විශේෂාංග

එදා සුනිල් දික්කසාදය ඉල්ලුවා නම් මම අනිවාර්යයෙන්ම දෙනවා

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මෙරට ආන්දෝලනාත්මක කතා මැවූ චරිතයකි. ඔහුගේ බිරිඳ ගීතා පෙරේරා සමග සිදුකළ මේ කතාබහද, දශක හතරක් පමණ වන ඔවුන්ගේ විවාහ දිවියේ මුහුණදුන් ආන්දෝලනාත්මකම සිදුවීම ප්‍රධාන​කොටගෙන සිදුවූවකි. එමනිසා ගීතාගේ මේ කතාව ගැහැනියකගේ ඉවසීම සහ දරාගැනීම පිළිබඳ ප්‍රායෝගික පාඩම් පොතක් වැනි වනු ඇත.

‘‘මගේ හදවත පලන්න වුණේ මම මගේ බිරිඳගේ හිතට දීපු වේදනාව නිසා.’’ සුනිල් ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වේ මීට කාලයකට කලින්. ඔබ මේ ගැන කතා කරන්න කැමති නම් විතරක් අපට මේ සංවාදය එතැනින් පටන් ගන්න පුළුවන්?

ඔව්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒ ගැන විවෘතව කතා කරන්න කැමතියි.

හොඳයි. එහෙනම් මුලින්ම කියන්න සුනිල් එවැනි ප්‍රකාශයක් කරන්න හේතු වුණ සිද්ධියේ පසුබිම මොකක්ද කියලා?

මෙහෙමයි. මීට අවුරුදු විසි පහකට විතර කලින් වෙච්ච දෙයක් තමයි ඔය කතාවට පසුබිම් වෙන්නේ. ඒ කාලෙ සුනිල්ට වෙනත් කාන්තාවක් සමග සම්බන්ධයක් තිබුණා. ඇය සුනිල්ලත් එක්කම ගීත ගායනා කළ කෙනෙක්. මම හැබැයි කවදාවත් ඒවා හොයන්න ගියේ නැහැ.

ඒ සම්බන්ධය ගැන ඔබ දැනගෙන හිටියෙ නැද්ද ඉතින්?

මම ඒ ගැන හොඳටම දැනගෙන හිටියා.

ඒ වෙලාවෙ ඔබේ හිතට ආවෙ මොනවද?

මුලින්ම මගෙ හිතට ආවෙ වැරදි නොකර මම හොඳින් ජීවත් වෙද්දි මෙහෙම වුණේ ඇයි කියන එක. වෙනත් පවුලක වුණත් සැමියා හරි බිරිඳ හරි ඔය වගේ වැරදි දේක පැටලිලා ඉන්නවා නම් මගෙ හිතට ලොකු දුකක් එන්නේ. ඇයි එහෙම වෙන්නෙ කියල හිතල තමයි එහෙම දුකක් ඇති වෙන්නේ. මම වැරදි නොකර ජීවත් වෙද්දි සුනිල්ට මෙහෙම දෙයක් වුණේ ඇයි කියලා මගේ හිතට තදින් දැනුණා.

සුනිල්ගෙන් ඔබ ඔය සම්බන්ධය ගැන ඇහුවෙ නැද්ද?

එකම එක පාරක් ඇහුවා. සුනිල් එතකොට හරි උත්තරයක් දුන්නේ නැහැ. මට ඒ වෙලාවේ හිතුණා අපි මේ ගැන කතා නොකර මේ විදියට ගියොත් සිදුවීම් දෙකකින් එකක් වෙන්න පුළුවන් කියලා. එක්කෝ සුනිල් අපිත් එක්ක ඉඳීවි. නැත්නම් සුනිල් මේ ප්‍රශ්නය උඩ මගෙන් වෙන්වෙලා යාවි.

ඔය කාලෙ වෙනකොට දරුවන්ට වැඩි වයසක් නැහැ නේද?

ඔව්. හතරදෙනාම ඉගෙනගන්න වයසේ. මම ඒ වෙලාවෙ හිතුවා සුනිල් එක්ක කිසිම ගැටුමක් ඇති කරගන්නෙ නැහැ කියලා. මොකද එහෙම ගැටුම් ඇති කරගන්න මම හරි ලැජ්ජයි. දරුවො හතරදෙනා හොඳට හදාගන්නවා කියලා ඒ වෙලාවෙ මම හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා.

ඔබයිසුනිලුයි අතරෙ ඇති වුණු මේ ප්‍රශ්නය දරුවන්ට දැනුණෙ නැද්ද?

මම දරුවන්ට ඒවා දැනෙන්න ඉඩ තිබ්බෙ නැහැ. හැබැයි ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී මේ ප්‍රශ්නය ගැන තේරුණා.

සුනිල්ගෙ හදවත් සැත්කම කළේ ඔය කාලෙද?

කාලය ඔහෙම ගෙවිල ගියා. සුනිල් ජිප්සීස් සංගීත කණ්ඩායමත් එක්ක සංගීත ප්‍රසංගයකට ඇමෙරිකාවට ගියේ ඔය අතරේ. ඒ ගමනට සුනිල් සමග සම්බන්ධය තිබුණු කාන්තාවත් ගියා. සුනිල් ඇමෙරිකාවෙ ඉන්නකොට තමයි හදවත් සැත්කම කරන්න වුණේ.

සුනිල් ඒ වෙලාවෙ ඔබට කතා කළාද?

ඔව්. ඔහු, ඔහුත් සමග හිටි අයට කියලා තිබුණා ගංගාට කතා කරන්න ඕන කියලා. ඊටපස්සේ සුනිල් මට කතා කළා. හදවත් සැත්කමක් කරන්න සිදුවෙලා තියෙනවා කියලා ඔහු මට කිව්වා.

ඔබ මොනවද ඔහුට ඒ වෙලාවෙ කිව්වේ?

මම කිව්වා මට ඇමෙරිකාවට එන්න ඕන කියලා.

ඉතින් ඔබ එහෙ ගියාද?

ඔව්. මම සුනිල්ගෙ අම්මටත් කිව්වා මට ඇමෙරිකා යන්න ඕන කියලා. එතකොට ඇයත් කැමැති වුණා මාත් එක්ක යන්න. අපට ස්පොන්සර් ලෙටර්ස් ආවා. වීසාත් ලැබුණා. අම්මයි මමයි ඇමෙරිකාවට ගොඩ බැස්සෙ සැත්කම කළ දවසෙ උදේ. වෙලාවට රෝහලට යන්නත් පුළුවන් වුණා.

සුනිල් සමග සම්බන්ධය පැවති කාන්තාව ඔබ යනවිට රෝහලේ හිටියෙ නැද්ද?

ඇයත් එතැන හිටියා. ඇය මට හරියට හිරිහැර කළා. මම ඒවා එකක්වත් ගනන් ගන්නේ නැතිව සුනිල්ගේ බිරිය විදියට මගෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළා.

ඔබ ඇමෙරිකාවෙ කොච්චර කාලයක් හිටියද?

මාස එකහමාරක් හිටියා. ඊටපස්සේ මම ලංකාවට ආවෙ සුනිල් එක්කමයි.

ලංකාවට ආවට පස්සේ සුනිල්ගේ ඒ සම්බන්ධය නැවතුණාද?

නැහැ. ඊටපස්සෙත් ඒ සම්බන්ධය තිබුණා. මම හැබැයි බිරිඳ විදියට සුනිල්ට සාත්තු සප්පායම් කරගෙන අපේ දරුවොත් බලාගෙන පාඩුවේ ජීවත් වුණා. ඔහොම කාලය ගෙවෙන අතරේ තීරණාත්මක දෙයක් සිද්ධ වුණා.

ඒ මොකක්ද?

සුනිල් එක්ක සම්බන්ධය තිබුණු කාන්තාව සුනිල්ට කියලා තිබුණා මගෙන් දික්කසාද වෙන්න කියලා. හැබැයි ඒ වෙලාවෙ සුනිල්ට එකපාරට හිතිලා තියෙනවා ‘ගංගා කිසිම වැරැද්දක් නැතුව ජීවත් වෙන කෙනෙක්, මම කොහොමද කටක් ඇරලා එයාගෙන් ඩිවෝස් එක ඉල්ලන්නේ’ කියලා.

ඔය දවස්වල ඔබට මොන වගේ හැඟීමක්ද තිබුණේ?

ගැහැනියක් බලාපොරොත්තු නොවන දෙයක් එදා මට වෙමින් තිබුණේ. ඒ නිසා යම් හිස් බවක් මට දැනුණා. මම බිරිඳක් විදියට මගේ යුතුකම් ඉටුකළාට කැමැත්තකින් නෙවෙයි ඉන්නේ කියන එක සුනිල්ටත් තේරුණා.

සුනිල් මොනවද ඔබට කිව්වේ ඒ වෙලාවේ?

ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. දවසක් සුනිල් මට කිව්වා ‘ඒ සම්බන්ධය දැන් නැහැ, මට ඔයයි දරුවොයි එක්ක ඉන්න ඕන’ කියලා. ‘අපි බොහොම සතුටින් ජීවත් වුණු පවුලක්, ඒ පවුල යළි හදාගමු’ කියලත් ඔහු කිව්වා.

ඔබ එයට කැමති වුණාද?

ඔව්. අපි අපේ පරණ ජීවිතේ යළි හදාගන්න උත්සාහ ගත්තා. හැබැයි අර කාන්තාව සුනිල්ගේ ජීවිතෙන් යන්න සූදානම් වුණේ නැහැ.

ඔබ මොනවද ඒ වෙලාවෙ ක​ළේ?

මම නම් මොකුත් කළේ නැහැ. හැබැයි සුනිල් මට කිව්වා ඔහු වැඩවලට එළියට යද්දි මටත් ඔහුත් එක්ක යන්න එන්න කියලා. එතකොට ඒ කාන්තාව සුනිල්ගෙන් අයින්වෙලා යාවි කියන අදහසින් ඔහු එහෙම කිව්වේ. මට ඒ වෙලාවෙ දැනුණා සුනිල් අවංක උත්සාහයක් ගන්නෙ යළි පවුල තුළට එන්න කියලා. ඒ වගේම මට තදින් දැනුණා මේ මගේ මහත්තයා සහ මගේ දරුවන්ගේ තාත්තා කියන එක.

ඔබ ඉතින් සුනිල්ගෙ වැඩවලට ගියාද?

ඔව්. ලංකාව ඇතුළෙ ප්‍රසංගවලට යද්දිත්, විදේශ රටවල ප්‍රසංගවලට යද්දිත් මම සුනිල් සමග ඒවට ගියා. පිටරට යද්දි අපේ දරුවො හතරදෙනා මගේ අම්මා ළඟ තියලා ගියේ.

ඔය ප්‍රසංගවලට සුනිල් සමග සම්බන්ධය තිබුණු කාන්තාව ආවෙ නැද්ද සිංදු කියන්න?

ඇයත් ආවා. මට නොයෙක් හිරිහැරත් කළා. මම ඒවා ගණන් ගත්තේ නැහැ. එක තැනකදි ඇයට ​තේරුණා සුනිල්ගෙ ජීවිතය තුළ තවදුරටත් ඇයට ඉඩක් නැහැ කියලා. ඒ වෙලාවෙ ඇය ඉවත් වෙලා ගියා.

සුනිල් පපුව පළන්න වුණු කතාව කිව්වෙ ඔය සිදුවීම ගැන. සුනිල් ඕක ප්‍රසිද්ධියේ කිව්වහම මම ඔහුට කිව්වා ඕවා ගැන දැන් ආපහු කියන්න එපා කියලා. මොකද ඒවා දැන් අතීතයට එකතු වෙලා ඉවරයි.

සුනිල් ආපහු පවුලට එකතු වුණාම ඔබත් ඔහුත් අතර ඔය සිදුවීමට කලින් තිබුණු බැඳීම ඒ විදිහටම යළි ඇති වුණාද?

ඔව්. අනිවාර්යයෙන්ම. ඒ බැඳීම ඒ විදිහටම ඇති වුණා. මොකද සුනිල් මට දක්වපු ආදරය ඒ විදිහටම යළිත් දෙනකොට කලින් වගේම මම ගැන හොයා බලනකොට මගේ ඔහු ගැන තිබුණු ආදරය සහ බැඳීම ඒ විදිහටම ඇති වුණා. ඊටපස්සේ කවදාවත් මම සුනිල් එක්ක ඔය ගැන කතා කළෙත් නැහැ.

ඔය සිදුවීමෙන් පස්සේ ඒ විදියේ වැරැද්දක් සුනිල්ගෙන් නැවත සිදු වුණේ නැද්ද?

නැහැ. කලින් වගේම ආදරයෙන්, විශ්වාසය රැකගෙන සුනිල් මාත් එක්ක ජීවත් වෙනවා.

සුනිල් එදා කිව්ව නම් අපි දික්කසාද වෙමුකියලා ඔබ මොකද කරන්නේ?

අනිවාර්යයෙන්ම දික්කසාදය දෙනවා. මොකද එහෙම ජීවත්වෙලා වැඩක් නැහැ. මම අම්මා කෙනෙක් විදිහට දරුවො හතරදෙනාව හොඳට හදනවා. දරුවන් හොඳ මිනිසුන් කරනවා කියන අදහස තමයි මගේ හිතට ආවේ. මම අදටත් මගේ දරුවන්ට කියන්නේ අධ්‍යාපන මට්ටමින් එයාලා කොතැන නැවතුණත් මට කමක් නැහැ, හැබැයි කාටවත් කරදරයක් නොවී හොඳින් ජීවත් වෙන එක විතරයි මට අවශ්‍ය කියලා.

ඔබට අවුරුදු විස්සක් වෙනකොට දරුවන් හතරදෙනාම ලැබිලා. ඒ වගේ පුංචි වයසකදී කොහොමද දරුවන්ගේ කටයුතු කළමනාකරණය කරගත්තේ?

මෙහෙමයි, මමයි සුනිලුයි විවාහ වුණාට පස්සේ සුනිල්ගේ තාත්තා අපට ගෙයක් අරන් දුන්නා. මම පුංචි වයසක හිටිය නිසා මගේ අම්මයි, තාත්තයි, සහෝදරයො දෙන්නයි, සහෝදරියයි හිටියෙත් අපිත් එක්ක. මම මගේ ගෙදර අයත් එක්කම හිටිය නිසා මට ලොකු වෙනසක් දැනුණේ නැහැ.

අපේ ලොකු පුතා ඉපදෙනකොට මට වයස දාසයයි. මගේ අම්මා තමයි හැමදේම මට කියලා දීලා උදව් කළේ. අපේ බාලම දරුවට අවුරුදු දහයක් විතර වෙනකම් මගේ අම්මයි තාත්තයි අපිත් එක්ක හිටියේ. ඒ නිසා මට දරුවන්ගේ කටයතු කළමනාකරණය කරගන්න එක ගැටළුවක් වු‍ණේ නැහැ.

සුනිල් ඔබට ග්ලූකෝරස දුන්නු පළවෙනි දවස මතකද?

ඔව්. හොඳට මතකයි. ඒක වු‍ණේ මෙහෙමයි. මමයි මගේ නැන්දගෙ දුවලා තුන්දෙනයි මොරටුවෙ තිබුණු ජිප්සීස් සංගීත ප්‍රසංගයක් බලන්න ගියා. එදා සුනිල් අපිව දැකලා අපිත් එක්ක කතාබහ කළා. ඒ වෙලාවෙ සුනිල් අපට කිව්වා පස්සේ දවසක එයාලගෙ ස්ටූඩියෝ එකට එන්න කියලා. ඒ වෙනකොටත් සුනිල්ලගෙ සංගීත කණ්ඩායම සෑහෙන ජනප්‍රියයි. මම නම් වැඩිය ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. හැබැයි මගෙ ඥාති සහෝදරියන්ට සුනිල්ගෙ ආරාධනය සෑහෙන ලොකු දෙයක් වුණා. ඉතින් අපි ගියා සුනිල්ගෙ ස්ටූඩියෝ එකට. එදා තමයි ග්ලූකෝරස දුන්නේ. ඔහෙම ටිකින් ටික කතාබහ කරලා තමයි අපේ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තේ.

හැබැයි ඔබේ​ ප්‍රේම සම්බන්ධයට ඔබේ ගෙදරින් කැමති වුණේ නැහැ. ඔබට වයස අවුරුදු පහළොවේදී රෑ දහයට කසාද බඳින්න වුණේ ඒ නිසා නේද?

ඒක වුණේ මෙහෙමයි. අපේ සම්බන්ධයට ගෙදරින් අකමැති වුණු නිසා මට ඉස්කෝලෙ යන්න දුන්නෙ නැහැ. මට ඉතින් සුනිල්ට කතා කරන්න විදියකුත් නැහැ. ඒක මට හරිම වදයක් වුණා. ඒ නිසා මම ගෙදරට නොකියා බොරලැස්ගමුවෙ හිටිය මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා.

ඒ වෙලාවෙ මගේ අම්මයි තාත්තයි හිතලා තියෙන්නෙ සුනිල් මාව අරන් ගියා කියලා. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා සුනිල් මාව අරන් ගියා කියලා. ඊටපස්සෙ සුනිල්ව පොලිසියට අරන් ආවා. මාවත් පොලිසියට ගෙන්නුවා. ඒ වෙලාවෙ සුනිල් කිව්වා ‘මම ගංගාව විවාහ කරගන්න කැමැතියි’ කියලා. ‘මෙහෙම කලබලේට නැතුව හොඳින් විවාහ ලියාපදිංචිය කරමු’ කියලත් ඔහු කිව්වා. ඒ වෙලාවෙ අපේ අම්මා කිව්වා ‘එහෙම බෑ, මේ දැන්ම බඳින්න ඕනෑ’ කියලා. ඉතින් රෑ දහය හමාරට අපි කසාද බැන්දා.

එතකොට සුනිල්ට වයස කීයද?

තිහයි.

හැමෝම ගංගා කියලා කිව්වට ඔබේ ඇත්ත නම ඒක නෙමෙයි නේද?

ඔව්. මගේ නම ගීතා පෙරේරා. ගංගා කියලා තමයි පොඩි කාලෙ ඉඳලා හැමෝම මාව දන්නේ. ගෙදර අය ආදරේට ‘ගංගා’ කියන්න අරන් තියෙන්නේ.

ඔබ බෞද්ධ. සුනිල් කතෝලික. ඔබ දෙපළගෙ විවාහ දිවියට දැන් දශක හතරක්. දෙන්නා ආගම් දෙකක වීමෙන් ගැටළු ඇතිවුණ අවස්ථා නැද්ද?

කවදාවත් කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ. දැන් අපට මුස්ලිම් ලේලි කෙනෙකුත් ඉන්නවා. හැබැයි ආගම් සම්බන්ධයෙන් සුනිල් මාධ්‍යයට ඇවිත් ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශවලට මමවත් දරුවන්වත් කැමති නැහැ.

එදා සුනිල්ගේ ජීවිතේ හිටපු කාන්තාව ගැන අද ඔබට මොකද හිතෙන්නේ?

පහුගිය දවසක සුනිල් ඇතුළු පිරිසක් සහභාගි වුණු රූපවාහිනී වැඩසටහනකට ඇයත් ඇවිත් ඉන්නවා මම දැක්කා. වෘත්තිමය කටයුතුවලදී සුනිල්ට ඇය මුණගැහෙනවා ඇති. කතාබහ කරනවත් ඇති. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ හිතේ ඇය ගැන තරහකුත් නැහැ. ඇය, ඇගේ ජීවිතය හොඳින් හදාගෙන ගෙවනවනම්, අපි අපේ ජීවිත හොඳින් ගෙවනවා නම්, එච්චරයි.

හසිත කුරුප්පු

ඡායාරූප සුදම් කුලසේකර