ස්වයං රැකියා

පටි සෙරෙප්පු දාන අයට හිටු කියලා විකුණන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

ඉන්දියාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස් කරන්න සටන් කරාපු මහත්මා ගාන්ධිතුමාව දන්නවනේ. ඔන්න එතුමා දවසක් ගමනක් යන්න දුම්රියට ගොඩවෙද්දි සෙරෙප්පුව ගැලවිලා කෝච්චියෙන් බිමට වැටුණලු.

සෙරෙප්පුව වැටිච්චි හැටියේ මහත්මා ගාන්ධිතුමා හනිකට ඔහුගේ අනිත් සෙරෙප්පුවත් ගලවලා අර සෙරෙප්පුව ළඟටම විසි කළාලු.

“ඇයි ඒක විසි කළේ?”කෝච්චියේ හිටපු අය පුදුමෙන් වගේ ඇහැව්වලු.

“ඒ සෙරෙප්පුව දැම්මේ අනිත් සෙරෙප්පුව හොයාගන්න.”

ඔහු පිළිතුරු දුන්නලු. ඉතිරි සෙරෙප්පුවත් විසි කළාම ලැබෙන කෙනෙක්ට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එකයි ඔහු අදහස් කළේ. සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය දේ වුණානම් ඔහු කරන්නේ සෙරෙප්පු සොවින් දවසම තැවෙන එක. අපිට දෙයක් නැතිවෙනවා නම් ඒක තව කෙනෙක් වෙනුවෙන් අතෑරලා ඉස්සරහට යන්න කියලලු මහත්මා ගාන්ධි කිව්වේ.

මහත්මා ගාන්ධිතුමා බොහොම සරල කෙනෙක්නේ. ඉතින් එතුමා දාලා තියෙන්නේ පටි සෙරෙප්පු. ‘පටි සෙරෙප්පු දාන වීරයා’ කියලත් මිනිස්සු ඔහුව හඳුන්වලා තියෙනවා. හැබැයි පටි සෙරෙප්පු දාලා ඇවිද්ද පලියට හැම කෙනෙක්ටම වීරයෙක් වෙන්න බැහැ. පටි සෙරෙප්පු දාලා ලෝකෙට පේන්න ඇවිදින්න ගිහින් නෝන්ඩි වෙච්චි දේශපාලනඥයෝ අපේ රටේත් ඉන්නේ.

මුලින්ම ෆ්ලැට් සෙරෙප්පු දාන්න අරන් තියෙන්නේ චීන්නු. ඒ ක්‍රි.පූ. 4700දී. ඒ අය කපු, සත්ව සම් වගේ දේවලින් හදාපු සෙරෙප්පු දැම්මේ සීතලෙන් කකුල් ආරක්ෂා කරගන්නලු.

බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මිනිස්සු සෙරෙප්පු දාලා තියෙනවා. ඒ කාලේ එව්වා හඳුන්වලා තියෙන්නේ ‘පාදුකා’ කියලා. භික්ෂුවක් පාදුකා පාවිච්චි කරන්න ඕන ආකාරය ගැන විනය පිටකයේ පැහැදිලි කරලා තියෙනවා.

“හෙළදිවේ ස්ත්‍රී පුරුෂ කිසි කෙනෙක් පාවහන් පාවිච්චි නොකරති. පාවහන් පැළඳීමේ අයිතිය ඇත්තේ මහරජුට පමණි.”

එක්දාස් හයසිය හැට ගණන්වලදි රජතුමා ඇර සාමාන්‍ය උදවිය සෙරෙප්පු දැම්මේ නැහැ කියලා රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ පොතේ ලියලා තියෙන්නේ ඔහොම. දෙයියනේ කියලා දැන් නම් සෙරෙප්පු දාන්න අපිට කාගෙන්වත් තහනමක් නැහැ.

සෙරෙප්පු කිව්වහම ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෑතකදි කිව්ව කතාවක් මතක් වුණා. එයා කියන විදියට විවාහයයි සෙරෙප්පු කුට්ටමයි සමානයිලු. තමන්ට පහසු එක තෝරගන්න තමන් දැනගන්න ඕනලු.

අඩි උස සෙරෙප්පු දානවට වඩා ෆ්ලැට් සෙරෙප්පු දාන එක පහසුයි කියලයි ගොඩක් බවලතියෝ කියන්නේ. හැබැයි පටි සෙරෙප්පු දාන එක මදිපුංචිකමක් කියලා හිතන උදවියත් ඉන්නවා. ඒත් බාහිර ඔපේට වඩා තමන්ගේ සුවපහසුව ගැන හිතන අය දාන්නෙම සාමාන්‍ය සෙරෙප්පු. ඒ නිසා මෙව්වට තියෙන ඉල්ලුම අඩුවෙන්නේ නැහැ. ලස්සන පටි සෙරෙප්පු දෙකක් හදන හැටි කියලා දෙන්න හිතුවේ ඒකයි.

ඒකට මේ දේවල් ඕනේ. අඬුවක්, රබර් මිටියක්, පන්චර් කටු (හිල් විදින්න), පටි ඇඟිලිකරු අතරෙ රඳවන ට්‍රාන්ස්පේරන්ට් බට, බ්‍රෂ් එකක්, ට්‍රිමර් එකක්, කතුරක්, මල්ටිබොන්ඩ් 508/ ඩොන්සන්/F ටෙක් වගේ සෙරෙප්පු අලවන ගම් එකක්. ප්‍රයිමර් (මෙයින් ඇලවීම පහසු කරවයි), 001 ලාස්ට් ජෝඩුවක් කකුල් ප්‍රමාණය 6 නම් ඒ ලාස්ට් එකෙන්ම 5, 7 ප්‍රමාණවල සෙරෙප්පු හදාගන්නත් පුළුවන්. (පටි නියමිත ප්‍රමාණවලින් තද කරගන්න කෘත්‍රිමව සැදූ කකුල් වර්ගයක්) සෙරෙප්පු අඩි (උඩ කොටස ඉන්සෝල් යට කොටස සෝල්), රෙක්සින් මීටර් 1/4 (සෙරෙප්පු හතරකට), පාවහන් සෑදීමට ගන්න කතුරක්. පිටකොටුව කුමාර වීදියෙන් මේවා අඩුවට ගන්න පුළුවන්. සෙරෙප්පු හදන්න ගන්න කලින් පරණ සෙරෙප්පු කුට්ටමක් ගලවලා ඒක හදලා තියෙන විදිය අධ්‍යනය කරලා බලන්න.

 

මුලින්ම ඉන්සෝල් එක අලවමු.

ඉන්සෝල් ජෝඩුව අරපිරිමැස්මට රෙක්සින් එක උඩ තියලා වටේට ඇඳගෙන අඟලක් විතර වටේට ඉඩ තියලා කපාගන්න. පස්සේ ඉන්සෝල් එක රෙක්සින් එකේ අලවන්න. ඉතිරි රෙක්සින් කොටස ඉන්සෝල් එකේ අලවලා වටේටම මිටියෙන් තට්ටු කරන්න.

 

දැන් සෙරෙප්පු පටි හදාගමු.

‍රෙක්සින් කෑල්ලක් අරගෙන හරස් අතට අඟල් 9-10 දිග, අඟලක් පළල පටි හතරක් කපාගන්න. පටිවල හරි මැදින් ඉරි අඳින්න. පටි හතරට ගම් ගාලා විනාඩි 20ක් වේලෙන්න තියන්න. පස්සේ දෙපැත්තෙන් හරි මැද ඉර ළඟට නවලා මිටියෙන් තලන්න. හැබැයි මැද ඉර පේන්න ඕනේ. හදාගත්තු පටියට ආයෙත් ගම් ගාලා දෙකට නවන්න. පටි දෙකක් එකට තියලා ඇඟිලිපුරුකට සම්බන්ධ වෙන තැනින් බට කෑල්ල සම්බන්ධ කරන්න.

 

සෙරෙප්පු පටි අලවන්න මිම්ම හදාගමු.

සෙරෙප්පුවේ පටි කකුලට ගැලපෙන්න හරියට දාගන්න නම් මේ මිමි ටික හරියටම ගන්න ඕනේ. ඒකට මේ  පතොරම හදාගන්න.

කාඩ්බෝඩ් කෑල්ලක ඉන්සෝල් ඇඳගන්න. සෙරෙප්පුවේ උඩ ඉඳලා පහලට හරි මැදින් ඉරක් අඳින්න. ඒ ඉරේ දිග මැනලා ඒ දිග හතරෙන් බෙදලා 1/2ක් එකතු කරලා. සෙරෙප්පුවේ පහල ඉඳලා උඩට ලකුණු කරන්න (දිග 24÷4=6+1/2=6 1/2)

6 1/2 ලකුණු කරගත්තු තැන ඉඳලා උඩට තව 2.5 cm මැනලා හරස් රේඛාවක් අඳින්න. එතැන එළියේ ඉඳලා ඇතුළට 7cm ලකුණු කරන්න. සෙරෙප්පුවේ පිටුපස පටි ඇතුළු කරන්නේ මෙතැනින්. උඩ කෙළවරේ ඉඳලා පහලට 4.5cm මැනලා මහපට ඇඟිල්ල පැත්තේ ඉඳලා 3cmක් ඇතුළට මැනලා එකතුවෙන තැන ලකුණු කරන්න. ඇඟිලිකරුවට පටිය සම්බන්ධ වෙන්නේ එතැනින්.

 

දැන් සෙරෙප්පුව සවි කරමු.

ඉන්සෝල් එකේ උඩ ඇඟිලිකරු අතරේ හිල විදලා පටිය අලවගන්න. පස්සේ ලාස්ට් එක අරන් ඇඟිලිකරු රිංගවලා  ඉන්සෝල් එකේ ගම් ගාලා පටි දෙක හොඳට ඇදලා අලවන්න. අවසානෙදි ඉන්සෝල් එකයි සෝල් එකයි අලවන්න.

 

ගම් ගාන හැමතැනකම කලින් ප්‍රයිමර් ගාන්න. එතකොට සෙරෙප්පු හොඳට ඇලවෙනවා. නෝර්මල් පටි විතරක් නෙමෙයි රටා තියෙන මෝස්තර දාපුවත් අලවගන්න පුළුවන්. මේ සෙරෙප්පු කුට්ටමක් 300 ඉඳලා අලෙවි කරන්න පුළුවන්. තවත් විස්තර අහගන්න ඕනේ නම් වෙනදා වගේම 0714766819 අංකයට කතා කරන්න.

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි