විශේෂාංග

දෙවියොත් ළඟට ගෙන්නගන්න පුළුවන් බිස්නස් එකක්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

සබිත්‍රි බෙහෙරා ඉන්දියාවේ ගාදි ප්‍රදේශයේ මුඩුක්කුවක ඉපදුණු කාන්තාවක්. ඇගේ රැකියාව වුණේ පාරේ කඩල විකුණන එක. ඔහොම ඉන්දැද්දි සබිත්‍රිට බිස්නස් එකක් පටන්ගන්න කියලා සල්ලිකාර නෝනා කෙනෙක්ගෙන් පුංචි මුදලක් ලැබුණා. සබිත්‍රි ඒ සල්ලිවලින් හඳුන්කූරු හදන්න පටන්ගත්තා. ඇය පන්සල්වල විසි කරන මල් එකතු කරලා වේලලා ඒවත් හඳුන්කූරුවලට එකතු කරලා පුංචි වෙනසක් එහෙමත් කළාලු. ඒ අවුරුදු දහයකට විතර කලින්. අද වෙනකොට සබිත්‍රි ඉන්දියාවේ ප්‍රසිද්ධ හඳුන්කූරු ව්‍යාපාරිකාවක්. දැන් ඇය යටතේ විශාල පිරිසක් සේවය කරනවා. හඳුන්කූරු බිස්නස් එක පොඩිවට පටන් අරන් දියුණු වෙච්චි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඉන්දියාවේ විතරක් නෙමේ ලංකාවෙත් ඉන්නවා.

හඳුන්කූරු කියන්නේ අතීතයේ ඉඳලම ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ බද්ධ දෙයක්. පැරණි ඊජිප්තු සොහොන් කිහිපයකින්මත් හඳුන්කූරු කොටස් සොයාගෙන තියෙනවලු. රජෙක් මැරුණම ඔහු අසළ සුවඳ හඳුන්කූරු දැල්ලුවහම දෙවියන් ඔහු අසළට එන බවලු ඔවුන්ගේ විශ්වාස වුණේ. හඳුන්කූරු ගැන ලිඛිත සාක්ෂි හම්බවෙන්නේ ඉන්දියාවෙන්. ඍග්වේද සහ අථර්වවේද ග්‍රන්ථවල මේ සුවඳකූරු ගැන පැහැදිලි කිරීම් ඇතුළත් වෙනවා.

හඳුන්කූරු බොහෝ ආගමික වතාවත්වලත් අනිවාර්යය අංගයක්. පන්සලකට ගියාම වුණත් දසතේ හමන හඳුන්කූරු සුවඳ හිත්වල පහන් සිතිවිල්ලක් ඇති කරනවනේ නේද? පන්සල්වල විතරක් නෙමේ ගෙදරදොර සුවඳ කරන්න හවස්යාමෙට හඳුන්කූරක් දෙකක් පත්තු කරන ආච්චිලා, අම්මලත් ඕන හැටියේ ඉන්නවා. කෘමි විකර්ෂකයක් විදියටත් සමහරු හඳුන්කූරු දල්වනවා.

මේ නිසා හඳුන්කූරු කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙන දෙයක්. හැබැයි හඳුන්කූරු ඉල්ලුමේ හැටියට දේශීය සැපයුම මදිලු. ඒ නිසා අපි භාවිත කරන හඳුන්කූරු 80%ක්ම ආනයනය කරන්නේ ඉන්දියාවෙන් නැත්තම් චීනෙන්. ඉතින් ඒ සල්ලි පිටට නොදී අපිටම උපයාගන්න තියෙන තවත් විදියක් තමයි මේ වගේ ව්‍යාපාර සුළුවෙන් හරි ආරම්භ කරන එක. අනික මේක ආබාධිත කෙනෙක්ට වුණත් පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්නේ.

හඳුන්කූරු නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය කළු කුඩු. මේවා වෙළඳපොළෙන් ගන්න පුළුවන්. නැත්තම් පොල්කටු අඟුරු කුඩු කරලා කළු කුඩු විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම පට්ටා කුඩු (ගම් වර්ගයකි), සුවඳ විහිදුවීම සඳහා B B තෙල්, සුවඳ රඳවාගැනීමට මස්ක් අම්බට්, සුවඳ වර්ග (ඕනෑම වර්ගයක සුවඳ මිලදී ගත හැක), සුවඳ සීල් කිරිමට නයිස් කුඩු, උණ පතුරු කූරූ, හොඳින් වේලා හලාගත් ලී කුඩු මේ සඳහා අවශ්‍යයි. මේ හැමදෙයක්ම පිටකොටුවේ නඩාර් රෝඩ්, ගෑස් පහ, දෙව් රෝඩ් කියන පාරවල්වල තියෙන හඳුන්කූරු බඩු කඩවලින් බොහොම අඩු මුදලට මිලදීගන්න පුළුවන්.

 

පියවර 1

කළු කුඩු කොටස් තුනකට ලී කුඩු කොටස් එකක් සහ පට්ටා කුඩු කොටස් එකක් එකතු කරලා වතුර ස්වල්පයක් දාලා අතේ ඇලෙන ප්‍රමණෙට ගුලියක් හදාගන්න. දැන් මිශ්‍රණය කුඩා කොටස්වලට වෙන් කරන්න.

 

පියවර 2

උණ කූර අරගෙන අඟල් 1 1/2 ක් වෙන්න අතඇරලා ඉතුරු කොටසේ අර හදාගත්තු මිශ්‍රණය ලෑල්ලක් උඩ තියලා කූර මැද ඉඳලා දෙපැත්තට එතෙන විදිහට රෝල් කරන්න.

 

පියවර 3

උණ කූරට මිශ්‍රණය හොඳින් ඇලුණට පස්සේ අව්වේ තියලා වේලගන්න.

 

පියවර 4

කැමති සුවඳ වර්ගයක් ස්ප්‍රේ බෝතලේකට දාලා හොඳට වියළාගත්තු හඳුන්කූරුවලට ස්ප්‍රේ කරන්න. ඊටපස්සේ මේ හඳුන්කූරු පෙට්ටිවලට නැත්තම් පොලිතීන්වල අසුරලා වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. ඒ දේවලුත් පිටකොටුවෙන් අඩු මුදලට මිලදීගන්න පුළුවන්.

 

හඳුන්කූරු 10ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 60කට අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම හඳුන්කූරු තොග වශයෙන් මිලදී ගන්න ව්‍යාපාරිකයොත් ඉන්නවා. හඳුන්කූරු නිෂ්පාදනය ගැන තවත් විස්තර දැනගන්න  0714766819ට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි