ස්වයං රැකියා

නිළි රැජින හැඩවෙලා තියෙන්නේ ඒනිස් අයියගේ කිචි කිචි බෝල සබන් ගාලා

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි

කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා…’

 

‘රාජකපුරු’ වේදිකා නාට්‍යයේ එන බොහොම ප්‍රසිද්ධ ගීතයක් ඒක. හැබැයි ඉතින් හායි හායි ගගා සබන් පෙන පිඹ පිඹා ලතාවට සුවඳ සබන් ඇඟ ගෑවේ ඉස්සර. සබන් මිල අහස උසට ගියාට පස්සේ කට්ටිය සබන් ගාන්නෙත් හූල්ල හූල්ල. මොකද දැන් සබන් කෑල්ලක් දියවෙන එකයි රත්තරං වතුරේ යන එකයි අතරේ ලොකු වෙනසක් නැහැනේ.

බොහොම ඉස්සර අපේ උදවියට සබන් තිබිලා නැහැ. ඒ අය ඇඟේ ගාලා තියෙන්නේ පෙනෙළ කොළලු. පෙනෙළ කොළ මිටක් හොඳට තලලා ඒකේ සාරුව අරගෙන වතුර ටිකකට දැම්මයින් පස්සේ පෙණ එනවා. ඒ පෙණ ගාලා ගල්පොත්තෙන් ඇඟපත ඇතිල්ලුවම කුණු යනවලු.

අපේ අයට සබන් ගාලා නාන්න උගන්නලා තියෙන්නේ සුද්දෝ. ඒ අය ලංකාවට ගෙනා මුල්ම සුවඳ කැටේ නම ‘පැමෝරා’. සව්කොළවල ඔතාපු බෝල හැඩේ ගත්තු මේ සබන්වලට අපේ උන්දැලා කිව්වේ ‘බෝල සබන්’ කියලා. පැමෝරා සබන් කැටේ දැන් සබන්වලට වඩා බොහෝම පුසුඹලු.

මුල් කාලේ බෝල සබන් ඇඟේ ගාලා තියෙන්නේ කුමාරිහාමිලා විතරයි. “අපිට කොයින්දෑ බෝල සබන්” කියලා ගමේ සාමාන්‍ය කෙලි ගැටිස්සියෝ හිත් හදාගත්තලු. ගෑනු මනාප බව දන්න නිසා ඒ කාලේ පෙම්වත්තු පෙම්වතීට තෑග්ගට දීලා තියෙන්නේ රත්තරං මුතු මැණික් නෙමෙයි. බෝල සබන්.

පස්සේ ලංකාවේ උදවියත් සුවඳ සබන් හදන්න පටන් අරන්. ඉතින් කාලෙකදි සබන් මිනිස්සු අතර සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් වෙලා. 1950 ඉඳලා සබන් විකුණන්න නානාප්‍රකාර වෙළඳ දැන්වීම් පවා හදලා තියෙනවා.

වෙළඳ දැන්වීම් ගැන කියද්දී නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකදී කිව්ව කතාවක් මතක් වුණා. මාලනී ෆොන්සේකාගේ මහගෙවල් තියෙන්නේ කැලණි පළාතෙ. සිනමා නළු විමල් කුමාර ද කොස්තා මහත්තයත් ඒ පළාතෙමයි. ඒ කාලෙදි මාලනී කැලණි කල්‍යාණිය වුණාලු. ඒ උත්සවේ අනුග්‍රාහක ඇඩ්වර්ටීස්මන්ට් කියවන්න ඉඳලා තියෙන්නේ විමල් කුමාර ද කොස්තා. තිරයේ වගේම ඔහු හැබෑවටමත් හරි විහිළුකාරයලු. ඇඩ්වර්ටීස්මන්ට් කියවන අතරේ ඔහු මාලනී වගේ කතා කරන්න පටන්ගත්තලු.

“මම වැඩියෙන්ම ගාන්නේ ඒනිස් අයියගේ සව් කිචි කිචි බෝල සබන්…”

එහෙම කිව්වහම මාලනීට හුස්ම හිර වෙනකල් හිනා ගිහින්. ඒ පැත්තේ ඒනිස් කියලා මුදලාලි කෙනෙක් හිටියලු. ගමටම බෝල සබන් හදලා තියෙන්නේ උන්දෑ.මාලනී ගාලා තියෙන්නේත් ඒනිස්ගේ බෝල සබන්. ඒ නිසාලු විමල් අරම විහිලු කළේ.

ඔය කියන කාලේ කොයි කවුරුත් ගාලා තියෙන්නේ අපේ උදවිය නිෂ්පාදනය කරාපු සබන්. විවෘත ආර්ථිකේට පස්සේ පිටරටින් සබන් ගෙන්නන්න පටන්ගත්තහම අපේ සුවඳ සබන් කර්මාන්තේ කඩාවැටිලා. හැබැයි ඩොලර් දීලා පිටරටින් ගෙන්නන සබන්වල ගාණ දවසින් දවස වැඩිවෙන්න ගත්තු දා ඉඳලා ගොඩක් උදවිය සුළු වශයෙන් නිෂ්පාදනය වෙන දේශිය සබන් ගැන ආයෙත් හිතන්න ගත්තා. ඒ නිසා අදටත් ස්වයං රැකියාවක් විදියට සබන් අලෙවි කරලා හොඳ ලාබයක් උපයන්න පුළුවන්.

සබන් නිෂ්පාදනය කරනවා නම් SLS ප්‍රමිති සහතිකය ගන්න එක වැදගත්. සමහරු මේ කිසිම සහතිකයක් නැතිව වාණිජ අරමුණුවලින් හෝම්මේඩ් සබන් විකුණනවා. ඒ වගේ දේවල් කරලා සාර්ථක වෙන්න බැහැයි කියන එකයි අපි නම් කියන්නේ.

මුලින්ම සබන් කැට 10ක් හදලා වැඩේ පටන්ගමු. ඒකට මේ අමුද්‍රව්‍ය මේ ප්‍රමාණවලින්ම ගන්න. ඉලෙක්ට්‍රික් තරාදියකින් මැනලා ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි.

කෝස්ටික් සෝඩා 87g, වතුර 175ml, සුදු පොල්තෙල් 495g, සුරියකාන්ත තෙල් 5g, කස්තුරි කහ 5g, ෂියා බටර් (ෂියා ශාකයේ නිස්සාරණයකි. සම සිනිඳු කර පැහැපත් කරයි) 2g (shea butter), ග්ලිසරින් 5g (සමේ තෙතමනය ආරක්ෂා කරයි) සුවඳ වර්ගයක්, ටැල්ක් (සුමුදු බවක් ලැබේ) 25g, විටමින් E කරලක්, අවශ්‍ය නම් පමණක් පාට. මේ සේරම බඩු පිටකොටුව බංගසාල වීදියෙන් අඩු මිලට ගන්න පුළුවන්.

ජලය වෙනුවට වෙනිවැල්ගැට තැම්බුව වතුර, දාස්පෙති මල් නිස්සාරණ, වදමල් නිස්සාරණ, කොහොඹ නිස්සාරණ යොදාගන්න පුළුවන් නම් සමට තවත් හොඳයි.

 

පියවර 1

ප්ලාස්ටික් භාජනේකට වතුර ටික දාගෙන කෝස්ටික් සෝඩා ටිකෙන් ටික එකතු කරන ගමන් හොඳට දියකරගන්න. එහෙම හදපු මිශ්‍රණේ පැය 48ක් වහලා තියන්න.

 

පියවර 2

දවස් දෙකකට පස්සේ පොල්තෙල් සහ සූරියකාන්ත තෙල් භාජනේකට දාලා යන්තමින් රත් කරන්න. කලින් හදාගත්තු කෝස්ටික් සෝඩා මිශ්‍රණය මේ මිශ්‍රණයට එකතු කරන්න. ඔය අතරේ ෂියා බටර් ටික ඩබල් බොයිල් ක්‍රමේට දියකරගන්න.

කස්තුරි කහ, ග්ලිසරින්, සුවඳ, ටැල්ක්, විටමින් E, පාට පිළිවෙලින් අර මිශ්‍රණය එකතු කරන ගමන් එකම අතකට ඉක්මනින්ම මිශ්‍ර කරන්න. අච්චුවලට දාලා සෙට්වෙන්න තියන්න.

ස්වයං රැකියා කරන අයට ගන්න පුළුවන් සිලිකන් සබන් අච්චු වෙළඳපොළෙන් ගන්න පුළුවන්. හදාගත්තු සබන් දවස් 21ක් තියලා ඇසුරුම් කරන්න. වැඩි විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න 0714766819.

සෙව්වන්දි හෙට්ටිආරච්චි