ස්වයං රැකියා

රටවැසියන්ට කේක් කන්න කිව්වට රැජින කාල තියෙන්නේ කිසස්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා

එකදාස් හත්සීයේ ප්‍රංශ සාගත කාලෙදි පාන් ඉල්ලලා අඬාවැටුණු මිනිස්සුන්ට පාන් නැත්තම් කේක් කාපල්ලා කියලා කියාපු දරුණු කතාව නිසා මාරි ඇන්ටොනයිට් රැජින ඉතිහාසයේ ප්‍රකටයි.

මාරි ඇන්ටොනයිට් කසාද බැඳලා හිටියේ 16 වැනි ලුවී රජ්ජුරුවන්ව. මේක ඒ දෙන්නාගේ කසාදෙට කලින් වුණු සිද්ධියක්. රජ පවුල්වලින් තීන්දු කළාට මොකෝ ලුවී රජ්ජුරුවන්ව විවාහ වෙන්න මාරි කුමාරිගේ හිතේ වැඩි මනාපයක් තිබිලා නැහැ. හැබැයි ඒකටත් එක්ක ලුවීගේ හිතේ මාරි ඇන්ටොනයිට් ගැන ලොකු කැමැත්තක් තිබුණලු.

මාරි ඇන්ටොනයිට්ගේ හිත දිනාගන්න ලුවී රජ්ජුරුවෝ නානාප්‍රකාර අරුමෝසම් දේවල් අටෝරාශියක් විතර ඇයට තෑගි කරලා. හඳ ගලෝලා ගෙනල්ලා දුන්නත් ගෑනු සනසන්න බෑ කියලා ඔය සමහර පිරිමි කතාවට කියන්නා වගේ රත්තරං, දියමන්ති, මුතු, මැනික් දීලත් මාරි කුමාරිගේ හිත සතුටු කරන්න රජාට බැරි වුණාලු.

රසවයින් විශේෂ කෑමක් හදලා දුන්නොත් කුමරියගේ හිත දිනාගන්න පුළුවන් වෙයි කියලා හිතාපු රජතුමා මාරි ඇන්ටොනයිට් වෙනුවෙන් විශේෂ කෑමක් හදන වැඩේ රාජකීය කෝකියට පවරලා. හප්පේ දැන් මොකද කරන්නේ රැජිනියගේ හිත සතුටු වෙන ජාතියේ කෑමක් නොහැදුවොත් මැරුම් කන්නයි වෙන්නේ කියලා හිතපු කෝකියා දහඅතේ කල්පනා කළාලු.

ඔය කාලේ ස්ව්ස්ටර්ලන්තේ ගස්පරිනි කියලා බොහොම දක්ෂ කෝකියෙක් හිටියා. ප්‍රංශේ රාජකීය කෝකියගේ ගුරුතුමාත් ගස්පරිනි. දවසක් ගුරුතුමා කටට දැම්මහම පුළුන් වගේ දියවෙලා යන ලස්සන කෑමක් හදන හැටි ඉගැන්නුවා කියලා කෝකියට මතක් වුණා. හරියන්න හරි වැරදෙන්න හරි කියලා කෝකියා ඒ කෑම ජාතිය හදලා කුමාරිකාවට පිළිගැන්නුවා.

වැඩේ කියන්නේ රත්තරං මුතු මැණික්වලටවත් සතුටු වුණේ නැති මාරි කුමාරි මේ කෑමවලට එක මොහොතින් වහවැටුණා. එදා ඉඳලා මාරි ඇන්ටොනයිට් තනියමත් මේ ජාතිය හදාගෙන කෑවය කියලයි පොත්වල තියෙන්නේ.

රජ කුමාරිකාවකගේ හිත දිනාගත්තු ඒ රස කෑම ජාතිය මොනවා වෙන්නැති කියලද හිතන්නේ? ඒ තමයි කිසස්. කිසස් කාපු මාරි කුමාරි ඒ සතුටට රජතුමාට කිස් එකකුත් දුන්නද දන්නේ නෑ නේද?

කිසස්වලට ඒ නම වැටුණු හැටි ගැනත් පුංචි කතාවක් තියෙනවා. එංගලන්තේ පළවැනි එළිසබෙත් රැජින කිසස් කාපු පළවැනි වතාවේ ඒ රසේට වශීවෙලා කිසස් එකකට හාදුවක් දීලා ඒවා කිසස් කියලා නම් කළා කියලා කියනවා. කිසස් කියනවට අමතරව මෙව්වට මෙරිංගු කියලත් කියනවා. මුලින්ම කිසස් හදාපු ගස්පරිනි ජීවත්වුණේ ස්විස්ටර්ලන්තේ මෙරිංගුවල නිසාලු කිසස්වලට ඒ නම වැටුණේ.

ඒ කාලේ හිටපු රැජිනියෝ විතරක් නෙමේ අදටත්  කට්ටිය කිසස්වලට බොහොම මනාපයි. ඒ නිසා ස්වයං රැකියාවක් විදියට පටන්ගන්න මේක නියම වැඩක්.

අනික රසකැවිල්ලක් විදියට විතරක් නෙමේ කේක් වර්ග, පුඩිං සරසන්න එහෙමත් කිසස් පාවිච්චි කරනවානේ. ඉතින් ලස්සනට පාටට රසට හදාගත්තොත් ඉක්මනින්ම ඉල්ලුමක් හදාගන්න බැරි නැහැ.

හරි කතා ඇති. බිත්තර සුදු මද 100g, සීනි 200g, දෙහි බිංදු 2, වැනිලා තේ හැන්දයි, කලරිනුයි අරන් වැඩේ පටන්ගමු. බිත්තර සුදු මද සහ සීනී 1:2 අනුපාතයට ගන්න.

 

පියවර 1

මුලින්ම උඳුන 100 C°ට රත් කරගන්න. අවන් එකෙන් එකට උෂ්ණත්වය වෙනස් වෙන නිසා තමන්ගේ උඳුනේ අවම උෂ්ණත්වයට තියාගන්න. තැටියක් අරන් තෙල් කඩදහියක් එහෙම දාලා ලකලෑස්ති කරගන්න

 

පියවර 2

තැටිය රත්වෙන අතරේ වතුර නැති භාජනේකට බිත්තර සුදු මද, දෙහි දාලා බීට් කරන්න. පස්සේ සීනිත් ටිකෙන් ටික එක්කාසු කරන ගමන් බීට් කරන්න. මිශ්‍රණය පුළුන් වගේ වෙන්න ඕනා. බිත්තර සුදු මදේ පරිමාව වගේ අට ගුණයක් වැඩිවෙන එකයි මෙතැනදි වෙන්නේ. බීටරේ විස්ක් එක උස්සලා බැලුවහම මිශ්‍රණය කන්දක් වගේ තියෙනවා නම් ආන්න පදම. අවසානෙදි වැනිලා ටික එහෙමත් එකතු කරන්න.

පස්සේ මිශ්‍රණේ කොටස් දෙකකට බෙදලා පාට එකතු කරන්න.

 

පියවර 3

ස්ටාර් නොසෙල්ස් දාපු පයිපින් බෑග් එකකට මිශ්‍රණය දාන්න. අර කලින් ලැහැස්ති කරගත්තු තැටියට අඟල් 2-2 පරතරය තියලා පයිප් කරගන්න. මේක විනාඩි 50-60ක් බේක් කරගන්න. අවන් එක ඕෆ් කරලා කිසස් ඒ ඇතුළෙම නිවෙන්න අරින්න. එතකොට තමයි කිසස් ක්‍රිස්පි වෙන්නේ.

 

පොලි පොප්ලීන් බෑග්වල අසුරන්න. මෙහෙම හදාගන්න කිසස් මාස හයක් කල්තියාගන්න පුළුවන්. විශාලත්වය අනුව රුපියල් අටේ ඉඳලා මිල තීරණය කරන්න පුළුවන්.

කිසස් ගැන තව මොනාහරි දැනගන්න ඕනා නම් 0714766819 මේ අංකයට කතා කරන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි