නවතම ප්‍රවෘත්ති

මට ඕන මගේ රටට සේවය කරන්න

රූපය ගැහැනියකට ආභරණයකි. එහෙත් රුව තිබූ පමණින් රැජිනක් වීමට කාටවත් බැරිය. ඒ සඳහා රුව ගුණ දෙකම අඩු නැතිව තිබිය යුතුය.

මෙවර ලක් රූ රැජින වීමේ භාග්‍ය හිමිකරගත් ඇය මලක් වැනි රුවක් මෙන්ම ආදරණීය හදවතක්ද හිමි යුවතියකි.

‘‘මම පොඩි කාලේ ඉඳලම සත්තුන්ට ආදරෙයි. ඒ නිසා අවුරුදු පහළොවේ ඉඳලා එම්බාර්ක් එකත් එක්ක එකතුවෙලා අයාලේ යන අසරණ සතුන්ට සත්කාර කරනවා. ඒ වගේම ‘පර්ල් ප්‍රොටෙක්ටර්ස්’ කියන සංවිධානය එක්ක එකතුවෙලා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලටත් සහභාගි වෙනවා.’’

අද ‘ධරණී’ කවරය සරසන සොඳුරු ලක් රැජිනිය ශාඩේ ග්‍රීන්වුඩ් අපේ කතාවට එකතු වුණේ දෙසැම්බර් මස පොටෝ රිකෝ හි පැවැත්වෙන ලෝක රූ රැජින තරඟයට ලහි ලහියේ සූදානම් වන අතරතුරය.

ශාඩේට ඇත්තේ ද්විත්ව සම්භවයකි. ඒ ඇගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වීමත් පියා බ්‍රිතාන්‍ය-ජර්මානු ජාතිකයෙක් වීමත් නිසාය.

නමුත් ශාඩේ කුඩාකල සිට හැදී වැඩෙන්නේ කොළඹ ය.

කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබා ඇති ඇය මේ වනවිට ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උපාධියක් හදාරමින් සිටියි.

‘‘විවිධ භාෂා ඒ වගේම වෙනත් රටවල සංස්කෘතීන් ගැන හදාරන්න මම කැමතියි. ඒ නිසා තමයි ජපන් සරසවියකට අයැදුම් කළේ.’’

ශාඩේ ග්‍රීන්වුඩ් යන නම එතරම් හුරුපුරුදු නැතත් නිරූපණ ශිල්පිනියක මෙන්ම යූටියුබ් ඉදිරිපත් කරන්නියක ලෙසත් ඇගේ රුව බොහෝදෙනාට හුරුපුරුදුය.

‘‘නිරූපණ ක්ෂේත්‍රයට එනකොට මට අවුරුදු දහහතරයි. ඒක හරි අහම්බෙන් සිද්ධවුණු දෙයක්. දවසක් උත්සවයකදි මට ‘The Model Atelier’ හි නිර්මාතෘ ‘ජැකී මේ’ හමුවුණා. මාව දැකපු ගමන් ඇය ඇහුවේ ‘ඔයා නිරූපණ ශිල්පිනියක් වෙන්න කැමතිද?’ කියන එකයි. අලුත් දේවල් ඉගෙනගන්න මමත් හරි කැමතියි. ඒ නිසා හරි ආසාවෙන් ඒ වැඩේට සම්බන්ධ වුණා. ක්ෂේත්‍රයට අලුත් නිසා මුල් මාස කීපයේදී ගොඩක් වැඩ කරන්න ලැබුණේ නැහැ. ඒත් වසරකට විතර පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඟළුම් ව්‍යාපාරයක් මට එයාලගේ නිරූපණ ශිල්පිනිය විදියට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. දැන් අවුරුදු හතරක වගේ කාලයක් ඔවුන් එක්ක වැඩ කරනවා. ඒක මට හොඳ අත්දැකීමක්.’’

වරක් බැලූ විට තවත් කීපවරක් හැරී බලන්නට හිතෙන තරම්ම මේ යුවතිය සුන්දරය. ඒ සුන්දරත්වය තුළින් ජාත්‍යන්තරය නියෝජනය කරන්නට මග පෑදූ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරඟය ගැන ඇය මතකය අවදි කළේ මෙසේය.

‘‘අවුරුද්දකටත් කලින් තමයි මම තරඟයට අයැදුම් කළේ. ඉතින් නොහිතුව විදියට මේ අවුරුද්දේ මටත් තරඟයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තරඟය පැවතුණු නිසා අනිත් තරඟකරුවන් හමුවෙන්න ලැබුණෙත් නැහැ. හැබැයි අවසන් තරඟයේ ප්‍රතිඵල දැනගත්ත වෙලාවේ දැනුණ සතුට කියාගන්න මට වචන නැහැ.’’

ඉදිරියේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරඟාවලියට ඇගේ සූදානම ගැනද අපි ඇගෙන් විමසීමු.

‘‘ඒක ලෝකයේම අවධානම දිනාගත්ත ජාත්‍යන්තර තරඟයක්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල නොකඩවාම පුහුණුවීම් කරනවා. සංගීතා වීරරත්න, චන්න විජේවර්ධන, සේනක ද සිල්වා, කුමා ද සිල්වා ඒ වගේම අතුල, ශෙරින්, අසේකා වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගෙන් මට විවිධ අංශ ගැන ගුරුහරුකම් ලැබෙනවා. ඒ අයගෙන් ලැබෙන නොමඳ සහාය ඇත්තටම මට ලොකු ශක්තියක්.’’

තමා සහභාගී වූ වෙරළාශ්‍රිත පරිසර සුරැකීමේ වැඩසටහන්වල අත්දැකීම් ලෝක රූ රැජින කරළියෙහි බෙදාහදාගැනීමට ශාඩේ බලාපොරොත්තුවෙන් සිටියි.

‘‘මේ හැමදෙයකින්ම ලබාගන්න අත්දැකීම් එක්ක රටට සේවයක් කරන්න මම කැමතියි. මගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ ‘UNICEFF’ වගේ ජාත්‍යන්තර සංවිධාන එක්ක එකතු වෙලා ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් කැපවෙන්න මගේ අදහසක් තියෙනවා.’’

ලෝක රූ රැජිනක් ලෙස කිරුළු දරා ලක්මවට සේවය කිරීම ඇගේ ඉදිරි අරමුණය. ඒ අරමුණ කරා යන්නට ඈට සියලු ශක්තිය ලැබේවා යන්න අපේත් පැතුමයි.

හර්ෂිණී රත්නායක