විශේෂාංග

පුද්ගලිකයි රහසිගතයි කිව්වේ ඉස්සර දැන් විසඳුම් තියෙනවා!

ස්ත්‍රී පුරුෂභාවය වුව වෙනස් කරන්නට හැකි සැත්කම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළ තිබේ. ඇතැම් පිරිස් තම ලිංගික ගැටළු පිළිබඳව රහසේම දුක් වුවත්, අද වනවිට එම තත්ත්වය වෙනස්ව ඇත. ඒ එම රහස් ගැටළු බොහොමයකට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළ විසඳුම් ඇති හෙයිනි. එහිදී ලිංගික අවයව ප්‍රමාණාත්මක වෙනස්කම්වලට බඳුන් කළ හැකි අතර, විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කවින්ද රාජපක්ෂ මහතා මෙවර කතාබහ කරන්නේ ඒ සම්බන්ධ ගැටළුවලට ඇති පිළියම් පිළිබඳවය.

ඉහත කාරණය හා ගනිද්දී මොනවගේ පුද්ගලයින්ද ඔබේ සායනයට එන්නේ? ඔවුන්ගේ ඉල්ලීම් මොන වගේද?

අද වෙනකොට තමන්ගේ ලිංගික ගැටළු පිළිබඳව බොහෝදෙනෙක් කතා කරනවා වගේම ඊට අවශ්‍ය විසඳුම් සොයා යනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළ ගැහැනියක් පිරිමියෙක් බවට පත්කරන අයුරුත්, පිරිමියෙක් ගැහැනියක් බවට පත්කරන අයුරුත් අපි ඉකුත් කලාපවල කතාබහ කළා. ඒ වගේම තරුණ පිරිමි ළමයින් අතර මානසිකව හදාගත් ප්‍රශ්න තිබෙනවා. විවාහයට පෙර තමයි මෙම ප්‍රශ්න ඔවුන් තුළ ඇතිවෙන්නේ. තමන්ගේ ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය තව කෙනෙකු හා සසඳමින් දුක්වන අවස්ථා තියෙනවා. තම ලිංගේන්ද්‍රිය කෙටියි කියන කාරණය ඔවුන්ට දිවි එපා කරවන තරම් බරපතළයි. ඒත් පරීක්ෂා කිරීමේදී එවැනි ගැටළුවක් පෙනෙන්නට නැහැ. එවැනි පිරිස් මානසික උපදේශනයට යොමු කරනවා.

තවත් විවාහක පිරිසක් ඉන්නවා ලිංගේන්ද්‍රියේ දිග ප්‍රමාණය ගැන සැබෑවටම ගැටළු තිබෙන. එවන් යුවළක් පසුගිය දිනක අපගේ සායනයකට පැමිණියා. ඔවුන් කිව්වේ ලිංගික කාර්යයේදී ශිෂ්ණය ප්‍රමාණවත් නොවන නිසා එය දිගින් වැඩිකර ගත යුතු බවයි. ඒ වගේම ශිෂ්ණයේ පෙරසම පිටුපසට නොයන පිරිසක් ඉන්නවා. ඔවුන් තරුණ වියේ සිටම මේ ගැටළුවට මුහුණ දෙනවා විය හැකියි. විවාහ වී ලිංගික කාර්යයේ නියැලුණත් පෙරසම පිටුපසට නොයෑම නිසා ඔවුන්ට එම ක්‍රියාවලිය වේදනාකාරී අත්දැකීමක් වෙනවා. තවත් කොටසකගේ පෙරසම ඇලුණු ස්වභාවයකින් යුතුයි. කුඩා පිරිමි ළමුන්ට මුත්‍රා කිරීමේදී පෙරසමේ සිදුර කුඩා නිසා ගැටළු ඇතිවූ අවස්ථා තිබෙනවා. (ශිෂ්ණයේ උඩකොටස පෙරසමෙන් වැසී තිබේ.) තවත් පිරිසකගේ ශිෂ්ණයයි, වෘෂණ කෝෂයි අතර සම ඇලුණු ස්වභාවයෙන් යුතුයි. බාහිර පුරුෂ ලිංගයේ වෙනසක් එවිට දිස්වෙනවා. තවත් පිරිසකගේ වෘෂණ කෝෂ උපතින් පහලට එන්නේ නෑ. එවිට සැත්කම් මගින් එය යථා තත්ත්වයට ගෙන ආ යුතුයි.

ඒ සඳහා සැත්කමක් කරද්දී සැලකිලිමත් වන කාරණා මොනවද?

ඇත්තටම එය විශේෂ අවධානය යොමු කළ යුතු කාරණයක්. බොහෝ දරුවන්ගේ වෘෂණ කෝෂ උපතින් පිටතට නෙරා පිහිටනවා. එසේ වන්නේ ස්වභාවයෙන් ශුක්‍රාණු නිෂ්පාදනයට අවශ්‍ය සිසිල්මය පරිසරය ඊට වැදගත් වන නිසයි. ඒත් වෘෂණ කෝෂ පිටතට නෙරා නැත්නම් එය සැත්කමක් මගින් පිටතට ගැනීම අදාළ කාලවකවානුවක් තුළ කළ යුතුයි. නොඑසේ නම් ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය නිසා අනාගතයේ එම පුද්ගලයා වඳභාවයෙන් යුතු අයෙක් වීමටද හැකියි. මෙහිදී දරුවා ගැන කුඩා කාලයේම දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුයි. යම් කාලයකදී වෘෂණ පිටතට නොපැමිණෙන්නේ නම් සැත්කමක් මගින් එය යථා තත්ත්වයට ගෙන ආ යුතුයි. තවත් විටෙක වෘෂණ කෝෂ ආශ්‍රිතව තිබෙන නහර ගැටගැසී වේදනාකාරී වනවා. එවිටත් දරු පිළිසිඳගැනීම්වලදී ශුක්‍රාණුවල සාඵල්‍යතාව පිළිබඳ ගැටළු මතුවෙනවා. කුඩා කාලයේ දරුවෝ සිරුරේ එම ප්‍රදේශය ආශ්‍රිත අනතුරුවලට, තැලීම්වලට මුහුණ දෙනවා. එවිටත් ශුක්‍රාණු නිෂ්පාදනයේ ගැටළු ඇතිවිය හැකියි. ඒ නිසායි මෙවැනි අවස්ථා හඳුනාගත් වහාම පිළියම් යෙදීම අවශ්‍යයි.

මෙහිදී කාන්තාවන්ට පොදු වූ ගැටළුකාරී අවස්ථා මොනවද?

විවාහක කාන්තාවන් යෝනි මාර්ගය ලිහිල්වීම නිසා, එම විස්තාරණය අඩුකර ගැනීමට උපදෙස් පතනවා. එය දරුවන් කිහිපදෙනෙක් ලද ඇතැම් කාන්තාවන් මුහුණදෙන ගැටළුවක්. එහිදී යෝනි මාර්ගයේ අභ්‍යන්තර සැත්කමක් මගින් ලිහිල් බව අඩු කළ හැකියි. ඒ වගේම සමහර තරුණියන්ගේ කන්‍යා පටලය ඝනකම් ඇදෙනසුළු බවින් යුතුයි. එවිට ලිංගික එක්වීමකදී එය බිඳීයාමක් නොවී ඇදීමකට ලක් වෙනවා. එවිට වේදනාවක් හටගන්නවා. ශල්‍යකර්මයක් මගින් එයත් යථා තත්ත්වයට පත්කළ හැකියි. තවත් පිරිසක් යෝනි ගෙල විශාල කරගැනීමේ සැත්කමට යොමු වෙනවා. ඇතැම් අය යෝනි විවරය කුඩා කර ගන්නවා. පිරිමි පාර්ශවයේ ගැටළු අතර ශිෂ්ණය දිග මදි, මහත මදි කියන කාරණාවට තමයි වැඩි පිරිසක් සායනයට එන්නේ. ඊට ශරීරයේ වෙනස්කම් බලපාන්නත් පුළුවන්.

මොන වගේ ශරීර වෙනස්කම්ද ඔබ කියන්නේ?

සමහර තරබාරු පිරිමි පුද්ගලයින්ගේ බඩ ආශ්‍රිතව වගේම යටි කයට ආසන්න ප්‍රදේශය තෙල් මන්දෙන් පිරීයාම නිසා ශිෂ්ණය නොපෙනන තරමට යටට ගිලී ගිය ආකාරයක් තිබෙනවා. මෙතැනදී ලයිපෝසක්ෂන් මගින් තෙල් ඉවත් කර ඊට පිළියම් යෙදිය හැකියි. කාන්තාවන්ටත් මෙම ගැටලුවම තිබෙනවා. කාන්තාවන්ගේත් ලිංගික අවයවයට ඉහළ පෙදෙස පිටතට නෙරා ඒම බොහෝ අයට ගැටළුවක්. ඔවුන්ටද ලයිපෝසක්ෂන් මගින් මේදය ඉවත්කරගැනීම වැදගත් වෙනවා.

මෙහිදී සැබෑවටම ගැටළුවක් ඇත්නම් ඔහුව සැත්කමකට යොමු කරන්නේ කොහොමද?

ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව කරන සැත්කමකදී එය සිදු කරන්නේ සිහි නැති කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරවයි. ඊට පෙර රෝගියාගේ අවශ්‍යතාවය අනුව ඔහුව ඒ ගැන දැනවත් කරනවා. විශේෂයෙන් යෝනි මාර්ගයේ ලිහිල්භාවය අඩු කිරීම හෝ ශිෂ්ණය දිගුකිරීමේ සැත්කමකින් පසු සති තුනක කාලයක් පමණ යනවා නැවත යථා තත්ත්වයට පත්වෙන්න. පටක ආශ්‍රිත සැත්කම්වලට එම කාලය ප්‍රමාණවත් වුවත්, ඊට වඩා කාලයක් ගතවන අවස්ථාත් තිබෙනවා. එවිට සති තුනක් හා හයක් අතර කාලයක් ලිංගික කාර්යයන්වලින් ඈත්ව වෛද්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතුයි.

අනතුරකදී ශිෂ්ණයේ කොටසක් හෝ ඊට සම්පූර්ණයෙන් හානිවන අවස්ථාවකදීත් එය බද්ධ කිරීමේ හැකියාවක් පවතිනවා නේද?

ඔව්. එය නිවැරදිව අයිස්වල බහා රෝහලට ගෙන ආ යුතුයි. අධික රුධිර වහනය වීම නතර කරගත යුතුයි. ස්වභාවිකව එහිදී ලේ නහර සංකෝචනයවීමක් වෙනවා. ඒත් ඉතා ඉක්මනින් එම සැත්කම සඳහා සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත රෝගියා යොමු කිරීම අවශ්‍යයි. වෙන්වූ වෘෂණ කෝෂ වුවත් එහිදී නැවත සාර්ථකව බද්ධ කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී ශරීරාංගවලට හානි වෙලා නම් ඒවා ඉවත්කිරීම කරන්නේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් ශල්‍ය වෛද්‍යවරුන් විසිනුයි. අපි මෙහිදී කරන්නේ එම අංගය නැවත අවශ්‍ය ලෙස ප්‍රතිසංස්කරණය කිරීමයි. අද වනවිට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුළ ඒ සඳහා අතිනවීන පහසුකම් පවතිනවා.

දීපා වසන්ති එදිරිසිංහ