විශේෂාංග

මම කිව්ව දේ අහලා ඉස්සර වුණානම් අදත් එයා ජීවතුන් අතර සන්ශයින් සුද්දාගේ පෙම්වතිය කියයි

පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකදුරේ මධූෂ්ගේ ගෝලයෙකු බව කියන, ‘සන්ශයින් සුද්දා මාතර කොටවිලදී නාඳුනන කණ්ඩායමක් විසින් පසුගිය (03) වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙසේ ඝාතනයට ලක් වූ 29 හැවිරිදි අමිල ප්‍රසංග නොහොත් සන්ශයින් සුද්දා මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, හෝටල් සහ ධීවර කර්මාන්තවලට සම්බන්ධ අයෙකි. දීර්ඝ කාලයක සිට මාකදුරේ මධූෂ් සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි කියන සන්ශයින් සුද්දා, ඩුබායිහි පැවති මධුෂ්ගේ සාදයේ පවා සිට ඇති අතර, ඒ හේතුවෙන් මාස කිහිපයක් එරට බන්ධනාගාරයකද රඳවා සිට ඇත.

මාතර, කොටවිල පදිංචි පේශලා පියුමි ගමගේ නමැති 22 හැවිරිදි තරුණියක් සමඟ ඔහු සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර, පසුගිය 03 වැනිදා ඇගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

දකුණ පමණක් නොව රටම කතාබහ කළ මෙම සිද්ධියේ අග මුල ගැන ඔහුගේ පෙම්වතිය පේශලා ධරණීට කී කතාවයි මේ…  

මේ වෙනකොට මම සුද්දගෙ අනියම් බිරිඳ කියලා ලේබල් ගහලාහැබැයි මමයි සුද්දයි ආදරේ කරේ අපි දෙන්නම වෙන අයව බඳින්න කලින් ඉඳලාඒත් ටික කාලෙකින් අපි ඒ සම්බන්ධෙ නතර කරා. ඊටපස්සෙ තමයි මට චමිත්ව හම්බුණේ. ඒ ෆේස්බුක් එකෙන්. ඊටපස්සේ මම චමිත්ව බඳින්න තීරණය කළා. හැබැයි ඒ වෙද්දි මට අවුරුදු දහඅටක්වත් සම්පූර්ණ වෙලා තිබුණෙ නෑ. අනික චමිත් මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්. ඒක නිසා අපේ ගෙදරින් මේ සම්බන්ධෙට ටිකක්වත් කැමති වුණේ නෑ

ගෙදර අය මට කට කැඩෙනකන් කිව්වා චමිත් කියන්නෙ හොඳ මිනිහෙක් නෙවෙයි අතාරින්න  කියලා. ඒත් 2016දී මට අවුරුදු 18 සම්පූර්ණ වෙනකොටම චමිත් මාව ගෙදරට හොරෙන් එක්කන් ගිහින් කසාද බැඳගත්තා.

එදායින් පස්සෙ මගේ පවුලේ අය මාව ගෙදරට ගත්තේ නෑ.”

දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය මැද ජීවත් වූ පේශලාගේ ජීවිත කතාවට අඳුරු පිටුවක් එකතුවන්නේ එතැන් සිටය.

කසාද බැඳලා ටික දවසක් යද්දී තමයි මම දැනගත්තේ චමිත් කියන්නේ කලිනුත් දෙපාරක් කසාද බැඳපු මනුස්සයෙක් කියලා. ඒ වගේම ඒ මනුස්සයා හම්බකරේ ගණිකා මඩමක් කරලා. ඒත් මට ආපහු හැරෙන්න බැරි නිසා මම මොන දුක හරි විඳගෙන ජීවත් වෙනවා කියලා හිත හදාගත්තා

ඒත් ටික දවසක් යද්දි චමිත් මාවත් මිනිස්සුන්ට විකුණන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි මට දුව හම්බෙලා මාසයක් යනකොට එයා ගෙදරට වෙන ගෑනු කෙනෙක්ව එක්කගෙන ඇවිත් මට පේන්න මගේ කාමරේම ඒ ගෑනු කෙනා එක්ක හිටියා.

ඊටපස්සෙ ගෙදරට ජෝඩුවකට එන්න කියලා චමිත් ඒ ගෑනු කෙනා එක්ක ඉද්දි, මට ඒ පිරිමි කෙනා එක්ක ඉන්න කිව්වා. මට ඒ අපායේ ජීවත්වෙන්න බැරි තැන මම දොළොස් වතාවක් අම්මලාගෙ ගෙදර ගියා. ඒත් ඒ ගියපු හැමවතාවකම චමිත් ඇවිල්ලා අපේ තාත්තට මන්නෙන් කොටලා, නංගිට අම්මට ගහලා මාව බලෙන් අරන් ගියා.”

පසුව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇයව නැවතත් මහගෙදර ගෙන යාමට ඇගේ දෙමව්පියන් විසින් කටයුතු කර තිබුණේ චමිත්ගේ දැඩි තර්ජන ගර්ජන මැද්දේය.

ඇගේ ජීවිතයට නැවතත් පරණ පුරුදු ආදරයේ හෙවනැල්ල වැටෙන්නට පටන් ගත්තේ මේ අතරය.

ඊටපස්සෙ මම ගෙදර ඇවිත් ගිය අවුරුද්දෙ පෙබරවාරි 5 වෙනිදා ආපහු සුද්දට කතා කළා. මට සිද්ධ වෙච්ච හැමදේම එයාට කිව්වා. ඒ වෙද්දි එයත් බැඳලා පුතෙකුත් හිටියා. නීතියෙන් දික්කසාද වෙලා නොතිබුණාට  එයාලා ජීවත් වුණේ එක වහලක් යට නෙවෙයි. ඒක නිසා සුද්දා මට කිව්වා මාවයි, දුවවයි එයා බලාගන්නම් ආපහු චමිත් ළඟට යන්න එපා කියලා

එදා ඉඳන් මගේ දුවව අපේ ගෙදර අම්මා ළඟ නවත්තලා, මම සුද්දා එක්ක එයාගෙ මිරිස්සෙ සන්ශයින් හෝටලේම කාමරේක නතර වුණා.”

පේෂලා, සුද්දා සමඟ ගිය පසු, චමිත් භූමිතෙල් වැදුණු ගැරඩියෙක් මෙන් කිපුණු බව ඈ කියයි.

චමිත් හැමවෙලාවෙම සුද්දගෙ ෆෝන් එකටයි, ෆේස්බුක් එකටයි මැසේජ් එවලා මරණ තර්ජන කළා. මුළු වරකාපිටියම හෙල්ලෙන විදිහට උඹව මරණවා, සුදු කොඩි ලෑස්ති කරගනින් කිව්වා. ඒ හැමවෙලාවකම මම සුද්දට කිව්වා ඒ මිනිහා ඉස්සර වෙන්න කලින් ඔයා ඌව ඉවරයක් කරන්න කියලා. අනේ ඒ හැමවෙලාවකම ඒ අහිංසක මනුස්සයා කිව්වෙ මම ඒ වගේ පව්කාර වැඩ කරන්නේ නෑ පේශලා කියලා…”

ඇය කියන්නීය.

පහුගිය තුන්වෙනිදා මට උණ ගතියක් තිබුණා. කෑම අප්පිරියා නිසා සුද්දා අපේ අම්මට කෝල් කරලා කිව්වා මට කන්න බත් ටිකක් ලෑස්ති කරලා තියන්න කියලා. අනේ ඒ බත් කට අරන් එන්න ගියපු වෙලාවෙ තමයි වෙඩි තියලා තියෙන්නේ. මැසේජ්වලින්, කෝල්වලින් තර්ජනය කරලා කියපු විදිහටම තමයි මගේ සුද්දාව මරලා දැම්මෙ.

සුද්දා කියන්නේ මිනිස්සු කියන තරම් වැරදි කරපු මනුස්සයෙක් නෙවෙයි. එයාට හෙරොයින් නඩු, කුඩු නඩු, මිනීමැරුම් නඩු තිබුණේ නෑ. ඩුබායි සිද්ධියට දාලා තිබුණ නඩුවෙනුත් එයාව නිදොස්කොට නිදහස් කළා. අනික සුද්දා කියන්නේ කුඩු ටිකක්, පිස්තෝලයක් ඇහැටවත් දැකලා නැති අහිංසක මනුස්සයෙක්. මට කියන්න තියෙන්නේ ඒ තරම් හොඳ මනුස්සයෙක් ආපහු කොහෙන්වත් දකින්න ලැබෙන්නෙ නෑ කියලා විතරයි.”

ලෝකෙටම කළු වුණත් ඇයට අනුව සුද්දාගේ චරිතය සුදුය. එසේ නම් ඔහු මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වූයේ කෙසේද වග අපගේ ඊළඟ පැනය විය.

සුද්දාගෙ මස්සිනා කෙනෙක් එයාගෙ දේපොල ගන්න එයාව මරන්න හැදුවා. ඒකෙන් ගැලවෙන්න උදව් ඉල්ලගන්න සුද්දා මධූෂ්ව හොයාගෙන ගිහින් තිබුණා. පස්සෙ මධූෂ් ඒ ප්‍රශ්නෙන් සුද්දාව බේරගෙන ඩුබායි යන්න කතා කරලා තිබුණා. එයාගේ ජීවිතේ බේරගත්ත මනුස්සයාගෙ වචනෙට පිටින් යන්න බැරි නිසා තමයි සුද්දා මධූෂ් එක්ක ඩුබායි ගිහින් තියෙන්නේ.”

තම තමාගේ කිල්ලෝටවල හුණු ඇති තරම දන්නේ තමාමය. නමුත් ඊට පෙර සියල්ලන් විසින් දැනගත යුතු තවත් කරුණක් ඇත. එනම් අවි ගත්තෝ අවියෙන්ම නසින බවය.

 

ලිහිණි මධුෂිකා