නවතම ප්‍රවෘත්ති

මම පෙරළිලා වැටෙද්දී එතැන හිටපු අය බෝම්බ ගහනවා කියලා හිතලා පැනලා දිව්වා

ෂැරොන් මස්ක්‍රින්යස්

රූපවාහිනි නිවේදිකා (ඉංග්‍රීසි)

Events Presenter

—————

නොයෙලින් හොන්ටර් 70, 80 දශකවල ලංකාවේ එළිමහන් ප්‍රසංග ඉංග්‍රීසියෙන් හොල්ලපු නිවේදිකාවක්. ප්‍රසංග මෙහෙයවන්නියකට අමතරව ඇය පුවත් නිවේදිකාවක්. අදටත් ලංකාවේ ප්‍රවීණතම ඉංග්‍රීසි නිවේදිකාව විදියට හඳුන්වන්නේ ඇයව.

නොයෙලින් බොහොම චතුරව හිත් ඇදගන්නා තාලෙට ඉංග්‍රීසි භාෂාව හසුරවන නිසා හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් දැක්කම “එයා නොයෙලින් වගේ කිසි බිසි ගාලා කඩුවෙන් කොටනවා” කියලලු ඒ කාලේ අය කතාවට කියන්නේ.

ඇගෙන් පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් නිවේදනය කරන නිවේදිකාවන් ඕනතරම් බිහිවුණත් හදවතට දැනෙන්න කතා කරපු, මතකයේ රැඳුණු පිරිස බොහොම සීමිතයි. ඒ සීමිත පිරිසෙනුත් ඉහළින්ම ඉන්න කෙනෙක් එක්ක තමයි අපි අද කතා කරන්නේ.

“ඔයා තමයි නොයෙලින් හොන්ටර්ට පස්සේ මතක හිටිය ඉංග්‍රීසි නිවේදිකාව කියලා ගොඩක් අය මට කියනවා.”

ඇත්ත. ඉංග්‍රීසි පුවත් නොබලන කෙනෙක් වුණත් නමින් නැතත් රූපෙන් හරි ඇයව අඳුරනවා. මොකද පුවත් නිවේදනයට අමතරව සම්මාන උළෙල, ජාත්‍යන්තර උත්සව, පෞද්ගලික උත්සව, ඩිනර් ඩාන්ස් මේ ගොඩක් තැන්වලදි උත්සව සභාව මෙහෙයවන්නිය විදියට දකින්න ලැබෙන්නේ ඇයව. ඇය ෂැරොන් මස්ක්‍රින්යස්. ඒ වගේම ඇය ලංකාවේ සුප්‍රකට අධ්‍යාපන ආයතනයක අලෙවි කළමනාකාරිනිය විදියටත් වැඩ කරනවා. අද ‘ධරණී’ කවරය හැඩ කරන්නේත් මේ සුන්දර කාන්තාවයි.

“මම ඉපදුණේ කොළඹ. මගේ තාත්තා දෙමළ. අම්මා බර්ගර්. මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමෙන්. ඒක සිංහල ඉස්කෝලයක්. ඉතින් පොඩි කාළේ ඉඳලා මට ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම පුළුවන්.”

 

*නිවේදිකාවක් වෙන හීනේ පොඩි කාලේ ඉඳලා තිබුණු එකක්ද?

“නෑ… ඒක අහම්බයක්. ඉස්කෝලේ කාලේදි පොතපතේ වැඩවලට වඩා ක්‍රීඩාවලට තමයි මම ගොඩක් උනන්දු. ඔන්න දවසක් මම ක්‍රීඩා තරඟෙකට යන්න ප්‍රින්සිපල්ගේ අත්සන ගන්න ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ගියා. එතකොට මට 16යි. ඒ වෙලාවෙ එතැන පොඩි කලබලයක් වගේ තිබුණා. ළමා දිනය වෙනුවෙන් නිව්ස් කියන්න අපේ ඉස්කෝලේ මාධ්‍ය අංශයෙන් ළමයි පස්දෙනෙක් තෝරගෙනලු. එදා ඒ එක ළමයෙක් අසනීප වෙලාලු. ඊටපස්සේ මාව දැකපු හැටියේ ප්‍රින්සිපල් මට ඒ වැඩේට යන්න කිව්වා. මම නිව්ස් කියලත් නෑ. මීඩියා යුනිට් එකෙත් නැහැ. ඉතින් මම එවෙලේ ඒකට යන්න අකමැති වුණා. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නිසා මට ඒකට යන්න කියලා ප්‍රින්සිපල් ආයෙත් කිව්වා. ඔන්න ඒ පාර මමත් පණ්ඩිතයා වගේ වැඩේ බාරගත්තා.

පස්සේ ඔන්න රූපවාහිනියට ගියා. අනෝමා අත්තනදෙනිය මිස් තමයි ළමා පුවත් අංශයේ හිටියේ. නිව්ස් එකක් හදලා ඒක කියවන්න කියලා මට අනෝමා මිස් කිව්වා. මම කලින් ඉගෙනගෙන නැති නිසා කිසි දෙයක් දන්නේ නැහැ. පස්සේ මිස් මට ඒ වැඩේ කියලා දුන්නා. කොහොමහරි ඉතින් එදා යාන්තම් නිව්ස් කියන වැඩේ හරියට කළා.

ගෙදර ආවට පස්සේ මට හරි ආසයි. ටීවි එකේ මූණත් පේනවනේ. පස්සේ මට රූපවාහිනියෙන් ළමා පුවත් කියන්න අවස්ථාවක් ලැබුණා. මාස හයක් විතර යද්දි ළමා පුවත්වලින් ප්‍රධාන පුවත් එකට යන්නත් අවස්ථාවක් ලැබුණා. ළමා පුවත් ඇර රූපවාහිනි විකාශවලට පෙනී සිටින්න පාසලෙන් බාධාවක් තිබුණු නිසා ඒ අදහස අතඇරියා.”

එදා ෂැරොන් ඒ අදහස අතඇරියට දෛවය ආයේ ආයෙත් ඇයව ඒ තැනටම එක්කරගෙන ගිහින්.

“උසස් පෙළින් පස්සේ ජොබ් එකක් හොයන්න පටන්ගත්තා. මාකර්ටින් ගැනත් මට පොඩි කැමැත්තක් තිබුණා. හැබැයි යන්න ඕන මොන පාරෙද කියලා ලොකු අදහසක් තිබුණේ නැහැ. 2006 නොවැම්බර් 16 මම පෞද්ගලික ආයතනයක සේවයට බැඳුණා. එදාම හවස ජාතික රූපවාහිනියෙන් නිව්ස් කියන්න එන්න කියලා මට කෝල් එකක් ආවා. මට ඉතින් හරි සතුටුයි. නිව්ස් කියන්න යන්න මගේ ළඟ ඇඳුම් තිබ්බෙත් නෑ. පාර්ටි එකකට ගෙනාපු ඇඳුමක් ඇඳන් කොහොමහරි එදා එන්න කිව්ව වෙලාවටම ගියා.”

එදා ඇය පටන්ගත්තු ඒ ගමනට අද අවුරුදු 16ක් සපිරිලාලු.

“ඔන්න ඉතින් බ්ලේසර් එකත් දාගෙන මම වැඩ්ඩා වගේ  නිව්ස් කියන්න යන්න ලෑස්ති වෙලා හිටියා. ටීවි එකේ නිව්ස් කියන්න දාන්නේ මාස දෙකක පුහුණුවකින් පස්සේ කියලා එතකොට නිව්ස් එකේ අය කිව්වා. එදා ඉතින් හරි දුකයි. හැබැයි ඒ දීපු පුහුණුව මගේ වෘත්තීය ජීවිතේට  කොච්චර වටිනවද කියලා අද මට තේරෙනවා.

පුහුණුවෙන් පස්සේ මම නිව්ස් කියන්න පටන්ගත්තා. පළවැනියටම ප්‍රවෘත්ති කිව්ව දවසේ ලොකු බයක් දැනුණා. අම්මයි, තාත්තයි බලාගෙන ඇති කියලා ආඩම්බරකමකුත් දැනුණා.”

බැලූ බැල්මට සුළු කර්තව්‍යයක් වගේ පෙනුණට පුවත් නිවේදනය වගකීමක් ඇති බරසාර වැඩක්. ඒ ගැන ඇය අපිත් එක්ක කිව්වේ මෙහෙම.

“භාෂා තුනම පුළුවන් වුණාට මම හැදුණේ ඉංග්‍රීසි කතා කරන පරිසරයකනේ. ඉතින් වෙලාවකට ඉංග්‍රීසියෙන් ලියලා තියෙන සිංහල වචන කියවන්න අමාරුයි. හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ගැන නිව්ස් එකක් තිබ්බා. ඕක ඉංග්‍රීසියෙන් තිබ්බේ ‘අතඋඩ සෙනෙවිරත්න’ කියලා. මමත් ඒක එහෙම්මම කියෙව්වා. නිව්ස් එකෙන් පස්සේ මට බැනලා පෝලිමට කෝල් ආවා. පස්සේ ඇතුළෙනුත් මට ටිකක් බැන්නා. ඉතින් එදා ඉඳලා මම නිව්ස් එකට කලින් හැම නමක් ගමක්ම හරියට හොයලා බලලා ලෑස්තිවෙලා තමයි වැඩේට බහින්නේ. ඇත්තටම ඒක ලොකු වගකීමක්.”

පුවත් කියනවට අමතරව ෂැරෝන් ජාතික රූපවාහිනියේ  රාත්‍රී සංගීත වැඩසටහනක් මෙහෙයුවා. ගොඩක්දෙනා ඇයව හඳුනාගත්තේ ඒ වැඩසටහනෙන්ලු.

“සමහර අය ප්‍රසන්ට් කරන්නේ ලියාගත්තුවා බලාගෙන නැත්තම් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන. හැබැයි මම ගොඩක් නිදහසේ එවෙලේට හිතට දැනෙන දේවල් කියන කෙනෙක්. මට ඒ පුහුණුව ලැබුණේ රූපවාහිනියෙන්. ගොඩක් අය මගේ වැඩවලට කැමති ඒ නිදහස් ගතිය නිසා වෙන්න ඇති.”

ෂැරෝන්ගේ පුවත් නිවේදිකා භූමිකාව ගැන කතා කළාට පස්සේ උත්සව සභාවල් මෙහෙයවීම් ගැනත් අපි කතා කළා.

“මම ලංකාවේ ප්‍රසිද්ධ වාණිජ ආයතන රාශියක සම්මාන උළෙල මෙහෙයවලා තියෙනවා. ඒ වගේ ඉවෙන්ට් එකකදි මුල පේලියේ ඉන්න කෙනාගේ ඉඳලා අන්තිම පේලියේ ඉන්න කෙනා දක්වා කම්මැලි නොවී වැඩසටහනට ඇදලා තියාගන්න එක තමයි මගේ එකම ටාගට් එක.

ඒ වගේම මම ගොඩක් ඩිනර් ඩාන්ස් ඉවෙන්ට් කරනවා. ඩුබායි, අබුඩාබි වගේ රටවල කරන ජාත්‍යන්තර ඩිනර් ඩාන්ස් ඉවෙන්ට් එහෙමත් කරනවා. ලංකාවේ ඩිනර් ඩාන්ස් ප්‍රසන්ට් කරන කාන්තාවන් අඩුයි. ඩිනර් ඩාන්ස් එකක් කරද්දි ඒක ඒ අමුත්තන්ට හොඳට සතුටු වෙන්න පුළුවන් අමතක නොවන දවසක් කරන එකයි මගේ බලාපොරොත්තුව.”

ඩිනර් ඩාන්ස් එකක් කියන්නේ ටිකක් රෑ බෝවෙනකල් පැවැත්වෙන සාදයක්. මෙව්වා ඉතින් කන බොන තැන් නිසා කාන්තාවකට මේ වගේ තැනකදි එන්න පුළුවන් අභියෝග වැඩියි.

“ඇත්තටම ඒක අභියෝගකාරී වැඩක්. ගොඩක් වෙලාවට ඩිනර් ඩාන්ස් එකක බීපු අය වැඩියි. ඉතින් වැඩසටහන කරද්දි සමහරු ඇවිල්ලා ‘ඕයි, බං’ කියලා කතා කරනවා. සමහරු නටන්න අඬගහනවා. සමහරු අය මයික් උදුරනවා.

ඒ වෙලාවට මම මෝඩයා වගේ හිනාවෙලා සියුම්වට ඒ තැන් මඟාරිනවා. බීපු කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ කෙනා බීලානේ. එහෙම කෙනෙක් ඇවිල්ලා මට බැන්නහම මමත් කේන්ති අරන් ප්‍රශ්නයක් ඇති කළොත් ඒක මගේ නමට හානියක්. ඒ නිසා එහෙම දේවල් මඟඇරලා දානවා. අපිට කරදරයක් වෙද්දි කවුරුහරි ඇවිල්ලා අපිව බේරගනී කියලා හිතන කාන්තාවන් ඉන්නවා. වෙන අයගේ උදව් බලාපොරොත්තු වෙනවා වෙනුවට තැනට සුදුසු විදියට වැඩ කරලා ඒ ප්‍රශ්නය මඟඅරින්න කාන්තාවක් දක්ෂ වෙන්න ඕනේ.”

ෂැරෝන් එහෙම කිව්වේ උපදේශාත්මක ස්වරූපයෙන්. ඔය අතරේ වෘත්තීය ජීවිතේ ඇයට සිද්ධවුණු අමතක නොවන සිදුවීමක් ගැනත් මහහයියෙන් හිනාවෙන ගමන් ෂැරෝන් අපිට කිව්වා.

“දවසක් මායි කැලුම් ශ්‍රීමාල් අයියයි හොටෙල් ඕපනින්ග් එකකට ගියා. ඒ කාලේ ටිකක් යුද්දේ තිබ්බා. හොටෙල් එකේ අය එතැන ලොකු ස්ටේජ් එකක් හදලා. හැබැයි බහින්න පඩිපෙළක් හදලා නැහැ. මම ස්ටේජ් එකෙන්  හිමීට බිමට පනිද්දිම සාරිය පැටලිලා වැටුණා. මම වැටෙද්දි බඩුවලත් වැදිලා නිකන් බෝම්බයක් ගහනවා වගේ මහා සද්දයක් ආවා. අපොයි ඒ පාර එතැන හිටපු මිනිස්සු බෝම්බ ගහනෝ… බෝම්බ ගහනෝ කිය කියා දුවන්න ගත්තා. පස්සේ ඉතින් මම බෝම්බ ගහන්නේ නැතෝ කියලා ඒ අයට කතා කළා. හැබැයි ඒ වෙනකොටත් සමහරු ගෙවල්වලටම දුවලා ඉවරයි.”

කන වෙන තැනකට නොයන තාලෙට කතාවට ඇද බැඳ  තියාගන්න ඒ හැකියාව ෂැරෝන්ට උපතින්ම ආපු එකක් කියලා දැනුණේ ඒ කතාව විස්තර කරද්දි. ඇගේ දක්ෂතා නිසාම කිහිපවතාවක්ම ඇය හොඳම ඉංග්‍රීසි පුවත් නිවේදිකාව විදියට සම්මාන ලබාගත්තා. ඊට අමතරව හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙනුත් ඇය සම්මාන ලබා තියෙනවා.

“ඉස්සර මම මීටත් වඩා වැඩ කළා. දවසක් රූපවාහිනී වැඩසටහනක් කරලා ගාල්ලේ ඉවෙන්ට් එකකට ගියා. ඒක කරලා එනකොට හවස 4යි. ඊටපස්සේ එදාම පන්නිපිටියේ ෂෝ එකකට ගියා. ඒක ඉවර වුණේ 4.30ට. ඉතින් ගෙදර එනකොට මහන්සි වැඩිකමට මට නින්ද ගිහින් ලොකු අනතුරක් වුණා. එදා මම හිතුවේ මම ඉවරයි කියලා. ඒත් වාසනාවකට මම බේරුණා.

මම ජොබ් එකකුත් කරන නිසා මේ වැඩ සේරම බදාගෙන කරන්න බැහැ කියලා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම තේරුම්ගත්තා. දැන් මගේ පවුලටයි මගේ සතුට වෙනුවෙනුයිත් ගොඩක් කාලය වෙන් කරනවා. මගේ අම්මයි තාත්තයි එදා ඉඳල අද වෙනකල් මගේ පිටිපස්සේම ඉන්නවා. අදටත් මාව රූපවාහිනියට ඇරලවන්නේ ඒ දෙන්නා. ඉතින් ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරනවා.”

අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙනුත් ඇය වචනයක් වෙන්කළා.

“මම අනිත් ගෑනු දරුවන්ටත් කියන්නේ අභියෝග බාරගන්න බයවෙන්න එපා. කවුරුහරි ඔයාගේ හිත රිද්දුවොත් ඒ වෙලාවට හිනාවෙලා නිකන් ඉන්න. පස්සේ ජීවිතේ උඩටම ගිහින් දිනන්න. ඒක තමයි ඒ දේවල්වලට දෙන්න පුළුවන් හොඳම උත්තරේ. ඒ වගේම කවුරුහරි  ආදරෙන් වැරැද්දක් පෙන්නුවොත් නිහතමානීව ඒක පිළිගන්න. ඒ වැරදි හදාගන්න. එතකොට දියුණුවට යන්න ලේසියි.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප: ක්‍රිෂාන් කාරියවසම්