විශේෂාංග

හෝස් ගාලා සෝස් හලාගන්නේ ඉතින් තියන ආදරේටනේ

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණී හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

ගොඩක් කෙටි කෑම කඩවල මේස උඩ තක්කාලි සෝස් බෝතලයක් තියලා තියෙනවා. ඕක දැක්ක හැටියේ ගොඩක් අය පිඟානට හෝස් ගාලා සෝස් හලාගන්නවා. ඒ නිසාමදෝ ගොඩක් තැන්වල ‘වැඩිපුර සෝස් දාගන්න එපා!’ කියලා බෝර්ඩ් එකක් එහෙමත් අලවලා තියෙනවා. මොකද අපේ අයට අර නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ කියලත් කියනවනේ. හැබැයි සෝස් සම්බන්ධ කතාව ඒක නෙමෙයි. ගොඩක් අය එහෙම සෝස් දාගන්නේ ආසාවට. රෝල්ස්, කට්ලට්, පැටිස් වගේ කෑම වැඩිපුර සෝස් ටිකක් එක්ක කන්න කවුද ඉතින් අකමැති?

අනුආහාරයක් විදියට ගන්න විතරක් නෙමෙයි, විවිධ ආහාර රසගන්වන්නත් තක්කාලි සෝස් යොදාගන්නවා. කොයිකවුරුත් ප්‍රිය කරන පැස්ටා, පීට්සා, සල්සා වගේ ආහාරවල ප්‍රධානම අංගය තක්කාලි සෝස්. ඉතින් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන සෝස් වර්ගය තක්කාලි සෝස් කියලයි සඳහන්.

තක්කාලි සෝස් හදන්නේ තක්කාලිවලින්. තක්කාලි එළවලුවක්ද නැත්නම් පලතුරක්ද කියන එකත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. උද්භිද විද්‍යාත්මකව ගත්තොත් තක්කාලි කියන්නේ පලතුරක්. හැබැයි 1890 ගණන්වලදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තක්කාලි බදු ගෙවිය යුතු එළවලුවක් විදියට නම් නම් කරලා. ඒ නිසා අදටත් බහුතරයක් යුරෝපීයයන් තක්කාලි හඳුන්වන්නේ එළවලුවක් විදියට.

මුලින්ම තක්කාලි වගා කළේ ඇස්ටෙක්ස්වරුලු. ඒ කියන්නේ මේවගේ නිජබිම ඇමරිකාව. සුද්දෝ ඇමරිකාව ආක්‍රමණය කළාට පස්සේ තක්කාලි යුරෝපයට අරන් ගියාලු. හැබැයි තක්කාලි කියන්නේ විෂ සහිත ආහාරයක් කියලා හිතපු ගොඩක් යුරෝපීයයන් මේ ගෙඩි කන්න බය වුණාලු. ස්පාඤ්ඤ ජාතික බර්නාඩියෝ සාහන් කියන සූපවේදියා තමයි මුලින්ම තක්කාලි සෝස් හදන්න පටන් අරන් තියෙන්නේ. ඒ 1692දී. 1880 කාලෙදි ඔහු සොයාගත්තු සෝස් එක දාලා ඉතාලි ජාතිකයෝ පීට්සා හදන්න පටන්ගත්තා. පස්සේ පීට්සා යුරෝපය පුරා ජනප්‍රිය වෙලා. ඊටපස්සේ තක්කාලි විෂයි කිව් උදවියත් හිටු කියලා තක්කාලි සෝස් දාපු පීට්සා සහ තක්කාලි  කන්න පටන්ගත්තලු.

ඉල්ලුම වැඩි නිසා තක්කාලි සෝස් ව්‍යාපාරය ලෝකය පුරාම මහා පරිමාණයෙන් සිද්ධවෙනවා. හැබැයි ස්වයං රැකියාවක් විදියට සෝස් හදන්න පටන්ගන්න ඒක බාධාවක් නෙමෙයි. මොකද හෝටල් ක්ෂේත්‍රයෙන් වුණත් මේවට තියෙන ඉල්ලුමේ අඩුවක් නැහැ. අනික හොඳම රසට ප්‍රමිතියෙන් යුතුව වැඩේ කරනවා නම් ඕනම දෙයක් කිරිකජු වගේ අලෙවි කරගන්න පුළුවන්. ඒ නිසා හරි පදමට නියම ප්‍රමිතියට සෝස් හදන හැටි අද අපි බලමු.

තක්කාලි සෝස් ටිකක් දියර ස්වභාවයෙන් වැඩියි. ටිකක් ඝනත්වයෙන් තියෙන්නේ සෝස් නෙමෙයි ඒ තක්කාලි කෙචප්. කොයිම වෙලාවකවත් මේ දෙක පටලගන්න එපා. සෝස් එකේ ඝනත්වය මනින එක හරිම වැදගත්. ඒකට අපිට බ්‍රික්ස් මීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම තක්කාලි කිලෝ එකකින් වැඩේ කරමු. තක්කාලි ගන්නකොට හොඳින් ඉදුණු රතු පැහැති තක්කාලි තෝරගන්න. එතකොට කෘත්‍රිම වර්ණක යොදන්න අවශ්‍ය නැහැ. ඉඟුරු 50g, සුදුලූනු 50g, විනාකිරි 100ml, සීනි 100g, මිරිස් කුඩු100g, කරඳමුංගු 3, කුරුඳු පොතු කෑලි දෙකක්, සාදික්කා, ගම්මිරිස් ඇට, ලුණු රස අනුව සපයාගන්න. සෝස් කල්තබාගන්න සෝඩියම් බෙන්සොයිට් (Sodium benzoate) 2gක් විතර අවශ්‍යයි. කල්තබාගැනීමේ ද්‍රව්‍ය යොදනවා නම් සෝස් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. ඒවා නැතිවත් සෝස් මාස හයක් විතර තියාගන්න පුළුවන්.

 

පියවර 1

හොඳට පිරිසුදු කරගත්තු තක්කාලි නටන උණුවතුරේ විනාඩි දහයක් තම්බාගන්න. කරඳමුංගු, කුරුඳු පොතු, සාදික්කා, ගම්මිරිස්, සියඹලා පොඩි කපු රෙද්දක ඔතලා කුළුබඩු මුලක් හදාගන්න. තව රෙදි කඩකින් ඉඟුරු, සුදුලූනු පොට්ටනියක් බඳින්න.

 

පියවර 2

ඊටපස්සේ තක්කාලි ටික අඹරගන්න. පල්පය දැල් පෙරණයකින් පෙරාගන්න. ඊටපස්සේ පල්පය සුදුයකඩ භාජනයක දාලා රත් කරන්න. මේ පල්පය 50% ක් දක්වා අඩු වෙනකල් රත් කරන්න. (බ්‍රික්ස් අගය 16-17 වනතුරු).

 

පියවර 3

මිශ්‍රණය උකු වුණාම අපි හදගත්තු ඉඟුරු, සුදුලූනු පොට්ටනිය ඒකට දාලා සෝස් එක කවලම් කරන්න. විනාඩි කිහිපයකට පස්සේ කුළුබඩු පොට්ටනියත් එකතු කරන්න. විනාඩි කීපයකට පස්සේ විනාකිරිත් එකතු කරන්න. තවත් විනාඩි කිහිපයක් තියලා සීනි, මිරිස් කුඩු, ලුණු එහෙම එකතු කරන්න. අවසානෙදි රෙදි පොට්ටනි ඉවත් කරලා සෝඩියම් බෙන්සොයිඩ් එකතු කරන්න. සෝස් එක හැදුනට පස්සෙ බ්‍රික්ස් අගය 20-25 ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ.

 

උණුසුම් තත්ත්වයෙන්ම ජීවානුහරණය කළ බෝතල්වලට දාන්න.වෙළඳපොළේ සෝස් 200g බෝතලයක් රුපියල් 160/170වට වගේ අලෙවි කරන්න පුළුවන්. තවත් විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න.

 

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි