නවතම ප්‍රවෘත්ති

‘සෝශල් මීඩියාවල ඔහොම නටන්න හොඳද?’ කියලා සමහරු ඇහුවා

ඇමරිකාවේ ලේඩ් ගාගාව දන්නවද? ඇය ඇකඩම් සහ ග්ලෝබල් සම්මානවලට පවා පාත්‍රවෙච්චි විශිෂ්ට ගායිකාවක්.

පුංචි සන්දියේදි ලේඩි ගාගා මහතයිලු, නහය ලොකුලු, දත් එහෙම ඉස්සරහට ඇවිල්ලලු. ඔය කාරණා ටික මුල් කරගෙන ඉස්කෝලේ ළමයි ඇයට විහිළු කරලා. තරුණ වයසට ආවට පස්සෙත් සමාජෙන් ඇහුණු ඔය කතා නතර වෙලා නැහැ. ඒ නිසාම ඇය කාලයක් දැඩි මානසික පීඩනයට ලක්වෙලා ඉඳලා තියෙනවා. හැබැයි පස්සේ  මහන්සි වෙලා කැපකිරීම් කරලා ලෝකෙම දන්න කියන සාර්ථක කාන්තාවක් වුණාම ඒ කටවල් ඉබේටම වැහිලා යන්න ඇති.

ලේඩි ගාගා විතරක් නෙමෙයි ප්‍රියංකා චොප්රා, එලෝන් මස්ක්, කේට් කුමරිය වගේ ලෝකය දිනපු ගොඩක් මිනිස්සු කාලෙකදී රූපය නිසා හිරිහැරවලට ලක්වෙච්චි අය.

අද කවරයේ ලස්සනට හිනාවෙලා ඉන්න සුන්දර  යුවතියටත් එහෙම අතීතයක් තිබුණලු.

ඇය සොනාලි තාමරසා. සොනාලි ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් වගේ සමාජ මාධ්‍යවල බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යාවක්.

සොනාලිගේ සමාජ මාධ්‍යවල තියෙන්නේ බොහොම සතුටින් හිනාවෙලා ඉන්න ෆොටෝස් විතරයි. වළ ගැහෙන කම්මුල් එක්ක ලස්සන හිනාවක් ඇයට තියෙනවා. කාලයක් අනුන් වෙලා ඉඳලා පස්සේ තමන්ව හොයාගත්තු ඇගේ කතාව සොනාලි අපිත් එක්ක කිව්වේ අනිත් අයටත් ශක්තියක් වෙන්න හිතාගෙනයි.

මගේ ගම නුවර. මගේ තාත්තා මහාචාර්ය සරත් කොඩිතුවක්කු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පීඨයේ පීඨාධිපති. අම්මා නීතීඥවරියක්. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. ඔහු වසත් කොඩිතුවක්කු.”

ඒ සොනාලිගේ පවුලේ විස්තර. ඇය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

පුංචි කාලේ ඉඳලම මම නැටුම්වලට ආසයි. හැබැයි නැටුම් ටීම් එකේ හිටියේ ගොඩාක් ලස්සන සුදු අය විතරයි. ඉස්සර මම මහතයි. එච්චර ලස්සන නැහැ. ඒ නිසාද දන්නේ නෑ කවදාවත් මාව නැටුම් කණ්ඩායමට තේරුණේ නැහැ.

නැටුම් කණ්ඩායමට යන්න බැරිවුණු නිසා මම පෙරදිග සංගීත කණ්ඩායමට බැඳුණා. ඔය අතරේ සාමාන්‍ය පෙළත් හොඳින් සමත් වුණා. උසස් පෙළට නැටුම් කරන්න තමයි මට ආසාව තිබුණේ. හැබැයි සයන්ස් කරන ගමන් බාහිර විෂයක් විදියට නැටුම් කරන්න කියලයි තාත්තා කිව්වේ. අම්මයි තාත්තයි කවදත් මට පෙන්නන්නේ හරි පාර කියලා දන්න නිසා මම සයන්ස් තෝරගත්තා.

උසස් පෙළ අන්තිම කාලේ මම ඉස්කෝලේ හවුස් කැප්ටන් වුණා. ඒ වැඩවලට කාර්යබහුල වුණු නිසා පළවැනි පාර මෙඩිකල් කොලේජ් යන්න රිසාල්ට් මදි වුණා. දෙවැනි පාර විභාගේ කරන්න ඉන්දැද්දි තමයි  ලන්ඩන් ඒලෙවල්ස් ගැන දැනගත්තේ. ඒ පාර එයාලගේ අවුරුදු දෙකක පේපර් මම මාස තුනක් වගේ ලෑස්ති වෙලා කම්ප්ලීට් කළා. කලින් පාඩම් කරලා හිටපු නිසා වැඩේ අමාරු වු‍ණෙත් නැහැ. ඒ සුදුසුකම් එක්ක පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට බැඳුණා. දැන් එහි අවසාන වසරේ ඉන්නේ.”

සොනාලි ඩාන්සින් කවර්ස් කරන්න පටන් අරන් තියෙන්නේ විශ්වවිද්‍යාලයට ගියපු මුල් කාලෙදිමයි.

නටන්න ආස නිසා කැම්පස් එකේ ටැලන්ට් ශෝවලට එහෙම ගියා. මම නටනවා දැකලා කැම්පස් එකේ සීජේ කියලා මල්ලි කෙනෙක් මට ඩාන්සින් කවර්ස් කරන්න කතා කළා 2014 දි. එතකොට ඩාන්සින් කවර්ස් කියන්නේ මොනවද කියලවත් මම දන්නේ නැහැ. ඒ මල්ලි සේරම කියලා දුන්නා. පස්සේ අපි කවර් එකක් කරලා යූටියුබ් දැම්මා.”

ලස්සනට නටන්න පුළුවන් නිසා සොනාලිගේ පළමු නර්තන වීඩියෝවම ගොඩක්දෙනා නරඹලා තියෙනවා.

කවර්ස් දැකලා මට මියුසික් වීඩියෝ එකක රඟපාන්න ආරාධනාවක් ආවා. ඒ මියුසික් වීඩියෝ එකටත් සෑහෙන වීව්ස් තිබුණා. ඒකෙන් තමයි මාව ගොඩක්දෙනා අඳුනගත්තේ. පස්සේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් ෆලෝවර්ස්ලා ගොඩක් වැඩිවුණා. දැන් ඉන්ස්ටාග්‍රෑම් ෆලෝවර්ස්ලා 82k වගේ ඉන්නවා. ඒත් එක්කම බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝෂන්, වෙළඳ දැන්වීම්වලට එහෙමත් ආරාධනා ලැබෙනවා.”

සොනාලිගේ කතාව එකදිගට කියෝගෙන යද්දි බොහොම සුන්දරයි වගේ පෙනුණට ඒ කතාව පිටිපස්සේ හිත්රිදීම් බොහෝමයක් තිබුණලු.

ඉස්කෝලේ යන කාලෙදි ගොඩක් ළමයි මට විහිළු කළා. මහතයි කිව්වා, දත් කැතයි කිව්වා. ඒ නිසා ඒ කාලේ මම ගොඩක් දුකෙන් හිටියේ. ඉස්සර කවුරුහරි මොනාහරි කිව්වහම මම ඒකම හිත හිතා ඒ මත්තේම නැහෙනවා. වෙන වැඩක් කරන්නෙත් නැහැ. ඉස්කෝලේන් අවුට් වෙද්දි මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ. මයිල්ඩ් ඩිප්‍රෙශන් (විශාදයේ පළමු අවධිය) හැදිලා බෙහෙත් ගත්තා.”

කෙනෙක් අලුත් දෙයක් කරද්දි සමාජෙන් එන විවේචන වැඩිනේ. කවර්ස් කරන්න ගත්තු මුල් කාලෙදි සොනාලිටත් එහෙම දේවල් වුණාලු.

කවර් එකක් කළත් ටික්ටොක් එකක් කළත් මගේ වෘත්තියට, මට ගැලපෙන දේවල් තෝරලා බේරලා තමයි ඒ දේවල් කරන්නේ. හැබැයි කවර්ස් දෙක තුනක් දාද්දි සමහර යාළුවෝ එක එක ඒවා කියන්න ගත්තා ඇයි ඔයා ඔහොම නටන්නේ? සෝශල් මීඩියාවල ඔහොම නටන්න හොඳද?’ කියලා ඇහුවා. අනේ ඔහොම කිව්ව ගමන් මගේ හිතත් ටක්ගාලා සැලුණා. පස්සේ වීඩියෝ අයින් කරලා දාමු කියලා මම අර මල්ලිට කිව්වා. හැබැයි එවෙලේ එයා මාව ගොඩක් මෝටිවේට් කළා. අම්මයි, තාත්තයි, මල්ලියිත් ගොඩක් හිත හැදුවා. කෙනෙක් වැටෙද්දි අනිත් අයත් එයාගේ තත්ත්වය තේරුම් අරන් එයාට උදව් කරන්න ඕනේ. අද මම මේ තැන ඉන්නේ මාව තේරුම්ගත්තු පිරිසක් මගේ වටේ හිටපු නිසයි.”

හිත් කඩන්න බලාගෙන ඉන්න මිනිස්සු අතරේ හිත හදන්න බලාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු නැත්තම් මේ ලෝකේ සාර්ථක මිනිස්සු අඩුවෙන්න තිබුණා.

නුවර මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා ඉරංගිකා කියලා. එයා මනෝඋපදේශිකාවක්. මට දුක හිතෙන හිතෙන සැරේට එයාට කතා කළා. හිතට පීඩනයක් දැනුණ වෙලාවක වෙන කෙනෙක්ට ඒ ගැන කියන එකෙන් ලොකු සහනයක් දැනෙනවා. අධ්‍යාපන වැඩ කරගන්න බැරිතරමට වෙලාවකට වැටුණා. මගේ මෙඩිකල් ෆැකල්ටි එකේ රන්දුල සමරසිංහ සර්ත් මට ගොඩක් උදව් කළා. භාවනාවෙන් හිත හදාගන්න හැටි සර් පැහැදිලි කළා. ඇත්තටම භාවනාවෙනුත් මට ලොකු සැනසීමක් දැනුණා.”

හැමෝටම උපතින් හයිය හිත් නැහැ. පුංචි වචන වුණත් දරාගන්න බැරිවෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා අනුන්ට  වචන කියන්න කලින් දහපාරක්වත් හිතන්න කියන එකත් ඇගේ කතාවෙන් ගන්න ඕනේ.

අනිත් අය කියන දේවල් අහලා එදා මම මගේ වැඩේ නතර කළා නම් අද මේ විදියට කතා කරන්නේ නැති වෙන්නත් තිබුණා. ඒ නිසා මම දැන් අනිත් අය කියන ඒවා අහන්නේ නෑ. මානසික නිදහස තියෙන තැන තමයි මනුස්සයෙක්ගේ සතුට තියෙන්නේ. ඒක හොයාගන්න ඕනේ අපිමයි. අනිත් මිනිස්සුන්ගේ කතා නිසා ඒ සතුට නැති කරගත්තොත් අපිට සතුට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ දේවල් තේරුම්ගත්තු නිසා දැන් මම ඉන්නේ ගොඩක් සතුටින්.”

ඒ කතාවෙන් පස්සේ අපි සෝශල් මීඩියා පැත්තට ගියා. සෝශල් මීඩියා කියන්නේ නරක තැනක් කියලා සමහරු කියනවනේ. හැබැයි ඒ ගැන සොනාලි කිව්වේ මෙහෙම.

තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් වැඩක් කරන්න කැමති  කෙනෙක්ට හොඳම ප්ලැට්ෆොර්ම් එක සෝශල් මීඩියා. කැම්පස් එකේ මුල් කාලේ ඉඳලා අදටත් මම මේකෙන් සල්ලි හම්බකරනවා. ඉන්ස්ටාග්‍රෑම් ෆලෝවර්ස් බේස් එකට වගේම බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්වලිනුත් මුදල් ලැබෙනවා. හැබැයි ඒකට නිර්මාණශීලීත්වය තියෙන්නත් ඕනේ. මොකද බ්‍රෑන්ඩ් එකක් අපිට වැඩක් දෙන්නේ එයාලට අපෙන් දෙයක් ගන්න පුළුවන් නම් විතරයි.

දැන් රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් තරම් සල්ලි හොයන්න වෙනවා. සල්ලි හොයන්න ඕනතරම් මාර්ග සෝශල් මීඩියා ඇතුළෙම තියෙනවා. මැහුම් ගෙතුම්, ඉහුම් පිහුම් මේ ඕන එකකින් උඩට යන්න පුළුවන්. අනික තමන්ගෙම බිස්නස් එකක් පටන්ගත්තත් දැන් ඉස්සර වගේ මාකටින්වලට සල්ලි දෙන්න ඕනේ නැහැ. සමාජ මාධ්‍යවලින්ම ප්‍රොමෝට් කරගන්න පුළුවන්.

හැබැයි ඔය මොන දේ කළත් තමන්ගේ සීමාව තියාගන්නත් ඕනේ. මොකද හරි විදියට හරි දෙයක් කරන්නේ නැත්තම් සෝශල් මීඩියාවල විතරක් නෙමෙයි කොයිම තැනකවත් පැවැත්මක් නැහැ.”

තව සුළු කාලෙකින් ඇය වෛද්‍යවරියක්. වෛද්‍ය වෘත්තිය කියන්නෙ ජීවිත සුවපත් කරන උතුම් වෘත්තියකටනේ. ඉතින් වෛද්‍යවරියක් වෙන්න තීරණය කළ එක ගැනත් ඇය අද බොහොම සතුටුලු.

ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නෙම අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්. බෙහෙත්වලින්ම විතරක් නෙමෙයි ඩොක්ටර් කෙනෙක්ට වචනවලිනුත් මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න පුළුවන්. අන්න එහෙම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි මට ඕනේ.”

කතාව අතරතුරේ සොනාලි හැම වැඩකටම හයියක් වෙන ඇගේ ආදරණීය සැමියා එරංග අබේගුණසේකරවත් මතක් කළා. ප්‍රසාද් ඩී සිල්වා, දුලන්ක පතිරණට වගේම තවත් විශේෂ කෙනෙක්ටත් ඇය ස්තූති කළා.

දෙරණේ සචිනි නිපුන්සලා අක්කවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මගේ කවර්ස් බලලා නංගි ඔයා  හොඳට නටනවා කියලා අක්කා මට විශ් එකක් දාලා තිබ්බා. එදා ඉඳලා ගොඩක් වැඩවලට උදව් කළා. සාමාන්‍යයෙන් අලුත් අයට අත දෙන එහෙම අය හරි අඩුයිනේ.”

අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙනුත් ඇය වචනයක් කිව්වා.

මුලින්ම රැල්ලට යන්නෙත් නැතිව තමන්ට ගැලපෙන හරි දේ තෝරගන්න. පස්සේ ඒ දේ කරද්දි අරයා මොනා හිතාවිද මෙයා මොනා කියාවිද කියලා හිත හිතා ඉන්නේ නැතිව ඒ දේ පටන්ගන්න. තමන්ගේ අරමුණුවලට යන්න බයවෙන්න එපා. තමන් කරන්නේ හරි දේ කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නම් ඒ ඇති.”

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ප්‍රදීප් දඹරගේ

පසුතලය The Joint Pub and Grill- Colombo

හැඩගැන්වීම – රංග ඩයස්