නවතම ප්‍රවෘත්ති

මගේ අම්මා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනකොට මම ඉපදිලත් නෑ

දේශපාලන පොරොන්දු පිට නැගී ආසියාවේ ආශ්චර්යයවෙන්නට කාලයක් අපි අහස උසට හීන මැව්වෙමු. නමුත් ඒ වෙනුවෙන් ඉදිවුණු අහස සිඹින කුළුණු හෝ දැවැන්ත ගොඩනැගිලි අපිව ඒ ආශ්චර්යයේ මාවතටවත් රැගෙන ගියේ නැත. නමුත් පසුගිය 11 වැනිදා ආසියාවම පරදවා ජයගත්තාක් වැනි හැඟීමකින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් සැනහී ගියේය.

ඒ ඉතිහාසයේ පළමු වතාවට එකිනෙකට වෙනස් ක්‍රීඩා ද්විත්වයකින් ආසියානු කුසලාන දෙකක්ම මෙරටට ගෙනෙන්නට අපිට හැකිවුණු බැවිනි.

ආසියානු ක්‍රිකට් ශූරතාවයත්, ආසියානු දැල්පන්දු ශූරතාවයත් යන දෙකම එදා අපි සන්තක විය. ආසියාවේ ආශ්චර්යය නම් මේ නොවේදැයි එදා බොහෝදෙනෙකුට සිතෙන්නට ඇත. ඒ අතරිනුත් දැල්පන්දු ශූරතාවය අපට වඩා විශේෂ වන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් මෙවර එය දිනාගත්තේ නොකඩවා හයවැනි වරට වීම නිසාය. ඉතින් ධරණීකවරය දරා සිටින්නට මේ මොහොතේ ඔවුන් තරම් වෙනත් සුදුස්සන් සිටිය හැකිද? ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් සෙමිණි අල්විස්ගේ හැඩකාර රුවෙන් එනිසයි මෙවර ධරණී කවරය හැඩ කරන්නට අපි සිතුවේ.

මේ ජයග්‍රහණය ලංකාවට ගේන්න අපි ගොඩාක් කැපකිරීම් කළා. අපිම විතරයි ඇත්තටම ඒවා ගැන දන්නේ. ඒ නිසා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් විදියට මේ ලබපු ජයග්‍රහණය ගැන මට ආඩම්බරයි.”

ජයග්‍රහණයේ සතුට තවමත් නැවුම්ව පවතින මොහොතක සෙමිණි කතාබහට මුලපිරුවේ එහෙමය. සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවති මෙවර තරඟාවලියට ආසියානු කලාපයෙන් රටවල් 11ක් පමණ සහභාගී වී තිබුණි. ඒ අතරින් අවසන් මහා තරඟයට පැමිණීමේ භාග්‍යය උදාවී තිබුණේ ශ්‍රී ලංකා සහ සිංගප්පූරු කණ්ඩායම් දෙකටයි. ඒ වනවිටත් අපරාජිත කණ්ඩායමක් ලෙසයි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වටයට පිවිස සිටියේ. අවසානයේ ලකුණු 63-53ක් ලෙස සත්කාරක සිංගප්පූරු කණ්ඩායම පරදවා නැවතත් ආසියානු කුසලානය දිනාගන්නට අපේ කණ්ඩායම සමත් විය.

සිංගප්පූරු කණ්ඩායම ඇත්තටම ප්‍රබලයි. ඔවුන්ට සත්කාරකත්වයේ වාසියත් උපරිම තිබුණා. ඒත් අපි පළවෙනි වටයේ ඔවුන්ව පරාජය කරලයි තිබුණේ. ඒක අපිට අන්තිම තරඟයට එනකොට ලොකු මානසික සහනයක් වුණා. ඒත් අන්තිම තරඟයට ඔවුන් ආවේ හොඳට සූදානම් වෙලා. හැබැයි අපිත් හිටියේ මොන විදියකින් හරි මේ කුසලානය දිනන්න ඕන කියන තැන. එහෙම හිතපු හින්දාම වෙන්නැති අන්තිමේදී අපිට ආසියානු දැල්පන්දු ශූරියන් වෙන්න පුළුවන් වුණා.”

ආසියානු දැල්පන්දු කුසලාන තරඟාවලියක් මුලින්ම පැවැත්වුණේ 1985 වසරේය. ආරම්භක වසරේදී අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එයින් දෙවසරක් ඉක්ම ගිය තැන ආසියානු ශූරයන් වුණේය. ඒ ඒ අනුව 1987/1997/2001/2009 සහ 2018 යන වසරවලදී ආසියානු දැල්පන්දු ශූරයන් වූ ශ්‍රී ලංකාව 1985/2012/2014 සහ 2016 දී අනුශූරයන් බවට පත්විය.

ඇත්තටම මේ ජයග්‍රහණය පිටිපස්සේ දුෂ්කරතා, අභියෝග ගොඩක් තිබුණා. රටේ විදුලිය නැති ප්‍රශ්නය පවා අපිට බලපෑවා. ඒ වෙලාවල් මගඇරලයි අපි පුහුණුවීම් කළේ. ඒත් කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ හැමතැනදිම එකා වගේ එකමුතුව හිටියා. මේ වෙලාවේ දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයාංජලි අමරවංශ, උපනායිකා දුලංගි වන්නිතිලක වගේම තර්ජනී ශිවලිංගම් ඇතුළු කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවනුත් අපිත් එක්ක හිටපු නිලධාරීන් හැමෝමත් මතක් කරන්න ඕන. ඒ වගේම අපේ ජයග්‍රහණය වෙනුවෙන් බලාගෙන හිටපු සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා.”

වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියානු දැල්පන්දු කුසලාන තරඟාවලි 12ක් මේ වනවිට පවත්වා තිබේ. අවසන් වරට තරඟාවලියක් පැවැත්වුණේ 2018 ය. එවරද ශූරතාවය දිනුවේ ශ්‍රී ලංකාවයි. නමුත් 2020 පවත්වන්නට ගිය තරඟාවලියට අවාසනාවට මෙන් කොවිඩ් හරස් වූ නිසා එවර තරඟය පැවැත්වුණේ නැත.

මට කණ්ඩායමේ පැවරිලා තියෙන වගකීම වෙන්නේ ගෝල් ඇටෑක්’ (GA) සහ වින් ඇටෑක්’ (WA). ඒක ලොකු අභියෝගයක්. ලේසි නෑ. නමුත් හැකි උපරිමයෙන් ක්‍රීඩා කරනවා.” 

ඇත්තය. තරඟය කොතරම් තීව්‍ර වුවද කිසිඳු මොහොතක ඇය ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ මුහුණුවල අංශුමාත්‍ර හෝ පසුබෑමක් අපි දුටුවේ නැත. පටන්ගත් වීරියෙන් යුතුව ඔවුන් අවසානය දක්වාම ක්‍රීඩා කළේ රූපවාහිනී තිර ඉදිරිපිට සිට තරඟය නැරඹූ සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ නෙත්වලට කඳුළු එක් කරමිනි.

මගේ අම්මා දිප්ති අල්විස්. එයා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක් වගේම හිටපු නායිකාවක්. ඊටපස්සේ ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය වුණා. ඉතින් අම්මා නිසයි මටත් දැල්පන්දු ක්‍රීඩාවට එන්න හිතුණේ. මං කොළඹ විශාඛාවට ඉස්කෝලේ ගියේ. ඇත්තටම කිව්වොත් ඉස්කෝලේ තුන වසරේ ඉඳන් මං දැල්පන්දු ගහනවා.”

ඒ නිසාම ඇයට 2004 වසරේදී ජාතික දැල්පන්දු කනිෂ්ඨ කණ්ඩායමේ දොරටු විවර විය. ඉන්පසු 2011 වසරේ ජාතික දැල්පන්දු කණ්ඩායමට ලැබුණු කැඳවීමත් සමඟ ඇගේ ලොකුම බලාපොරොත්තුවද මල්පල ගැන්විණි. 2015 දැල්පන්දු ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කළේද සෙමිණි ය.

මේ වෙනකල් ක්‍රිකට් ගැන විතරයි ගොඩක් දෙනෙකුගේ අවධානය යොමුවෙලා තිබුණේ. මට හිතෙන්නේ දැන් දැල්පන්දු ක්‍රීඩාවත් ඒ තැනට ඇවිත්. මේ ජයග්‍රහණයෙන් පස්සේ අපිට ලැබුණු පිළිගැනීමත් එක්ක ඒක හොඳින්ම දැනුණා. මාධ්‍යවලින් පවා වෙනදට වඩා ඇගයීමක් ලැබුණා.”

ජාතික දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩාකරන අතරතුරම ඇය වරාය අධිකාරියේ රැකියාවකද නියැලෙන්නීය. දැල්පන්දු ක්‍රීඩාවේ නිරතවීමට එයින් ලැබෙන නොමඳ සහයෝගයද අගය කළ සෙමිණි ඉදිරියේ ඇයට ඇති ලොකුම බලාපොරොත්තුව ගැනද පැවසුවාය.

ලබන අවුරුද්දේ 2023 දැල්පන්දු ලෝක කුසලානයතියෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වල. මේ ජයග්‍රහණය එක්ක අපිත් ඒකට සුදුසුකම් ලැබුවා. ආසියා කුසලානය ගත්තු විදියටම ලෝක කුසලානයත් ශ්‍රී ලංකාවට අරන් එන එක තමයි ලොකුම බලාපොරොත්තුව වෙන්නේ. ඒකත් කොහොමහරි කරනවා.”

හැඩ ඇති යුවතියන් තද අවුවට අකමැතිය. නමුත් හැඩකාර යුවතියක් වූ සෙමිණිට ඇගේ ක්‍රීඩාවේ ස්වභාවයත් සමඟ අවුව ප්‍රතික්ෂේප කරන්නට බැරි වෙන අවස්ථා එමටය. ඒ අභියෝගය භාරගන්නේ කෙසේදැයි ඇසූවිට ඇගෙන් ලැබු‍ණේ මෙවැනි පිළිතුරකි.

ලොකුවට රූපය ගැන හිතන්නේ නෑ. එහෙම හිතලා මේ වගේ ක්‍රීඩාවක් කරන්නත් බෑ. හැබැයි ඉතින් සන් ක්‍රීම් ගානවා. මොකද ඉතින් රූපය ගැන ලොකුවට නොහිතුවට ලැබුණු පෙනුම රැකගන්න එපැයි. මමත් ආසයි අවුවට පිච්චෙන්නේ නැතිව ලස්සනට ඉන්න. ඒත් ක්‍රීඩාවත් එක්ක ඒක කරන්න අමාරුයි.”

දරුවන්ගේ ජයග්‍රහණ ගැන වැඩිපුරම සතුටු අම්මලාටය. සෙමිණිගේ ආදරණීය මව දීප්ති අල්විස් මහත්මිය ඇගේ ඒ සතුට වචනවලට පෙරලුවේ මෙහෙමය.

දුව ගොඩාක් දක්ෂයි. පුංචි කාලේ ඉඳන්මයි එයා දැල්පන්දු ගහන්න පටන්ගත්තේ. මමත් හිටපු ක්‍රීඩිකාවක් නිසා එයාගේ ගමනට හයියක් වෙන්න ලැබුණා. මං ජාතික කණ්ඩායමේ ඉන්නකොට එයා ඉපදිලත් නෑ. එයා ජාතික කණ්ඩායමට එන්න ගොඩාක් කැපකිරීම් කළා. අන්තිමේ ඉතින් දුව ඇතුළු කණ්ඩායම ආසියාවේ දැල්පන්දු ශූරියන් වුණා. ඒ ගැන අම්මා කෙනෙක් විදියට ගොඩාක් ආඩම්බර වෙනවා.”

ලැබූ ජයග්‍රහණයට මෙන්ම එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත ලෝක දැල්පන්දු කුසලාන තරඟාවලිය වෙනුවෙන්ද සුබපැතුම් එක් කරමින් අපි සෙමිණිට සමු දුන්නෙමු.

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප (සේමිණි) – ක්‍රිෂාන් කාරියවසම්