විශේෂාංග

ගෑනු ළමයින්ගෙ හිත් හයිය වුණාම පණ හැබැයි හම හයිය වුණාම ඇණ

රීමා පටෙල් කියන්නේ ඉන්දියානු සමාජ සේවා ක්‍රියාකාරිනියක්. ඉතින් ඇය බොහොම තරුණ වයසේ ඉද්දි ඇයට ආදර සම්බන්ධයක් තිබුණලු. කාලයක් යද්දි මේ පිරිමි ළමයට ඔය ආදර සම්බන්දෙට තිත තියන්න ඕනෙ වෙලා ඒකට හේතුව විදියට ඔහු කියලා තියෙන්නේ මොකක්ද දන්නවද?

‘‘ඔයාගේ හම වේළිලා. හරිම රළුයි. ඔයා එක්ක ඉද්දි මට දැනෙන්නේ මම සතෙක් එක්ක ඉන්නවා වගෙයි’’ කියලා.

කටක් ඇරලා ඒ විදිහේ කතාවක් කිව්ව ඔහුව අතඇරලා දාන්න රීමාත් දෙපාරක් හිතලා නැහැ. හැබැයි ඒ නිසා ඇතිවෙච්චි හිත් වේදනාව නිසා ඇය ආයෙත් ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නේ නෑ කියලා තමයි ඇය කියන්නේ.

ඔන්න මේ තව කතාවක්.

ඉස්සර රෝමයේ කරකල්ලා කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ රජා බොහොම සැරපරුෂ රජ කෙනෙක්ලු. මෙයාගේ අන්තඃපුරේ ඉන්න රැජිනකගේ සම වියළිලා මෘදු බව නැති වුණොතින් කෲරතර විදියට ඒ රැජිනව මාලිගාවෙන් පිටුවහල් කරලා දානවලු.

රීමාටයි, රෝමයේ රැජිනියන්ටයි විතරක් නෙමෙයි සම වියළීම ඝර්ම කලාපීය රටක ජීවත්වෙන අපේ බවලතියන්ටත් අමුතු දෙයක් නෙවෙයි. ‘කොච්චර වතුර බිව්වත් හම වේළෙනවා’ කියලා හිත් වේදනාවෙන් ඉන්න ලලනාවන් කොච්චර නම් මෙහෙත් ඉන්නවද? ඉතින් අද මේ ලිපිය අන්න ඒ අය වෙනුවෙන්.

මිනිස් ශරීරයේ විශාලතම අවයවය තමයි සම කියන්නේ. උෂ්ණත්වයේ සහ ආර්ද්‍රතාවයේ වෙනස්කම්වලින් අපේ ශරීරය ආරක්ෂා කරගන්නේ සම. බැක්ටීරියා, වෛරස් වගේ දෙයින් අපේ ශරීර අභ්‍යන්තරය රැකගන්නෙත් සම. ඒ විතරක්ද අපේ ශරීරයට ලස්සන පරිපූර්ණ පෙනුමක් ලබාදෙන්නෙත් සමනේ.

හරියටම බැලුවොත් අපේ ශරීරයේ පිටත ආවරණය තමයි සම. ඒ නිසා ඉතින් හමට මුහුණදෙන්න තියෙන අකරතැබ්බත් බොහෝමයි.

ඔය අතරේ ප්‍රධානම එකක් තමයි අද අපි කතා කරන සමේ වියළි බව ඇතිවීම. සමේ තෙතමනය ඉවත්වීම හෝ සමට ප්‍රමාණවත් විදියට ජලය නොලැබීම නිසා තමයි සම වේලෙන්නේ.

දැන් හිතන්නකෝ හරි ලස්සනට නෙළුම් එහෙම පිපිලා තියෙන වතුර විලක් තියෙනවා. ඔන්න නියඟේ කාලෙට මේ විලේ වතුර ටික හිඳිලා ගිහිල්ලා අන්තිමේට විල පතුලේ මඩ ටිකත් ඉරි තලලා යනවා. ඔන්න ඕකම තමයි වතුර නැතිකොට අපේ සමටත් වෙන්නේ. වියළි සම අන්වීක්ෂෙකින් බැලුවහම පේන්නේත් වතුර වළක් ඉරි තලලා තියෙනවා වගේලු.

ඉතින් සම ටිකක් වේලුණාම මොකද වෙන්නෙ? සම වේළිලා නිකන් තියෙන්නේ නෑ. ඕනෑවට වඩා විජලනය වෙලා හම වේලෙද්දී සමේ තියෙන මෘදු ස්වභාවය ඉවත්වෙලා සම රළු පරළු වෙනවා. සමහර තැන්වල පොතු ගැලවෙනවා. වෙලාවකට දණහිස, වැලමිට වගේ තැන්වල පාන්පිටි ගාලා වගේ සුදුපාට කුඩක් තියෙනවා දැකලා තියෙනවද? වියළි සමේ ප්‍රතිඵල තමයි සුදෝ ඒ.

ඒ වගේ ස්ථානවල කුඩා රළු ගැටිති ඇතිවෙන්නෙත් සමේ වියළි බව නිසාම තමයි.

වියළි බව නිසා මුහුණ, අත්, පා, බෙල්ල, වැලමිට වගේ තැන් අවපැහැ ගැන්වෙනවා.

වියළි සමක් තියෙන කෙනෙක්ට ආයෙ ඉතින් නියපිටින් පාරක් වදින්න බෑ පාර හිටිනවා. හරියට රටා තියලා චිත්‍ර ඇඳලා වගේ.

‘‘අපෝ අර බලන්නකෝ අරයගේ කකුලේ කොටු රූල්.’’

සමහර පිරිමි ළමයි ගෑනු ළමයින්ට ඔන්න ඔහොම කියනවා මගේ කන් දෙකටම ඇහිලා තියෙනවා. කකුල්වල ​ඔහොම ඉරිතැලුණ ස්වභාවයක් නැත්නම් කොරල තත්ත්වයක් ඇතිවෙන්නේ සමේ වියළි බව නිසයි. හැබැයි වියළි බව නිසා වෙන්න පුළුවන් නරකම දේ තමයි ඉක්මනට රැලි වැටිලා සම වයසට යන එක.

ඔය විදියට සම වේලෙන්න බලපාන කාරණා කිහිපයක්ම තියෙනවා.

පළවෙනිම දේ අවශ්‍ය කරන වතුර ටික ඇඟට නොවැටෙන එක. ශරීරයේ සෑම සෛලයකම ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි. ඉතින් වතුර නැතිවුණ හැටියේ සම වේලෙන එක ගැන ආයේ අහන්න දෙයක් නැහැ.

හැබැයි කොයිතරම් වතුර බිව්වත් ඇඟ වේලෙනවා කියන අයත් ඉන්නවනේ. අන්න එහෙම වෙන්නත් හේතු තියෙනවා. එකක් තමයි පැය ගාණක් ජල ස්නානය කරන එක. සම පෙඟිලා සුදු පැහැවෙනකල්ම ස්නානය කරන අය ඉන්නවා. ඔහොම ඕනෑවට වඩා නාන්න ගියාම සමේ තියෙන ස්වභාවික තෙල් ටික ඉවත් වෙලා යනවා. ඒ නිසා ස්නාන කටයුත්ත විනාඩි 5-10කට සීමා කරන්න කියලා තමයි වෛද්‍යවරුන් පවා කියන්නේ.

තව සමහරු ඉන්නවා ඇඟ සේදුවට පස්සේ සම තෙතමාත්තු කරන්නෙ නැති. නිතරම සමේ වතුර රැඳෙන එක සම වේලෙන්න විතරක් නෙවේ රැලි වැටෙන්නත් හේතු වෙනවා.

අනික තමයි සැර සබන් ගාන එක. අපේ සමේ තියෙන ස්වභාවික තෙල් ටිකට ෂොට් එක දෙන්න සැර සබන්වලටත් පුළුවන්. ඕනවට වඩා සම ස්ක්‍රබ් කරන එක, එතකොට බ්ලීචිං සහ ස්ටොරොයිඩ් අඩංගු ආලේපන උලන එක එහෙමත් සම වියැලෙන්න බලපාන ප්‍රධාන හේතු.

දියවැඩියාව වගේ ශරීර අභ්‍යන්තර රෝග නිසාත් එග්සීමා, ප්‍රසොරියාසිස් වගේ චර්ම රෝග නිසාත් අධික ලෙස සම වේලෙන්න බලනවා. සම වියැලීම එක්ක සම කැසීම, ලේ ගැලීම, ඝනකම් ලෙස පොතු ගැලවී යාම වගේ ලක්ෂණත් තියෙනවා නම් ඔක්කෝටම කලින් වෛද්‍යවරයෙක් හමුවෙන්න වෙනවා.

හරි. සමේ වියළි බව නැති කරන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි දැන් බලමු.

සම වියැලුණු හැටියේ සමහරු සම තදින් අතුල්ලා වියළි කොටස් ඉවත් කරන්න හදනවා. වැලි කඩදාසියකින් බිත්ති කපන්නා වගේ සම මදින්න ගියොත් චර්ම සෛලවලට හානි වෙන්න පුළුවන්.

හැම දවසකම වතුර ලීටර දෙකක් බොන ගමන් කැකිරි, පිපිඤ්ඤා, සාරණ, නිවිති, කොමඩු වගේ ඇඟ සීතල කරන කෑම වර්ග ටිකක් වැඩිපුර කෑමට ගන්න. ඒ වගේම සමබල ආහාරවේලක් ගන්න එකත් වැදගත්. ගර්භනී මවක් පෝෂණීය ආහාර ගන්නේ නැතිනම් ඇයට ඉපදෙන දරුවටත් වියළි සමක් උරුම වෙන්න ඉඩ තියෙනවා.

ඒ කාලේ ක්ලියෝපැට්‍රා සමේ තෙතමනය රැකගන්න ආලේප කෙරුවේ ඔලිව් තෙල්ලු. සතියකට පාරක් මුළු ඇඟටම ඔලිව් තෙල් ආලේප කරන්න පුළුවන් නම් ඒක අදටත් වටිනා සත්කාරයක්.

ඊට අමතරව කොකුම් පොතු, වැල්මී සහ වදකහ ඇල්දියේ මිශ්‍ර කරලා ආලේප කරන්නත් පුළුවන්.

ඉස්සර හෙළ රජ කුමරියෝ ස්නානය කරද්දී රත්මල් කැකුළු, බෙලි මල් කොළ, රෝස මල් පෙති වගේ දේවල් තම්බලා ශරීරයේ තෙතමනය වැඩි කරගත්තලු. මේ වට්ටෝරුව සතියකට දවස් දෙකක්වත් භාවිත කරන්න පුළුවන් නම් ඔයාටත් කුමාරිකාවක් වගේ සම ලස්සන කරගන්න පුළුවන්.

සතියකට සැරයක් මුළු ඇඟටම තල තෙල් ගාලා හොඳට සම්බාහනය කරන්න. තව ඕට්ස් ටිකත් කුඩු කරලා ඒක උණුසුම් ජලයට දාලා ඒකෙන් ඇඟ සෝදන එකත් හොඳයි.

අලිගැටපේර, මීපැණි සහ ලෙමන් යුෂ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි පහක් විතර තියලා සෝදලා අරින්න.

එඬරු තෙල් මේස හැඳි බාගෙකට ඔලිව් තෙලුයි ආමන්ඩ් තෙල් සහ තල තෙලුයි මිශ්‍ර කරලා ශරීරයේ අලේප කරලා විනාඩි විස්සක් විතර තියලා සෝදන්න.

තුල්සි කොළ පොකුරකට මී පැණියි, පොල් වතුරයි, එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මුළු සිරුරේම ආලේප කරන්න. විනාඩි විස්සකට පස්සේ සෝදා හැරලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න.

කෝමාරිකා කියන්නේ වියළි සම සුවපත් කරන්න පංකාදු සත්කාරයක්. වියළි සමට හැමදාම වුණත් කෝමාරිකා ආලේප කළාට ගැටලුවක් නැහැ.

කෝමාරිකාවලට සුදුහඳුන් සහ මී පැණි මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. ඒක විනාඩි විස්සක් විතර තියලා සෝදා ඉවත් කරන්න.

වායු සමීකරණ, විදුලි පංකා සහ අධික උෂ්ණ දේශගුණික තත්ත්වල ඉන්නකොටත් සම ඉක්මනින් වියළෙනවා. ඉතින් ඒ වගේ තැන්වල ඉන්නවා නම් නිතරම වතුර බොන්න. ඒක වගේම ප්‍රමිතිගත මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

වියළි සමක් තියෙන කෙනෙක් නම් කොයිම වෙලාවකවත් තෙල් සහිත සමකට ගැළපෙන රූපලාවන්‍ය ආලේපන භාවිතා කරන්න එපා. ඒවායින් වෙන්නේ සමේ තියෙන අතිරික්ක තෙල් ඉවත් කරන එකයි. එතකොට සම තවත් වේලෙන්න ඉඩ තියෙනවා.

වියළි සමට සේදුම්කාරක සහ විවිධ ආලේපන තෝරද්දී හයලුරොනික් ඇසිඩ්, සැලිසිලික් ඇසිඩ් සහ ලැක්ටික් ඇසිඩ් වගේ රසායනික සංයෝග අඩංගු දේවල් තෝරන්න බලන්න. ඒ වගේම වෛද්‍ය නිර්දේශ මත දවසකට ඔමේගා-3 ෆිෂ් ඔයිල් කරලක් භාවිතා කරන්න පුළුවන් නම් වියළි සම යථා තත්ත්වයට පත්වෙන්න ඒකත් උපකාරයක් වෙනවා.

සම වේළිලා රැලි වැටුණට පස්සේ ආයේ නැවත තිබුණු තත්ත්වයටම ගන්න එක ලේසි නැහැ. ප්‍රමාදය පසුතැවීමට හේතුවේ කියනවනේ. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතුව අද ඉඳලම සමේ තෙතමනය රැකගන්න බලන්න කියලා තමයි අවසානයේදී කියන්න ඕනේ.

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක

මාලිංග ප්‍රනාන්දු

Personal Grooming

fernando.malinga

 

සෙව්ව්න්දි හෙට්ටිආරච්චි