විශේෂාංග

ගුවන් සේවිකාවක් වෙන්න බය වෙන්න ඕන නෑ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපේ නිල ඇඳුම ඇඟට දාගෙන වෙනත් රටවල මිනිස්සු ඉස්සරහට යද්දී හිතට දැනෙන හැඟීම වචනවලට පෙරළන්න බැහැ. විදෙස් රටවල අය අපේ නිල ඇඳුමට ලස්සනයි කිව්වම ඒක දැනෙන්නේ හරියට අපේ රට ලස්සනයි කිව්වා වගෙයි. එතකොට නම් හරි ආඩම්බරකමක් දැනෙනවා.”

එසේ පවසන්නී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම කාන්තා මැදිරි කළමනාකාරිණී ලක්මිණී ජයසූරියයි.

මේ දිගහැරෙන්නේ අද ධරණීකවරය දරාසිටින ගුවනේ හැඩකාරිය, ලක්මිණී අපට කියූ සුවිශේෂී කතාවයි.

ගුවන් සේවිකාවක් වෙන්න ඕනේ කියන හීනය මගේ හිතට කාවැදුනේ ඉස්කොලේ යන කාලෙදිමයි.මගේ හොඳම යාළුවගෙ අක්කා ගුවන් සේවිකාවක්. ඉතින් අක්කා එයාට කියන ලස්සන අත්දැකීම් ගැන යාළුවා මටත් කියනවා. ඒ කතා අහනකොට මටත් කවදහරි ගුවන් සේවිකාවක් වෙන්න ඕන කියලා හිතුණා. ඒ හැඟීම තමයි මාව ගුවන් සේවිකාවක් කළේ.”

ලක්මිණී මුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණවට බැඳෙන්නේ 1990 වසරේදීය.

ඒත් වෙලාවේ පුහුණවට යන්න වුණේ මාස දෙකයි. මගේ අම්මා ගණකාධිකාරිනියක්. තාත්තා රජයේ උසස් පරිපාලන නිලධාරියෙක්. මගේ උසස් අධ්‍යාපනය ගැන ඔවුන් ගොඩක් හීන දැක්කා. ඒ නිසා මමත් ගුවන් සේවිකා පුහුණුවෙන් ඉවත් වෙලා අධ්‍යාපනයට වැඩි අවධානයක් දුන්නා.”

නමුත් ඇය නැවතත් 1995 වසරේදී පමණ ගුවන් සේවිකාවක් ලෙසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන්නීය.

ගොඩක් අය හිතන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ලස්සන විතරක් තිබුණම ඇති කියලනේ. හැබැයි ඒක වැරදියි. ගුවන් සේවිකාවක් විදිහට පුහුණු වෙනකොට මෘදු කුසලතා සහ දැඩි කුසලතා කියන අංශ දෙකක පුහුණුවීම් ලබාදෙනවා. ඒ පුහුණුවීම් ඇතුළෙදි පෞරුෂය ගොඩනගාගන්න හැටි, ගුවනේදී මගීන්ගේ ආරක්ෂාව සලසන හැටි පුහුණු කරනවා. ඒ විතරක්ම නෙවෙයි අනපේක්ෂිත අනතුරු, භයානක අවස්ථා වගේ දේවලට හොඳින් මුහුණදෙන හැටි, ආහාර පරිපාලනය, මගියෙකුට වෛද්‍ය ප්‍රථමාධාර ලබාදීමට අවශ්‍ය දැනුම වගේ පුළුල් පරාසයකට ඔය පුහුණුව විහිදෙනවා.

ගුවන්යානයක් ගිනි ගත්තොත් එහෙමත් නැත්නම් මුහුදට කඩා වැටුණොත් ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න ඕන විදිහත් ප්‍රායෝගිකව අපිට කියලා දෙනවා. පරණ ගුවන්යානයක් ගිනි ගන්න සලස්වලා එහෙම තමයි මේ ප්‍රායෝගික පුහුණුවීම් කරන්නේ. ඉතින් ඒවත් එහෙම ලෙහෙසි පහසු පුහුණුවීම් නෙවෙයි.”

ගුවනේදී මගීන්ගේ ආරක්ෂකයින්, වෛද්‍යවරුන් සේම උපදේශකවරුන් වන්නේද මැදිරි කාර්යය මණ්ඩලයයි. ගුවන් සේවිකාවක් වීමට මේ සියල්ල මාස තුනක පුහුණුවකින් උගත යුතු අතර, ඉන්පසු පැවැත්වෙන සම්මුඛ සහ ලිඛිත පරීක්ෂණ සමත්වීමද අනිවාර්යය.

ඒ ටෙස්ට්වලට ලකුණු 99ක් ගන්න එක අනිවාර්යයි. ඊටපස්සේ අපිට පුහුණු ගුවන් සේවිකාවක් විදිහට ගුවන්වාර තුනක් යන්න අවස්ථාව ලැබෙනවා. ඒ ගුවන්වාර තුනෙන් පස්සේ තමයි ගුවන් සේවිකාවක් විදිහට බලපත්‍රය ලැබෙන්නේ. මගේ පළවෙනිම ගුවන් ගමන යෙදුණේ සෞදි අරාබියේ දහරාන් නගරයට. එදා දැනුණු සතුට නම් මට තවමත් අමතක නැහැ.”

ගුවන් සේවිකාවක ලෙස සේවය කරන අතරතුරම කලා උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ නීතිවේදී උපාධි සම්පූර්ණ කරමින් මාපිය සිහින සැබෑ කිරීමටද ඈ සමත් වූවාය.

සේවයට බැඳිලා අවුරුදු තුනකින් කැබින් සුපවයිසර් තනතුරට අයැදුම් කරන්න පුළුවන්. සුපවයිසර් කෙනෙක් විදහට වසර පහක් සේවය කළාට පස්සේ තමයි කැබින් මැනේජර් කියන තනතුරට යන්න පුළුවන් වෙන්නේ. 2011 අවුරුද්දේ තමයි මම කැබින් මැනේජර් කෙනෙක් විදිහට වැඩ බාරගත්තේ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් මැනේජර්වරුන් එකසිය ගානක් ඉන්නවා. එයින් 22ක් කාන්තාවන්.”

ලක්මිණීගේ නිල ඇඳුම ගුවන් සේවිකාවන්ගෙන් අප නිතර දකින නිල් පැහැති නිල ඇඳුම නොවේ. ඇය හැඩවන්නේ මැදිරි කළමනාකාරිණියන් සඳහා වෙන්වූ තැඹිලි පැහැති ඔසරියකිනි.

ගුවන් නියමුවන්ගෙන් පස්සේ ගුවන්යානයේ සියලුම වගකීම් පැවරෙන්නේ කැබින් මැනේජර්ට. යානයේ මගීන් සම්බන්ධ ගැටළු, පියාසරියේදී මගීන්ගේ සියලුම කටයුතු කළමනාකරණය කිරීම සහ කාර්යය මණ්ඩලය හැසිරවීම වගේ විශාල වගකීමක් මෙතැනදී අපට පැවරෙනවා.”

ගුවන් සැරියේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම්වලදී නොබියව කටයුතු කරමින් ගුවන් මගීන්ව සන්සුන් කිරීමද ඇයට පැවරෙන ප්‍රධාන රාජකාරී අතරින් එකක්ය. ඒ පිළිබඳ ඈ සතු සුවිශේෂී මතකයන් ලක්මිණී දිගහැරියේ මෙසේය.

එකපාරක් අපි ගිය ගුවන්යානයක එන්ජින් එකක ප්‍රශ්නයක් වෙලා නැවත ගොඩබාන්න සිද්ධ වුණා. මේක නිවේදනය කළාම ගොඩක් මගීන් හරියට කලබල වුණා. ඉතින් පස්සේ කොහොමහරි එයාලව සන්සුන් කරලා ගුවන්යානය ගොඩබෑමට සුදානම් කළා. මේ සේරටම ලැබෙන්නේ විනාඩි කිහිපයක් විතරයි. වාසනාවකට එදා අපි කිසිම කෙනෙක්ට අනතුරක් වුණේ නැහැ.”

එවැනි සිදුවීම්වලට අමතරව ඇතැම් මගීන්ගේ ක්‍රියාකලාපයන් නිසා අපහසුතාවලට පත්වන අවස්ථාද ඇති බව ඈ කියයි.

මම බොහොම නිහතමානී විදිහට මගේ සේවය ලබාදෙන කෙනෙක්. හැබැයි එකම දේ කිහිපවරක් කිව්වත් තේරුම් ගන්නේ නැති මගීනුත් නැතුවම නෙවෙයි. එහෙම වෙලාවට අපි මුලින්ම වචනයෙන් අවවාද කරනවා. පස්සේ ලිඛිතව අවවාද කරන්න සිද්ධ වෙනවා. ඒ කරලත් බැරිවෙන තැනදී පුංචි මාංචු කුට්ටමක් වගේ එකක් දාන්න සිද්ධවෙනවා. සිඩ්නිවල ඉඳලා එනකොට දවසක් එක පුද්ගලයෙක් බොහොම කලහකාරී විදිහට හැසිරෙන්න පටන්ගත්තා. ඔහුගේ අත්වලට මාංචු දාන්න යද්දී ඔහු ඉතාම වැරෙන් ඔහුගේ කකුලෙන් මට පහර දුන්නා. පස්සේ තමයි ඔහු යම් මානසික ගැටළුවකින් පීඩා විඳින පුද්ගලයෙක් කියලා අපි දැනගත්තේ.”

වෘත්තීමය ජීවිතය තුළ අයහපත් අත්දැකීම්වලට වඩා යහපත් අත්දැකීම් වැඩි බව ඈ කීවේ සතුටු සිතින්ය.

සුවිශේෂී පුද්ගලයින් අපිට දිනපතාම වගේ හමුවෙනවා. ශිල්පා ශෙට්ටි, මධුරි දික්සිත් වගෙ නළු නිළියන් ඕනෑතරම් මට මුණගැහිලා තියෙනවා. එතනින් ගියහම වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දේශපාලන නායකයින්, ජනාධිපතිවරුන් සහ ජනප්‍රිය චරිත අපට හමුවෙනවා. අපිත් එක්ක ඡායාරූප ගන්න පවා ඔවුන් හරි කැමැතියි.”

ඇය කියන්නේ එවැනි හමුවීම් ඇය ජීවිතයේදී ලද සුවිශේෂී අත්දැකීම් බවය.

කොවිඩ් ව්‍යසනයෙන් රට රටවල ශ්‍රී ලාංකිකයන් අසරණ වුණු මොහොතේදී ජාතික මෙහෙවරක යෙදෙන පිරිස අතර ලක්මිණී ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් කාර්යය මණ්ඩලයද වූ බව නොකියාම බැරිය.

අපේ ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවල හිරවෙලා අසරණ වුණු අවස්ථාවක් තිබුණනේ. ඒ වෙලාවේ අපි එයාලව ගන්න ගියහම ප්ලේන් එකට නැග්ග හැටියෙම ගොඩක් අය කිව්වේ ලංකාවට ගියා වගේ දැනෙනවාකියලයි. සමහරු ඒ වෙලාවේ අපිව බදාගෙන ඇඬුවා. ඇත්තටම ඒක හරිම සංවේදී කාලයක්. අපිත් මේ රටට ලොකු සේවයක් කරනවා නේද කියන හැඟීම ඒ වෙලාවෙදි මගේ හිතට නම් තදින්ම දැනුණා.”

ශ්‍රී ලංකන් ගුවන් සේවය සැමවිටම දෙස් විදෙස් ගුවන් මගීන්ට වඩා උසස් සේවයක් ලබාදීමට බැඳී සිටින බව පැවසීමටත් ඈ අමතක නොකළාය.

සමහර විදේශීය මගීන් පවා වෙනත් ගුවන් සේවාවල යන්නේ නැතුව වේටින් ලිස්ට්වල ඉඳලා අපේ ගුවන් සේවය එක්ක එකතු වෙනවා. එකපාරක් අපේ සේවය ගැන පැහැදුනු කුවෙට්වල කුමාරයෙක් අපේ සේවයට කරන ගෞරවයක් විදිහට ගුවන්යානයේ මුළු කාර්යය මණ්ඩලයටම ඒ රටේ තියෙන ලොකුම රෙස්ටුරන්ට් එකක භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින් අපේ ගුණාත්මකබව ගැන පැහැදිලි කරන්න ඒ උදාහරණයම ප්‍රමාණවත් කියල මම හිතනවා.”

ඒ සියල්ල මැද රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබර කරගැනීමට ඇයට සැමියාගෙන් නිබඳවම සහාය ලැබුණු බවත් ලක්මිණී මතක් කළාය.

යගේ ඉදිරි බලාපොරොත්තුව ගුවන් මැදිරි කළමණාකාර තනතුරට පසුව තිබෙන ගුවන් මැදිරි සේවා උපදේශක තනතුර සඳහා අයැදුම් කිරීමයි. මැදිරි කාර්යය මණ්ඩලයට අවශ්‍ය උපදේශන සහ පුහුණුවීම් ලබාදීම එම තනතුරේ ස්වභාවයයි. එසේම ගුවන් සේවිකාවක ලෙස සේවයට බැඳීමට කැමැත්තක් දක්වන තරුණියන් වෙනුවෙන් වචන කිහිපයක් පැවසීමටද ඈ අමතක නොකළාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදිරි කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් 1,100ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එතනිනුත් 750ක්ම කාන්තාවන්. සමහර අය කියනවනේ ගුවන් සේවිකාවක් වෙන එක ඒ තරම් හොඳ රැකියාවක් නෙවෙයි කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. කවුරුහරි මේ රැකියාව තෝරගන්න ඉන්නවා නම් බය නැතුව මේක තෝරගන්න. ඇත්තමයි ඔයාට දවසක හදවතින්ම ආඩම්බර වෙන්න පුළුවන් කියලා මම කියනවා.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප මධුසංක සිරිවර්ධන