නවතම ප්‍රවෘත්ති

අවුරුදු 18කට ඉස්සර ඇඩ්වර්ටයිසින්වලට බැඳුණු මගේ ආදරේ තාමත් එහෙමමයි

සමහර කෑමබීමවල නැත්තම් සන්නාමවල නම් කිව්ව හැටියේ අපිට මතක් වෙන්නේ ඒ සන්නාම නාමයට අදාළව ප්‍රචාරණය වෙන වෙළඳ දැන්වීම් නිසා. හැබැයි සන්නාමයක් එහෙමත් නැත්නම් Brand Name එකක් ඒ විදියට මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියට නිර්මාණශීලිව සන්නිවේදනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි. ඒ නිසා ඇඩ්වර්ටයිසින් (දැන්වීම්කරණය) කියලා කියන්නෙම වෙනස් විදියේ වැඩකට. ඉතින් මේ ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් යන්නනම් කෙනෙක්ගේ නිර්මාණශීලී හැකියාව බොහොම තීව්‍ර වෙන්න ඕනේ. ඒ වගේම අභියෝග බාරගන්න පුළුවන් හයියක් තියෙන්නත් ඕනේ. ඒ නිසා කාන්තාවකට මේ ක්ෂේත්‍රය තවත් ටිකක් අභියෝගාත්මකයි.

හැබැයි අද ‘ධරණී’ කවරය දරාගෙන ඉන්න සුන්දර කාන්තාව, සෙලොනිකා පෙරුමාල් නිර්මාණශීලිත්වය තමන්ගේ රැකියාව කරගෙන ඒ හරහා දීර්ඝ ගමනක් ආපු කෙනෙක්. දැන්වීම්කරණයේ හිනිපෙත්තටම ගමන් කරපු ඇගේ කතාව අපිට නම් බොහොම විශේෂයි. ඒ විශේෂත්වය මෙතැන ඉඳලා ඔබටත් දකින්න පුළුවන්.

අපේ පවුල මධ්‍යම පන්තියේ සාමාන්‍ය පවුලක්. ඉතින් ලොකු වුණාම හොඳ රස්සාවක් කරලා ඒකෙන් ඉහළටම යනවා කියන එක යමක්කමක් තේරෙන පුංචි කාලෙදිම මගේ හිතට කාවැදුණා. අනික පොඩි කාලේ ඉඳලම අලුත් අලුත් දේවල් කරන්න, අභියෝග බාරගන්න මම හරි දක්ෂයි.”

සෙලොනිකා ඇගේ කතාවට අවතීර්ණ වුණේ අතීත මතක සිහිපත් කරන ගමන්. ඇය කොළඹ මුස්ලිම් කාන්තා පාසලේ ආදි ශිෂ්‍යාවක්. මූල්‍ය අංශයේ රැකියාවක් කරන්න අදහසක් තිබුණු නිසා ඇය ඒ අංශයෙන් ඉහළටම ඉගෙනගත්තලු. ඒ වගේම ඇය ඔස්ට්‍රේලියාවේ එඩිට් කොවේන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්.

ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ මම ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. හැබැයි ඒක මගේ පාර නොවෙන බව මට දැනුණා. ඒ නිසා ටික කාලෙකින් මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් හොයාගත්තා. හැබැයි ඒකත් මට හරි ගියේ නෑ. පස්සේ මම ඒ රැකියාවෙනුත් අයින් වුණා. ඊටපස්සේ වෘත්තීය තෝරාගැනීමක් ගැන දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක ඇඩ්වර්ටයිසින් පැත්තට ඇප්ලයි කරන්න කියලා යාළුවෙක් කිව්වා. ඇත්තටම ඒ ක්ෂේත්‍රය ගැන අදහසක් නොතිබුණත් කෝකටත් කරලා බලනවා කියල හිතාගෙන ඒකට ගියා. පස්සේ ඉතින් ඒක තමයි හරි පාර කියලා මට තේරුණා.”

අහම්බයකින් මෙන් පා තියපු ඒ පාරේ සෙලොනිකා මේ වෙනකොට ඇය අවුරුදු 18ක් ඇවිදන් ඇවිල්ලා. ඉතින් ඒ ගමන්මග ගැන ඇයත් එක්ක කතා නොකරන එක අඩුවක්නේ.

ඔය විදිහට මම මුලින්ම සම්බන්ධ වුණේ ලියෝ බර්නට්ආයතනයට. 2004 දී මම ආයතනයට සම්බන්ධ වුණේ කනිෂ්ඨ වෙළඳනාම විධායකවරියක් විදියටයි. පස්සේ ආයතනයේ විධායක අධ්‍යක්ෂක තනතුර දක්වාම යන්න මට පුළුවන් වුණා. 2020 දී මම බර්නට් ආයතනයෙන් ඉවත්වෙලා ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී විදියට ශිෆ්ට්ආයතනයට සම්බන්ධ වුණා. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විදියට මේ අවුරුද්ද මැදදි මට උසස්වීමක් ලැබුණා.

ඇඩ්වර්ටයිසින් කරන්න පටන්ගත්තු දවසේ ඉඳලම මම ඒකට ආදරේ කළා. අවුරුදු 18කට පස්සෙත් ඒ ආදරේ එහෙමමයි.”

දැන්වීම්කරණය කාන්තාවකට ටිකක් අභියෝගකාරී වෘත්තියක් බව අපි කිව්වනේ. ඉතින් කාන්තාවක් විදියට ඇය ඒවට මුහුණදෙන ආකාරය ගැනත් අපි ඇගෙන් ඇහුවා.

අභියෝගකාරී නොවන රස්සා මේ ලෝකේ නැහැ. අපි ඒ අභියෝග බාරගන්න විදිය සහ හසුරවන ආකාරය තමයි වැදගත්. මම උදාහරණයක් කියන්නම්. සැරයක් ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක වෙළඳ දැන්වීමක් වෙනුවෙන් මටයි මගේ ටීම් එකටයි දවස් හතළිහක් ලංකාව වටේම යන්න වුණා. එතකොට මගේ බබාට අවුරුදු හතයි. ඉතින් මම ඔය ප්‍රොජෙක්ට් එක කරන කරන ගමන් විටින් විට ගෙදර ගිහින් බබාගේ වැඩ ටිකත් අතපසු නොකර හරියටම කළමනාකරණය කළා. මේ රස්සාවෙදි ඒ වගේ කැපකිරීම් කරන්න, වෙහෙසෙන්න වෙන එක සාමාන්‍යයි. මම වගේම මේ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් කාන්තාවොත් ඔවැනි අභියෝගවලට ඕන වෙලාවක ලැහැස්තියි. ඒ නිසාමදෝ වෙළඳ ප්‍රචාරණ අංශය කියන්නේ සාර්ථක කාන්තා ප්‍රධානීන් ගොඩක් ඉන්න ක්ෂේත්‍රයක්. අවුරුද්දෙන් අවුරුද්ද ඒ ප්‍රමාණය වැඩි වෙනවා මිසක අඩුවෙන්නේ නැහැ. සාර්ථක කාන්තාවන්ගේ කතා ගොඩක් මේ අංශයේ තියෙනවා. කාන්තාවක් යමකට නායකත්වය දෙන්න මොළය වගේම හදවතත් පාවිච්චි කරනවා. මේක මිනිස්සු එක්ක වැඩ කරන, මිනිස්සු වෙනුවෙන් සන්නිවේදන නිර්මාණ කරන රස්සාවක් නිසා මේ ක්ෂේත්‍රයෙන් සාර්ථක කාන්තාවන් වැඩිපුර බිහිවෙන්න ඒකත් එක හේතුවක්.

එතකොට කාන්තාවක් විදියට ආයතනයක ප්‍රධාන විධායක තනතුර දරණ එකත් අභියෝගකාරී නැද්ද? අපි ඇගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.

මම එදා ඉඳලා අද වෙනකල් වැඩ කරපු හැම ආයතනයක්ම කාන්තාවකගේ හැකියාවන්, වටිනාකම් පිළිගත්තු ආයතන. ඒ නිසා ඒ බොහෝදෙනා මගේ සාර්ථකත්වයට දායක වුණා. හැබැයි ආයතන ප්‍රධානීන් විදියට කාන්තාවන් සාර්ථක නැහැ, ඔවුන්ට අභියෝගවලට මුහුණදෙන්න බැහැ කියන මතය තවමත් අපේ සමාජයේ තියෙනවා. ඒ වෙනස මටත් දැනුණු අවස්ථා නැතුවම නෙමෙයි. ඇත්තටම කාන්තාවක් වීම පසුතැවෙන්න හේතුවක් නෙමෙයි. කාන්තාවකගේ ලොකුම හයිය කාන්තාවක් වීමයි.”

ඇය කිව්වේ බොහොම අභිමානයෙන්. ඇය අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධයෙන් ජාතික වගේම ජාත්‍යන්තර ඇගයීම් රැසක් ලබාගත් කාන්තාවක් බවත් අපි කිව්වනේ. ඉතින් අපි ඇගෙන් ඒ ගැනත් විස්තර අහලා බැලුවා.

මම 2017 දී ආසියා පැසිෆික් කලාපයේ මාධ්‍ය අලෙවිකරණය සහ ප්‍රචාරණය පිළිබඳ අධිකාරියක් වන කැම්පේන් ඒෂියාහි ආසියාවේ නැරඹිය යුතු හොඳම කාන්තාවන් 40 දෙනා අතරට ඇතුළත් වුණා. විශාල පරාසයකින් යමක් දිහා බලන්න පුළුවන් හැකියාව, ලෝකය වැඩිදියුණු කරන්න කරන කැපකිරීම සහ අධිෂ්ඨානය වගේ ගුණාංග තමයි ඔවුන් මෙතැනදි සලකලා තිබුණේ. ඉතින් එවැනි ගුණාංග ඇති කාන්තාවන් අතරට එක්වෙන්න ලැබීම ඇත්තටම මට ගෞරවයක්. ඒ වගේම 2019 දී කාන්තා බලගැන්වීමේ ආයතනයේ හොඳම වෘත්තීය කාන්තාවන් 50ට ඇතුළත් වෙන්නත් මට පුළුවන් වුණා. එතැනදි මට ප්‍රචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නායකත්වයකියන සම්මානය ලැබුණා.

මේ වසරේ ජූලි මාසෙදි ඩ්‍රැගන් ඔෆ් ඒෂියාකියන  ආසියානු ඉවෙන්ට් එකේ ජූරි සභිකයෙක් විදියට සහභාගි වෙන්නත් ආරාධනා ලැබුණා. ඒක ආසියාවේ හොඳම අලෙවිකරණ ව්‍යාපාර හඳුනාගෙන ඒවා ඇගයීමට ලක්කරන වැඩසටහනක්. ඉතින් ඒකත් මට ලොකු ගෞරවයක්.”

ඇත්තටම ඇගේ මේ ජයග්‍රහණ ලාංකික කාන්තාවන් විදියට අපි හැමෝටම ගෞරවයක් කිව්වොත් හරි. මේ කටයුතුවලට අමතරව ඇය අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රයේ කාන්තාවන් බලගන්වන්න ඔවුන්ට උපදේශකවරියක් විදියට කටයුතු කරන බවත් කියන්න ඕනේ. ඒ වගේම ඇය තනි මවක්.

වෘත්තීය ජීවිතේ සාර්ථක වෙන ගමන් හොඳ අම්මා කෙනෙක් වෙන්න බැහැ කියලා සමහරු හිතනවා. විශේෂයෙන් තනි අම්මා කෙනෙක්ට. ඕක ඕනවට වඩා හිතන්න යන නිසා සමහරුන්ට ඔය දෙකම අතඇරෙනවා. හැබැයි ඒකට හොඳ සහායක් ඕනේ. දරුවෙක් හදන්න ගමක් ඕනේ කියලා කතාවක් තියෙනවනේ. ඇත්තටම මගේ දරුවා හදන්න මගේ ළඟ ගමක් වගේ විශාල පිරිසක් ඉන්නවා. අම්මා, නංගි, අම්මගේ නංගිලා වගේම මගේ යාළුවොත් මට උදව් කරනවා. අනික මගේ ආයතනයේ කළමනාකරණ කණ්ඩායමේ සහායත් මට නිතැතින්ම ලැබෙනවා. මට වැදගත් පරිපූර්ණ අම්මා කෙනෙක්වත් සම්පූර්ණ වෘත්තියකයෙක්වත් වෙන එක නෙමෙයි. ඒ දෙක සමබර කරගන්න එකයි. කවදාකහරි මගේ පුතා මගේ දිහා බලලා ආඩම්බර වෙනවා දකින්නයි මම අද  මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ. එයාගේ ජීවිතේට හොඳ පදනමක් දාන ගමන් සාර්ථක වෙන්න නම් මහන්සි වෙන්නම ඕනේ කියන ආදර්ශය අම්මා කෙනෙක් විදියට මම එයාට ක්‍රියාවෙන්ම පෙන්නලා දෙනවා.

සාමාන්‍ය ජීවිතේ පහසු කරගන්න උදව් කරන අය ගැන එහෙම කිව්ව සෙලොනිකා වෘත්‍තීය ජීවිතේදි ඇයට අත හිත දුන් පිරිස ගැන මතක් කරන්නත් අමතක කළේ නැහැ.

ලියෝ බර්නට්හි නිර්මාතෘ රනිල් ද සිල්වා, ලියෝ බර්නට්හි මගේ පළමු ප්‍රධානී සහ දැන් ශිෆ්ට්හි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිශානි කොතලාවල සහ ලියෝ බර්නට්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී අරෝෂ පෙරේරා මගේ වෘත්තිමය ජීවිතයට ශක්තියක් වූ චරිත තුනක්. සදාකල්ම මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. කෙනෙක්ට කවදාවත් කිසිම දෙයක් තනියම කරන්න බැහැ. නායකයෙක් වුණත් සාර්ථක වෙන්නේ කණ්ඩායමේ සාර්ථකත්වය මත. අපේ ආයතනය සාර්ථක අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරන නිසයි. ඒ නිසා ඒ හැමදෙනාවම මම ආදරෙන් මතක් කරනවා.”

අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙනුත් හදවතින්ම වචනයක් දෙකක් කතා කරන්නත් මේ විදියට ඇය අවස්ථාව ලබාගත්තා.

ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. කිසිම වෙලාවක නෑ, බෑ කියන්න එපා කියලා මගේ ආච්චි අම්මා මට නිතරම කිව්වා. ඒ වගේම මම අනිත් අයටත් කියන්නේ ජීවිතේට එන අභියෝග බය නැතිව බාරගන්න. අභියෝගවලට අභියෝගයක් වෙන්න. හැමදේම ආසාවෙන් කැපවීමෙන් කරන්න. ඒක ගෙදර උයන එකද, රස්සාව කරන එකද කියලා නෑ. එතකොට තමයි අපිට සතුටෙන් ජීවත්වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම තමන්ව විශ්වාස කරන්න. එතකොට කවදාවත් වරදින්නේ නෑ.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන