ස්වයං රැකියා

විස්සෝප වෙලා පලක් නැති එකේ විස්කෝතුවක්වත් හදලා විකුණමු

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා

අවදානමක් ගන්න බය මිනිස්සුන්ට අවධානයක් ගන්න කොහොමටත් බැහැයි කියලා කතාවක් තියෙනවා. ආන්න ඒ කියමන සත්‍ය බව පසක් කරපු උත්තමයෙක්ගෙන් අද කතාව පටන්ගමු.

දකුණු පළාතේ ජීවත්වෙච්චි අඟුළුගහ ගමගේ හින්නිඅප්පුහාමි කොළඹට ආවේ රස්සාවක් හොයාගන්න. ඒ එද්දි හින්නිඅප්පුහාමිගේ අතේ වැඩි මුදලක් තිබිලත් නැහැ. හැබැයි ඒ කෝක වෙතත් අවදානමක් අරන් කොළඹට එන්න උන්දෑ බය වෙලත් නැහැ.

හින්නිඅප්පුහාමිගේ කැපවීම මහන්සිය නිසාම ටික දොහක් යද්දි පිටකොටුවේ හරස් වීදිය පාරේ පුංචි තේ කඩයක් දාගන්න උන්දැට පුළුවන් වෙලා. තේ කඩේකින් සෑහීමට පත්වෙලා මනුස්සයා වැඩේ  අතෑරලා නැහැ. තව තවත් මහන්සියෙන් වැඩ කරලා. ඒ මහන්සියේ ප්‍රතිඵලේ විදියට 1935දී හින්නිඅප්පුහාමි කොටුවේ මැලිබන් වීදියේ හෝටලයක් ඇරලා. හෝටලේ විකුණලා තියෙන්නේ හින්නිඅප්පුහාමිගේ  අතින්ම හදාපු බිස්කට්, පාන්, බනිස්, රසකැවිලි. මේ නිෂ්පාදනවලට ඇතිවෙන ඉල්ලුම එක්ක 1954දී හින්නිඅප්පුහාමි මැලිබන් කියලා බිස්කට් කර්මාන්තශාලාවක් ආරම්භ කළා. ඒක ලංකාවේ පළවැනි බිස්කට් කොම්පැණිය. පස්සේ හින්නිඅප්පුහාමිව හැඳින්නෙව්වේ ‘මැලිබන් මුදලාලි’ කියලා. මැලිබන් ව්‍යාපාරය අද වෙනකොට රටවල් 35කට බිස්කට් අපනයන කරන මහවිශාල ව්‍යාපාරයක්.

උත්සාහය තියෙනවා නම් විස්කෝතුවක් හදලා වුණත් මනුස්සයෙක්ට ගොඩයන්න පුළුවන් කියන එකට මේ කතාව හොඳ උදාහරණයක්. ඒ නිසා ස්වයං රැකියාවක්  විදියට බිස්කට් වර්ග දෙකක්ම හදාගන්න හැටි කියලා දෙන්න අපි කල්පනා කළා.

මුලින්ම බිස්කට් හදලා තියෙන්නේ සුමේරියානුවෝ. එව්වා හදලා තියෙන්නේ බාර්ලිවලින්. බාර්ලිවලින් හදාපු මේ බිස්කට් මුලින්ම අරගෙන තියෙන්නේ කෑමට නෙමේ බීර පදම් කරන්න.

මධ්‍යකාලීන යුගයේදී රෝමන්වරු මේ ජාතියටම සීනි එකතු කරලා කෑමට ගත්තලු. ඉතින් සමහරු බිස්කට් සොයාගැනීමේ ගෞරවය දෙන්නේ රෝමන්වරුන්ට. පස්සේ බිස්කට් රෙසපිය එංගලන්තෙට ගියාම ඒ අය එව්වා කාලා තියෙන්නේ වයින්වල පොඟවලා. අවමංගල කටයුතුවලදි මළසිරුරේ අත උඩින් බිස්කට් එකක් තියලා භූම්දානය කරාපුවහම මළ උන්දගේ පව් නැතිවෙනවය කියලලු ඒ අය විශ්වාස කරලා තියෙන්නේ.

බිස්කට් ගැන ඔය කතා කොහොම වෙතත් ඉස්සර ඉඳලා අපේ රටේ ගෙවල්වල හවසට බිස්කට් එකක් වරදින්නේ නැහැ. ගෙදර ඉන්න පුංචි එකාගේ ඉඳලා වයසක උදවිය දක්වා කට්ටිය විස්කෝතුවලට මනාපයි නොවෑ. හැබැයි දැන් ටික දවසක ඉඳලා ඒ කියන්නේ උද්ධමනය එක්ක බිස්කට්වල මිල එහෙමත් ඉහළ ගියානේ. ඒ නිසා ගොඩක් උදවිය දැන් බිස්කට් කනවා අඩුයි කියලයි කසුකුසුව. හැබැයි අපි කියලා දෙන්නේ අඩු මුදලකින් හදාගන්න පුළුවන් බිස්කට් වර්ග දෙකක්. ඉතින් ස්වයං රැකියාවක් විදියට ප්‍රමිතියට හදලා සාධාරණ මුදලට දෙන්න හැකිනම් හොඳ ඉල්ලුමක් හදාගන්න එක අමාරු නැහැ කියලා නම් සහතිකයි.

මුලින්ම අපි හදමු වයින් බිස්කට්. ඒකට මේ බඩු ටික ගන්න.

පිටි 150g , කුඩුකරගත් සීනි 80g, මාගරින් 60g, බේකින් පවුඩර් තේ හැඳි 1, බිත්තර 1, මද රස්නේ වතුර තේ හැඳි 2, වැනිලා එසන්ස් තේ හැඳි 1

 

පියවර 1

පිටියි, බේකින් පවුඩරුයි එකට එකතු කරලා තුන්පාරක් හලාගන්න. සීනි සහ මාගරින් විස්ක් එකකින් නැත්නම් බීටරයකින් හොඳට මිශ්‍ර කරන්න. පස්සේ බිත්තරයක් දාලා බීට් කරන්න.

 

පියවර 2

මිශ්‍රණයට දැන් පිටි ස්වල්පය බැගින් එකතු කරන ගමන් හොඳට කලවම් කරන්න. වැනිලා එකතු කරන්න. මේ මිශ්‍රණය තරමක් දියාරු වෙන්න ඕනේ නිසා වතුර තේ හැඳි දෙක එකතු කරන්න. හැන්ද ඉස්සුවට පස්සේ කන්දක් වගේ වැක්කෙරෙන ගාණට තමා මිශ්‍ර‍ණේ පදම.

මේ මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා තෙල් කඩදාසි දාපු තැටියකට පරතරය හිටින විදියට පයිපින් කරන්න. 170C°ක ප්‍රීහීට් කළ අවන් එකක විනාඩි 10ක් විතර බේක් කරලා නිවුණට පස්සේ ඇසුරුම් කරන්න.

(අවන් එකක් නැත්නම් අඩිය ගනකම් භාජනයකට ලුණු කුඩු දාලා හොඳට වැහෙන පියනකින් වහලා විනාඩි 10ක් රත් කරන්න. පස්සේ ඇතුළින් දරණුවක් තියලා පයිප් කරගත්තු මිශ්‍රණය තියලා විනාඩි 10ක් බේක් කරගන්න.)

 

ඇඟිලි විස්කෝතු

බිත්තර 2, සීනි 30g, අයිසින් සීනි 30g, පිටි 50g, වැනිලා තේ හැඳි 1/2, නැත්නම් ඉඟුරු ඉස්ම, ලුණු පදමට

 

පියවර 1

බිත්තර සුදුමද, කහමද වෙන් කරගන්න. සුදුමද බීට් කරන්න. ඒකට අයිසින් සීනිත් දාලා ආයෙත් බීට් කරන්න. කන්දක් වගේ නොවැටෙන පදමට.

 

පියවර 2

කහමද ටික බීට් කරන්න. ඒකට සීනි එකතු කරලා ක්‍රීම් වෙනකල් බීට් කරන්න. කලින් හදාගත්තු සුදුමද ටිකට මේකත් එකතු කරන්න. මේකට පිටි, වැනිලා එහෙමත් එකතු කරලා පයිපින් බෑග් එකකට දාලා, අඟල් 4, 6ක් විතර දිගට තරමක් ගනකම් වෙන්න පයිපින් කරගන්න. උඩින් අයිසින් සීනි ටිකක් ඩස්ට් කරලා 180C°ක විනාඩි 12-15 බේක් කරන්න. පස්සේ අවන් එක ඕෆ් කරලා ඒක ඇතුළෙම නිවෙන්න අරින්න.

මේ බිස්කට් හුළං නොවදින විදියට අසුරා ගන්න. මේ විස්කෝතු බර අනුව රුපියල් 100 ඉඳලා මිල කරන්න පුළුවන්. 0714766819 අංකයට කතා කරලා තවත් විස්තර අහගන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි