන්න ඇයට පුළුවන්.’’

භාරතයේ විස්ම ගැහැනිය (WONDER WOMAN) ලෙසින් හඳුන්වන ‘සීමා රාවෝ’ ඇගේ සාර්ථකත්වයේ රහස කුමකැදයි වරක් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන්නේ එලෙසිනි.

ඇය ඉන්දියාවේ සිටින එකම කොමාන්ඩෝ පුහුණු නිලධාරිනියයි. දශක දෙකක කාලයක් තිස්සේ ඇය එරට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ විවිධ මට්ටම්වල නිලධාරීන්ට කොමාන්ඩෝ පුහුණුව ලබාදෙමින් සිටින්නීය. ඒ කිසිඳු වැටුපක් ලබාගෙන නොවේ. මේ වනවිට ඈ යටතේ කොමාන්ඩෝ පුහුණුව ලබා ඇති ආරක්ෂක සාමාජිකයන් ගණන 20,000කට වැඩිය.

‘‘මගේ රැකියාව අනුව බොහෝ අවස්ථාවලදී හිමෙන් වැසුණු කඳු ශිඛර, ඝන වනාන්තර මෙන්ම කටුක දේශගුණයක් පවතින කාන්තාරවල කාලය ගත කිරීමට සිදුවනවා. ඒ සඳහා දැඩි ශාරීරික හා මානසික දරාගැනීමක් අවශ්‍යයි. ඊට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ.’’ රාවෝ ප්‍රකාශ කරයි.

ඇතැම් පුහුණු වැඩසටහන් අතරතුරදී ඇය මරණයෙන් ගැලවී ඇතතේ හාස්කමකින් මෙනි.

‘‘වරක් මා අඩි 40ක් පමණ ඉහළින් ඇද තිබූ කඹයක් දිගේ ගමන් කළා. එය අපේ පුහුණු කටයුතුවල සාමාන්‍ය අංගයක්. හදිසියේම කඹය අතහැරී මා ඇදවැටුණේ පහල තාප්පයක් මතටයි. මේ හේතුවෙන් මගේ පිටකොන්දේ අස්ථි බිඳී ගියා. මාස ගණනාවක්ම මම හිටියේ ගිලන් සයනයක් මත.

තවත් සටන් පුහුණුවකදී සමබරතාව ගිලිහී ගොස් බිම ඇදවැටීම නිසා මගේ හිසට තුවාල වුණා. දින ගණනක්ම මම සිහි නැතිව හිටියා. මාස කිහිපයක් මගේ මතකයද අහිමි වුණා.’’

සීමා පවසන පරිදි ඇගේ සිරුරේ නොබිඳුණු අස්ථියක් නොමැති තරම්ය. මෙතරම් අවදානම් අවස්ථාවලට මුහුණ දුන්නත් ඒ හැමදෙයකින්ම සිය සිත වැඩි වැඩියෙන් ධෛර්යමත් කරගන්නට ඇය සමත් වූවාය.

බොහෝදෙනා නොදනිතත් ඇය උපාධිධාරී වෛද්‍යවරියකි. ඇගේ සැමියා මේජර් දීපක් රාවෝ ඇයට මුණගැසුණේ අවුරුදු 16ක යුවතියක ලෙස වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය.

එවකට වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ මේජර් රාවෝ සටන් කලා පුහුණුව ලබා ඇත්තේ අවුරුදු 12 සිටය. ඒ වනවිටත් කළුපටි ශ්‍රේණිධාරියෙකු වූ රාවෝ සීමාට සටන් කලාව උගන්වන්නට පටන් ගත්තේය. එපමණක් නොවේ අශ්වාරෝහණය, කඳු නැගීම, කිමිදීම, බොක්සිං, ඉලක්කට වෙඩි තැබීම ආදිය පවා ඇය ඔහුගෙන් උගත්තාය. පසුව ඔවුන් දෙදෙනා ඉන්දීය ආරක්ෂක හමුදාවල විවිධ රෙජිමේන්තුවලට හා පොලිසියට සටන් පුහුණුව ලබාදීමට තෝරාගනු ලැබුණි.

ඇගේ පුහුණුවීම් සම්බන්ධ සමහර සිද්ධි ඇඟ කිලිපොලා යන සුළු ඒවාය. එහෙත් ඇය ඒවා සිහි කරන්නේ සාමාන්‍ය සිදුවීම් ලෙසිනි.

‘‘දිනක් හිසට ඇපල් ගෙඩියක් තබාගත් දීපක් මට ප්‍රකාශ කළා යාර 75ක දුර සිට එයට වෙඩි තබනා ලෙස. මා දැන සිටියා එය ගුරුවරයෙකු තමන්ගේ ශිෂ්‍යයාගේ දක්ෂතාව මනින අවස්ථාවක් බව. ඔහු මගේ සැමියා නිසා එය මඟහැරීමට අවස්ථාවක් නොවෙයි. ඉතින් මා එම පරීක්ෂණය සමත් වූවා.’’

ස්වේච්ඡාවෙන් ආරක්ෂක පුහුණුව ලබා දුන්න මුල් කාලයේදී ඔවුන් අගහිඟවලින් පෙළුණු අවස්ථාවන් බොහෝය. එය කෙතරම්දයත් එක අවස්ථාවකදී ඇය ඖෂධ සඳහා මුදල් සොයාගත්තේ සිය මංගල සූත්‍රය (තැල්ල) උගසට තැබීමෙනි.

‘‘ජීවිතය හැට ගසාගැනීම සඳහා රන් ආභාරණ විකුණා දැමීමට හා ස්ථාවර ගිණුම් වසා දමන්නට පවා අපට සිදුවුණා.’’

මේ වනවිට ඔවුන් සතුව මුම්බායි නගරයේ ‘බෘස් ලී ස්ටයිල් මාෂල් ආට්ස්’ නම් සටන් කලා පුහුණු පාසලක් තිබේ. එහි ජිට්-කුන්-ඩෝ වලට අමතරව රෙස්ලින් ක්‍රීඩාවද පුහුණු කරනු ලබයි.

ජිට්-කුන්-ඩෝ හඳුන්වා දෙනු ලැබුවේ නැසීගිය ප්‍රවීණ සටන් නළු බෘස් ලී විසිනි. දැනට ලෝකයේ සිටින අතලොස්සක් වන ජිට්-කුන්-ඩෝ ප්‍රවීණයින් අතර ජ්‍යෙෂ්ඨතම උපදේශකවරිය සීමා ය.

ලිංගිකත්වය නිසාම ඇතැම් අවස්ථාවලදි විවිධ අතවරවලට ලක්වන්නට කාන්තාවන්ට සිදුවේ. සීමාට ද තරුණියක ලෙස එවැනි සිදුවීම්වලට මුහුණදීමට සිදුවිය.

‘‘එක් අවස්ථාවකදී මැර පෙනුමින් යුත් මිනිසුන් තුන්දෙනෙක් මා පසුපස පැමිණියා. එය සවස් කාලයක්. පටු මාවත පුරාම විසිරී තිබුණේ තරමක අන්ධකාරයක්. මා පසුපස එන අතරේ ඔවුන් මට අසභ්‍ය විහිළු කළා. එහි අවසානය කාටත් සිතින් මවාගත හැකියි.

නමුත් ඔවුන්ගේ අරමුණ මා සම්බන්ධයෙන් හරි ගියේ නැහැ. ඒ අවස්ථාවේ මා පුහුණු කර සිටි සටන් ශිල්පය පමණයි මගේ පිහිටට සිටියේ. මා ඔවුන් තිදෙනාටම පහර දී එලවා දැමුවා.’’

දැන් වෛද්‍ය සීමා රාවෝ විසින් DARE (ස්ත්‍රී දූෂණයට එරෙහි ආරක්ෂක පාඨමාලාව) පවත්වාගෙන යන්නේ මේ හේතුවෙනි. එහිදී තමන්ට පිරිමින්ගෙන් හිරිහැර සිදුවන අවස්ථාවලදී ශාරීරික හා මානසික වශයෙන් ඊට මුහුණදෙන ආකාරය පුහුණු කරනු ලබයි.

සීමාට වීරත්වය උපතින් උරුම වූවකි. ඇගේ පියා පෘතුගීසි ආධිපත්‍යයෙන් ගෝවා බේරාගැනීමට කටයුතු කළ මහාචාර්ය රාම්කාන්ත් සිනාරි ය. කුඩා කල ඔහුගේ ත්‍රාසජනක වීර ක්‍රියා ඇසූ ඇගේ සිත තුළ එම වීර හැඟීම් තවදුරටත් පුබුදුවා ලූයේ ඇ​ගේ සැමියා මේජර් දීපක් රාවෝ විසිනි. ඔවුන් දෙදෙනා එක්ව ආරක්ෂක ක්ෂේත්‍රයට නව ශෛලියක් හඳුන්වා දී තිබේ. එය හැඳින්වෙන්නේ සංවෘත සටන් කලාවේ රාවෝ ප්‍රතීකය (RAO SYSTEM OF REFLEX FIRE) වශයෙනි.

සිය අත්දැකීම් හා හැඟීම් එක්කොට ග්‍රන්ථ ගණනාවක්ද සීමා විසින් රචනා කර ඇත. ‘අ කිං ස්පර්ම්-සීස් යුවර් වික්ටරි’, ‘හෑන්ඩ්බුක් ඔෆ් වර්ල්ඩ් ටෙරරිසම්’, ‘සංවෘත සටන් විශ්වකෝෂය (ENCYCLOPEDIA OF CLOSE COMBAT) ඒ අතරින් කීපයකි.

වෛද්‍ය උපාධියට අමතරව අර්බුද කළමනාකරණය (CRISIS MANAGEMENT) පිළිබඳ උපාධියක්ද ඇය විසින් හිමිකරගෙන තිබේ.

ලෝක විවාහක රූ රුජින තරඟයක් සඳහා ද ඇය ඉදිරිපත් වී ඇත. එහිදී ඉන්දීය විවාහක රූ රැජින තේරීමේ අවසාන වටය දක්වා පැමිණීමට ඇයට හැකියාව ලැබී තිබේ.

‘‘මා ඊට ඉදිරිපත් වූයේ කලාව හා සෞන්දර්ය පිළිබඳව තේරුම් ගැනීම සඳහා මිස ජයග්‍රහණය අපේක්ෂාවෙන් නොවේ.’’

වරෙක ඇය ඒ ගැන එසේ පවසා සිටියාය.

සීමාගේ දක්ෂතාවන් එපමණකින් නතර වන්නේ නැත. ඉන්දියාවේ යුද, ගුවන්, නාවික යන අංශ තුනේම අධිකාරී නිලයන්වලට ඇය පත්කර තිබේ. ගැඹුරු මුහුුදේ කිමිදීමට මෙන්ම උඩුගුවනේ සිට පැරෂුට් පිමි පැනීමේද ඇය ශූරියකි. හිමාලයන් කඳු නැගීමේ සමාජයේ පදක්කම්ලාභිනියකි.

හින්දුස්ථාන් සිනමාවේ ද ඇගේ නම ලියැවී තිබේ. ඉන්දියාවේ ප්‍රථම මිශ්‍ර සටන් කලා චිත්‍රපටය වූ ‘හතාපායි’ හි නිෂ්පාදිකාව ඇයයි. ඊට අමතරව එහි රඟපෑමටද ඇය සහභාගී වූවාය.

‘‘ලැජ්ජාව හා බිය හෙටට කල් දමන්න. ධෛර්ය ඇත්නම් කාන්තාවකට ළඟා විය නොහැකි ඉලක්කයක් ලෝකයේ නැත.’’

සීමා රාවෝ කාන්තාවන්ට නිතර ලබාදෙන උපදේශය එයයි.

වසන්ත විජේරත්න