මේ දැල එලලා විතරක් නෙවෙයි හදලත් ගොඩයන්න පුළුවන්
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා
දවස පුරා හැල්මේ දුවලා දුවලා රෑට ඩිංගක් නිවීහැනහිල්ලේ හාන්සි වෙනවා තරම් සැපතක් තවත් කොයින්දෑ නේද?
“රූං… රූං… රූං”
කොහේ කරන්නද… ඇස් දෙක වැහෙද්දිම මදුරු සනුහරේ කන ගාව සිංදු කිය කිය බජව් දාන්න පටන්ගන්නවනේ.
සරදමට මදුරුවා ගැන එහෙම කිව්වට මොකෝ මදුරුවා කියන්නේ විහිලුවට ගන්න ඕනා සතෙක් නෙමේ. ලෝකේ වැඩිම මිනිස් මරණ ප්‍රමාණෙකට වගකියන සතා මදුරුවා කියලා මීට කලින් වතාවකත් අපි කියලා තියෙනවා.
විනාඩි දෙහෙකට සැරයක් මේ ලෝකේ කොතැන හරි දරුවෙක් මදුරුවෙක් නිසා ජීවිතේට සමුදෙනවා. සූඩානය කියන්නේ ලෝකේ දුප්පත්ම රටවලින් එකක්. වාර්ෂිකව සූඩාන ගම්මානවල දරුවන් 75%ක් මදුරුවට බිලි වෙනවා.
මේ ගම්මානවල මිනිස්සු මදුරුවන්ගෙන් බේරෙන්න මදුරු කොයිල් පාවිච්චි කරනවලු. අලි මදිවට කොටි කියලා මදුරු කොයිල් දුමෙන් විසෙන් මේ පළාත්වල මිනිස්සුන්ට පෙනහැල්ල ආශ්රිත ගැටලුත් වැඩිලු. සූඩානේ විතරක්ද ලංකාවේ අයියලත් හිටු කියලා මදුරු කොයිල් පුච්චනවනේ. බස්නාහිර පළාතේ විතරක් දවසකට කන්ටේනර පෙට්ටි දෙකක කොයිල් පත්තු කරනවා කියලයි සමීක්ෂණවලින් කියන්නේ. හැබැයි ඉතින් කොයිල්වලින් මදුරුවො හෙට්ටු කරන්න ගියොත් මට්ටු වෙන්නේ අපිමයි ගොයියෝ.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට මදුරුවන්ගෙන් බේරෙන්න ඵලදායීම ක්‍රමේ මදුරු දැලක් එලන එකයි. 2020දී යුනිසෙෆ් සංවිධානය සූඩාන ගම්මානවලට ව්‍යාපෘතියක් විදියට මදුරු දැල් බෙදාදුන්නා. එයින් පස්සේ මේ ගම්මානවල ළමා මරණ 41%කින් අඩුවුණා.
“ඉර බැහැපු හැටියේ මදුරු දැල එල්ලලා දරු පැටව් ටික ඒක අස්සට යවනවා. මදුරුවෝ කන්නේ නැති නිසා ඒ අයත් සැපට නිදාගන්නවා. ඇත්තටම මගේ පොඩි උන්ගේ ජීවිතේ රැකිලා තියෙන්නේ මේ මදුරු දැලට පිංසිද්ධවෙන්න.”
සූඩානේ බංගුතර ගමේ ජීවත්වෙන පස්දරු මවක් වෙච්චි රමටු මාධ්‍යට ඔහොම කියලා තිබුණා.
අපේ අයත් රෑට දෂ්ට කරන මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න මදුරු දැල් පාවිච්චි කරනවා. ඒ නිසා මදුරු දැල්වලට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඉතින් ස්වයං රැකියාවක් විදියට මදුරු දැල් හදාගන්න හැටි අද කතා කරමු.
මේ මදුරු දැල් පුරාණය ඊජිප්තු අතීතෙටම දිගයි. නයිල් නදිය නිසා ඊජිප්තු මිනිස්සුන්ට නිතරම මදුරු කරදර ඇති වුණාලු. ඒ අය මදුරුවන්ගෙන් බේරෙන්න දැලක් පාවිච්චි කරලා. ක්ලියෝපැට්රා රැජින නිදාගත්තෙත් මදුරු දැලක් යට කියලයි කතාව. ඊජිප්තුවේ සුවස් ඇළ හදාපු කම්කරුවෝ එහෙමත් රෑට නිදියැව්වේ මදුරු දැලක් දාලාලු.
හරි ඒ කතා ඇති. දැන් අපි වැඩේ පටන්ගමු. අපි අද හදන්නේ සිංගල් මදුරු දැලක්.
වැඩේට මේ දේවල් ටික සපයාගන්න.
අඟල් 72 පළල නෙට් රෙදි යාර 8 1/2, රතු, සුදු, නිල් ඕනම පාටකින් නෙට් රෙදි මිලදී ගන්න පුළුවන්. සුජින් නැත්නම් පොලියෙස්ටර් මීටර් 2ක්, නෙට් එක රැඳවීමට බටයක්, මදුරු දැල් රේන්ද, නෙට් කොක්කක්.
පිටකොටුවේ රතු පල්ලිය ළඟයි, දෙවන හරස් වීදියෙයි අඩු මිලට මේ බඩු ගන්න පුළුවන්කම තියෙනවා.
නෙට් එකක සාමාන්‍ය උස අඟල් 90ක් විතර වෙනවා. ඒ නිසා මුලින්ම නෙට් රෙද්ද යාර 2 1/2 කොටස් තුනකට කපාගන්න. ඉතිරි වෙන කෑල්ල රැලි පටියට ගන්න පුළුවන් විදියට අඟල් 8ක් පළල තීරු විදියට කපාගන්න.
යාර 2 1/2 කොටස් තුන එකට තියලා උඩ කොටසින් අඟල් 16ක්, යටට අඟල් 56ක් වෙන විදියට 1 රූපයේ පේන විදියට නවලා කොටස් 6කට කපාගන්න. (කෑලි 4 සාය කපන විදියට) පස්සේ බලවාටි කපලා අයින් කරන්න. එතකොට එක සමාන දිග ප්‍රමාණයට උස් පහත් නැතිව මහගන්න පුළුවන්.
දැන් අඟල් 16 පැති එක පැත්තකට එන විදියට කොටස් හය රවුමට මූට්ටු කරගන්න. සුජින් රෙද්දෙන් නැත්නම් පොලියෙස්ටර් රෙද්දෙන් අඟල් 12ක අරය හිටින රවුමක් කපාගන්න.
සුජින් රෙද්දෙන් අඟල් 2 පළල පටිත් කපාගන්න. ඒ පටි අර කපාගත්තු රවුම උඩ කතිර විදියට මහන්න.
අර මුලදිම කපාගත්තු අඟල් 8 නෙට් තීරු උඩ රවුමේ ප්‍රමාණයට වඩා දෙගුණයක් නැත්නම් තුන් ගුණයකට දිගට අරගෙන රේන්දයක් නැත්නම් පයිපින් එකක් විදියට රැලි කරමින් අල්ලගන්න. ඊගාවට මූට්ටු කරගත්තු නෙට් රවුමක් රැලි කරලා අල්ලගන්න.
උඩ රවුමේ දිගට සමාන දිගකින් අඟල් 5ක් පළල පටියක් කපලා ඒකත් රවුමටම අල්ලගන්න. මේ රවුමේ පටියක් යවන්න පුළුවන් ප්‍රමාණයට වාටියක් මහලා පටි ඇතුල් කරලා රවුමේ ප්‍රමාණයට නෙට් බටය තියලා අවශ්‍ය ප්‍රමාණයට හිර කරන්න.
නෙට් එකේ යට වාටියට අගල් 2 පටි කපලා මහන්න. යටට රේන්ද අල්ලගන්න. මුදුනට නෙට් කොක්ක දාලා එල්ලන මුදුව රඳවගන්න. පුළුවන් නම් වැඩේ පටන්ගන්න කලින් පරණ නෙට් එකක් අරගෙන ටිකක් ගලවලා බලන්න.
සිංගල් මදුරු දැලක් රුපියල් 1000 ඉඳලා ඉහළට මිල කරන්න පුළුවන්. මදුරු දැල් නිෂ්පාදනය ගැන තවත් විස්තර දැනගන්න 0714766819 කියන අංකයට කතා කරන්න.
මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙනවා කියලා කතාවක් තියෙනවනේ. රැකියාවක් කරන කාන්තාවක් වුණත් නැතත් සුළුවට ස්වයං රැකියාවක් කාරියක් පටන්ගන්න පුළුවන් නම් මහන්සියක් නැතිවම ජීවිතේ ගෙවන්න පුළුවන්. ඉතින් අනිත් අයට සැපට හාන්සි වෙන්න මදුරු දැල් හදන වැඩේ අදම පටන්ගන්න කියලයි අපි කියන්නේ.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි
