විශේෂාංග

රටම කතා කරන සුබෝධනී කවුද?

පරිපාලන සේවයේ විවිධ කඩයිම් පසු කරමින් පැමිණි ඇය මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකි.

ගුරු වැටුප් ගැටළුව විසඳීම සඳහා පත්කළ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපතිත්වය දැරුවේද ඇයයි. ඒ නිසාවෙන්ම එම කමිටු වාර්තාව හැඳින්වූයේ සුබෝධනී වාර්තාව ලෙසය. ඒ සුබෝධනී කවුදැයි බොහෝදෙනෙකු තුළ කුතුහලයක් වූයෙන් අප ඇයගේ තොරතුරු සොයා ගියෙමු.

සොබාදහමට, සතා සිව්පාවුන්ට බෙහෙවින්ම ආදරය කරන ඇය ළමා වියේ මිහිරි මතකයන්ටද වඩාත් ඇලුම් කරන්නීය. මේ ඇය ධරණී පාඨකයින් වෙනුවෙන් ඒ මතක පෙළගැස්වූ අයුරුයි.

————————

ගුරුගෙදරක, ගුරු දෙමාපිය යුවළකගේ එකම දියණිය වූ ඇයට අම්මාගේ තාත්තාගේ පමණක් නොව මාමලා, පුංචි අම්මලාගෙත් මහා ආදරයක් එකවර භුක්ති විඳින්නට ඉඩකඩ ලැබිණි.

ඇත්තටම ඒ කාලේ හරිම ලස්සනයි. මම පුංචිම දවස්වල හිටියේ අගලවත්ත, ලත්පදුර කියන ගමේ. මගේ අම්මටයි, තාත්තටයි ගුරු මාරුවීම් එක්ක ලංකාවේ විවිධ ප්‍රදේශවලට යන්න සිද්ධ වුණා. මේ විදිහට තැන් තැන්වලට යද්දි මගේ ඉගෙනීමට බාධාවක් වෙයි කියලා ඔවුන් හිතුවා. ඒ හින්දා මම පුංචි දවස්වල ඉඳලම හැදුනේ අම්මගේ මහගෙදර. ඒ ආත්තම්මගේ ආදරය ලබමිනුයි. ඒ වෙනකොට පවුලට හිටපු එකම දරුවා මම නිසා අම්මගේ සහෝදර සහෝදරියන්ගේ ආදරය ලබන්නත් මට හැකි වුණා. ඇත්තටම මගේ මාමලාත් ගුරුවරු. ඒත් පොතට පතටම ඇලිලා ඉන්න ඕන කියලා මට කවුරුවත් නීති දැම්මේ නැහැ. විභාග පාස්වෙන්න ඕන, අනාගතයේ මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා බරපතළ කාරණා ඔවුන් මගේ ඔලුවට දැම්මේ නැහැ. ඒ නිසාම දඟකාර, ලස්සනම ළමා කාලයක් මට තිබුණා.”

ඇයට ඒ ළමා කාලය හැඩ ගන්වා ගන්නට පානදුර වරාමුල්ලේ පිහිටි ආත්තම්මාගේ ගෙදර කදිම නැවතුමක් විණි. සහෝදරයෙක් හෝ සහෝදරියක නැති අඩුවද ඇයට එම සෙනෙහස මැද නොදැනුණු තරම්ය. කෙසේ නමුත් කුඩාවියේ සිටම ඇය විප්ලවකාරී අදහස්වලින් යුතු දැරියකව සිටියාය.

මගේ අම්මට ඕන වුණේ මං ලොකු පුටුවකට යනවා දකින්න නෙමෙයි, මම හොඳ පුරවැසියෙක් වෙනවා දකින්නයි. ගහට කොළට ආදරය කරන, සතා සීපාවට ආදරය කරන, මිනිස් ගුණදහම් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා දකින්නයි. කොහොම නමුත් මම ඉගෙනීමටත් දක්ෂයි. පාසලේ විෂය බාහිර කටයුතුවලට උනන්දුයි. ඒ වගේම තමයි මම පොත් ගුල්ලියක්. පුංචි කාලේ ඉඳලා තමයි ඒ කැමැත්ත හිතට ආවේ. සාමාන්‍ය පෙළ ලියනකල් ටියුෂන් පන්තියකට ගියේ නැහැ. මට හීන කියලා දෙයක් තිබුණෙත් නැහැ. උසස් පෙළ ලියද්දී වෛද්‍යවරියක් වෙන්න ඕන කියන ආසාව ඇතිවුණා.”

ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙනි. බෞද්ධ දැරියක වුවද, තමාට ලැබුණු එම අවස්ථාව ජීවිතයේ සාර්ථකත්වයට බෙහෙවින්ම ඉවහල්ව තිබේ. පානදුර බාලිකාවෙන් ශිෂ්‍යත්වය සමත්වන ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වන්නේ ඉන්පසුය. සාමාන්‍ය පෙළ විශිෂ්ඨ අයුරින් සමත්ව පළමුවර ජීව විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ කළත්, ඊට සුදුසුකම් නොලැබුණි.

මට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා විද්‍යාවේදී උපාධිය කරන්න අවස්ථාව තිබුණා. ඒත් මම ඒකට කැමති වුණේ නැහැ. මම ආසාවෙන් ඉගෙනගත් උද්භිද විද්‍යා විෂය එක්ක නැවත වරක් උසස් පෙළ විභාගය කළා. ඒ ප්‍රතිඵල හොඳයි. ඉන්පස්සේ මම රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළා. ඉන්පසුව මම පළමු රැකියාව විදිහට ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර සම්පත් දායකයෙකු ලෙස සේවයට එක්වුණා.”

ඇය පේරාදෙණිය කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද ලැබුවාය.

මං ඔය අතරේ පරිපාලන සේවා තරඟ විභාගයට ලිව්වා. එය සමත්වෙලා වසරක පුහුණුවෙන් පසුව (2000 වසරේ) බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක් විදිහට පත්වීම් ලබනවා. එහි වසර හතක සේවයෙන් පසු මම තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය, වාරිමාර්ග හා සැලසුම් අමාත්‍යංශය, සමාජ සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. දැන් මම අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආයතන) ලෙස සේවය කරනවා.”

පරිපාලන සේවයේ වසර විසි එකක අත්දැකීම් සහිත ඇයට විවිධ අභියෝගවලටද මුහුණ දෙන්නට සිදුවූ අවස්ථා තිබේ. එහෙත් තමන් අභිමුවට එන අභියෝගවලට මුහුණ දෙන්නට තරම් ඇයට කුඩා වියේ සිටම ශක්තිමත් පදනමක් හිමිවුණි.

ඇත්තටම ආත්තම්මගේ සෙවනේ සුන්දර ළමා කාලයක් මට හිමිවුණා වගේම, ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙනගත්තා. අපි හුස්ම ගන්න ජීවිත. මිනිස්සුන්ට වගේම ගහකොළවලටත් සතුන්ටත් ඒ අයිතිය තිබෙනවා. ආත්තම්මා ඉන්න කාලේ ඉඳලම අපේ ගෙදර අවට පරිසරය අභය භූමියක් වගේ. සර්පයෙක් ආවත් මරන්නේ නෑ.

දවසක් කිට්ටුව ගෙදරක මරන්න ගෙනාපු ඌරෙක් අපේ වත්තට පැනලා හැංගිලා. මරණ බයේ වත්තට ආව සතාව අරන් යන්න ආත්තම්මා ඉඩ දුන්නේ නෑ. අයිතිකාරයා නොවන කෙනෙකුට ඌරව දෙන්නේ නෑ කියලා ආත්තම්මා කිව්වා. එහෙම කාරණා එක්ක හැප්පෙන්න පෞරුෂයක් එයාට තිබුණා. ඔය විදිහට අපේ වත්තේ ඒ සතා මාස අටක් විතර හිටියා. පස්සේ ඌරාගේ සැබෑම අයිතිකාරයා ග්‍රාමසෙවක මහත්තයා එක්ක ආවා ඌරා ගෙනියන්න. ඒ නිසා සතාව එදා දුන්නා. සතුන්ට දක්වන ආදරය, කරුණාව ගැන හැඟීමක් මට ආවේ ආත්තම්මාගෙන්. පාරේ තුවාල හැදුනු බල්ලෙක් හිටියත්, ගෙදර ගෙනැත් ආත්තම්මා බෙහෙත් කරනවා. මමත් ඒවට උදව් වෙනවා. ඒ වගේම අදටත් මම පාරේ ඒවගේ සතෙක් හිටියොත් ඒ සතාට මගේ අත්දෙකෙන්ම බෙහෙත් කරනවා. අපේ ගෙදර දැනට ඉන්න පූස් සුරතලාත් පාරෙන් ගෙනාව කෙනෙක්.”

ඇයගේ ආත්තම්මා මෙන්ම දෙමාපියන්ද දැන් ජීවිතයෙන් සමුගෙන ගොසිනි. නෑසියන්ගේ නොමඳ ආදරය ලැබුණෙන්, විවාහයක් ගැනද ඇය සිතුවේ නැත. අදටත් පුංචි අම්මා ඇයට සෙවණැල්ලක් මෙන් ආදරය දෙන්නීය.

පුංචි අම්මට දැන් වයස අසූවක් විතර. ඒත් එයා මාව බලාගන්නේ අර ඉස්සර බලාකියාගත්තා වගේ. අර ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා සින්දුව ඇහෙද්දී මට මතක් වෙන්නේ අම්මව නෙමෙයි පුංචි අම්මව. මොකද රැකියාව එක්ක අම්මා හිටියේ දුර. ඒත් පුංචිඅම්මා ඒ අඩුව නොදැනෙන තරමටම සෙනෙහස පෑවා. අදටත් ඇය හරිම ක්‍රියාශීලීයි.

වැඩිහිටි වයසේදී දෙමාපියන්ට ආදරය කොතරම් වැදගත් දැයි ඕ අත්දැකීමෙන් දන්නීය. ඒ ඇය වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරද්දී, දරුවන් නොසළකන දෙමාපියන්ගේ දුක් ගැනවිලි හොඳින් අසා තිබුණු නිසාය. ඉන් ඇතම් දෙමාපියන් සේසතම දරුවන් නමට ලියාදී පාරට වැටුණු අයය.

ඇත්තටම මම මගේ අම්මා තාත්තාට ජීවතුන් අතර හිඳිද්දී සියලු යුතුකම් කළා. මම හැම දරුවෙකුටම කියන දෙයක් තමයි මොන රාජකාරි තිබුණත් තමන්ගේ දෙමාපියන් පළමු තැන තියාගන්න. ඒ වගේම මිනිසුන් හැටියට අපි හිතින් සුන්දර විය යුතුයි. තව කෙනෙක් දිහා ආදරණියව හිතන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ වගේම කාන්තාවෝ ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. මමත් එහෙමයි. හැබැයි එතැනදී තමන්ට ගැළපෙන දේ තෝරා බේරාගන්න අපි දක්ෂ විය යුතුයි.”

ජීවිතය සරලව ගෙවන්නට කැමති ඇයට, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යද්දී ගෙන යන්නට ඇත්තේ ජනතාවගේ හොඳ හිත පමණක් බව ඇය කීවාය. එතෙක් තම යුතුකම්, වගකීම් මනාව ඉටු කරන්නට සැදී පැහැදී සිටින බවද ඇය අපට කීවාය.

දීපා වසන්ති එදිරිසිංහ