විශේෂාංග

අම්මයි තාත්තයි ඇඳේ ඉන්න හැටි දරුවො දැක්කම මොකද වෙන්නෙ?

අඩු වයසින් පිරිමි ළමයෙක් එක්ක පැනල ගිහින් දෙමාපියෝ ආපහු එක්කරගෙන ආපු දුවෙක් දවසක් මගේ සායනයට ආවා. දෙමාපියො ඒ දරුවාව මගේ සායනයට අරන් එද්දි එයාට වයස අවුරුදු 15යි. හැබැයි ඒ වෙනකොටත් ඇය වයසට නොගැළපෙන පුද්ගලයින් කිහිපදෙනෙක් එක්ක පවා සම්බන්ධතා පවත්වලා තිබුණා. ඉතින් මේ දරුවාව මානසික උපදේශනය සඳහා ගෙන්නගෙන ටිකක් කතා කරනකොට මෙහෙම තත්ත්වයත් ඇතිවෙන්න බලපාපු හේතුව තේරුම්ගන්න වැඩි කාලයක් ගියේ නෑ.

මේ දරුවා පුංචි කාලෙ දිගින් දිගටම ඇගේ මව සහ පියා නිවසේදී ලිංගික සම්බන්ධතා පවත්වන ආකාරය දැකලා තියෙනවා. එයින් ඇතිවුණු පෙළඹවීම සහ කුතුහලය නිසා තමයි ඇය මේ දේවල් අත්හදා බලන්න ඉක්මනින්ම සහකරුවෙක් තෝරගෙන තිබුණේ.

ඉතින් ඒ නිසා දෙමව්පියන්ගේ ලිංගික එක්වීමක් දැකීම, දරුවෙක්ගේ මනසට කොයි විදියටද බලපාන්නේ කියන එක ගැන මේ ලිපියෙන් පැහැදිලි කරන්න අපි හිතුවා.

‘‘අම්මා තාත්තා ලිංගිකව එකතුවෙන වෙලාවකදී අම්මේ! තාත්තේ! කියාගෙන දරුවෙක් හදිසියේම කාමරයට කඩන්වැදුණොත් අම්මා තාත්තා වගේම ඒ දරුවත් අපහසුතාවයට පත්වෙනවා. දරුවෙකුගේ වයසත් එක්ක ලිංගිකත්වය කියන දේ ඔහුගේ මනසට බලපාන ආකාරය වෙනස්.

අවුරුද්දක විතර පුංචිම දරුවෙක්ට නම් ඒ ගැන ලොකු අවබෝධයක් ඇත්තෙම නැති නිසා කාලයත් එක්ක ඔහුගේ හිතෙන් ඒ සිද්ධිය මැකිලා යන්න පුළුවන්. හැබැයි අවුරුදු දෙකේ තුනේ දරුවන්ට තමන්ගේ ලිංගික අවයව ගැන යම් කුතුහලයක් තියෙනවා. ඒ නිසා ඒ වයසේ දරුවෙක් මේ වගේ දෙයක් දැක්කොත් අර කුතුහලය වැඩි වෙන්න පුළුවන්.

ඒ වගේ වෙලාවක මවගේ කෙඳිරිගෑම් වගේ දේවල් නිසා තාත්තා අම්මට කරදරයක් කරනවා කියලා හිතන දරුවො ඉන්නවා. දරුවෙක්ගේ හිතට එවැනි සිතුවිල්ලක් ආවොත් ඒ දරුවා මුළු ජීවිත කාලෙම අර තාත්තට වෛර කරන්න වුණත් බැරි නැහැ. එහෙම අය අපිට මුණගැහිලා තියෙනවා.

අවුරුදු දහයෙන් පස්සේ දරුවෙක්ට ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වෙනවා. ඒ නිසා ඒ වගේ දරුවෙක් මෙවැනි දේවල් දැකීමෙන් යම් තෘප්තියක් ලබන්න පුළුවන්. ඊටපස්සෙ ඔහු හෝ ඇය හිතාමතාම නිතර නිතර මෙය නැරඹීමට උනන්දු වෙනවා. මව සහ පියා සමඟ එකම කාමරයක නිදාගන්න දරුවෙක් නම් නිදි වගේ අඟවලා හොරෙන් බලා ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඊටපස්සේ ඔවුන් අසභ්‍ය වීඩියෝ නැරඹීමට යොමු වෙන්න වුණත් බැරි නැහැ.

නව යොවුන් වියේ පසුවෙන දරුවන් නම් බොහෝවිට මෙවැනි දේ දැකීමෙන් අම්මා තාත්තා පිළිබඳ අප්‍රසාදයක්, පිළිකුලක් ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහරු තමන්ගේ බාල සහෝදර සහෝදරියන් එක්ක මෙවැනි දේ අත්හදා බලන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඉතින් ඒක බොහොම භයානක තත්ත්වයක්.

ඒ වගේම සමහර දරුවෝ නොදැනුවත්කම නිසා අම්මයි තාත්තයි රෑට කරන ඒවා පිටස්තර ඇන්ටිලා අංකල්ලා එක්ක කියන්න යනවා. එතැනදී අර වැඩිහිටියාට බොහොම පහසුවෙන් මේ දරුවව අපයෝජනයට ලක් කරන්න පුළුවන්. කායික ස්පර්ශය නිසා පුංචි දරුවෙක්ගේ ඇඟට සනීපයක් දැනුණොත් ඒ දරුවා දිගින් දිගටම එයට යොමුවෙන්න දෙපාරක් හිතන්නේ නැහැ.

දරුවෙක් අඩු වයයෙන් වැඩිවියට පත්වුණා කියන එකෙන් ඔහු දැන් ලිංගික හැසිරීමකට සුදානම් කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් කායිකව වගේම මානසිකවත් සූදානම් විය යුතුයි. නිසි කාලයට කලින් දරුවෙක් ලිංගිකව සක්‍රිය වුණොත් අධ්‍යාපනය පැත්තක තියලා ලිංගිකත්වය පසුපසම හඹායනවා. මේ කාරණාව පසුකාලීනව විවාහ ජීවිතේටත් බලපානවා. කුඩා වයසින් ලිංගිකව සක්‍රිය වුණු ඇතැමුන්ට පසුකාලෙක ලිංගිකත්වය කියන දේ එපාවෙලා පවුල් ජීවිත අවුල් කරගන්නවා. එහෙමත් නැත්නම් එක් අයෙකුගෙන් සෑහීමකට පත්වෙන්නට බැරි තරමට ඔවුන් ලිංගික ජීවිතයට ඇබ්බැහි වෙනවා.

ඒ වගේම මව්පියන්ගේ ලිංගික දර්ශන දකින සමහර දරුවන් ලිංගිකත්වය ගැන භීතියක් ඇති කරගන්නවා. එහෙම දරුවන්ට පසුකාලීනව සමාජ භීතිකාව, ලිංගික භීතිකාව වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. විවාහ වීම ප්‍රතික්ෂේප කරන ඇතැම් තරුණියන් කුඩා වියේදී දෙමව්පියන්ගේ මෙවැනි හැසිරීම් දැකලා තියෙන බව උපදේශනවලදී හෙළි වෙනවා. පුංචි කාලේ දැකපු එවැනි සිදුවීම් නිසා ඔවුන් විවාහය සහ ලිංගිකත්වය දකින්නේ බොහොම භයංකර දෙයක් විදියට. මේ වගේ හේතු නිසාම ලිංගික භීතිකාව, ලිංගික අකර්මණ්‍යතා ඇතිවුණු පිරිමි දරුවන් පවා මට හමුවෙලා තියෙනවා.

මේ වගේ දේවල් දකින හැම දරුවෙක්ටම මෙහෙම වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් එහෙම වෙන්න පුළුවන් ඉඩක් තියෙන නිසා ඒ දේවල් වළක්වන්න උත්සාහ කරන එක තමයි වැදගත්.

වැදගත්ම දේ තමයි දරුවන්ට හරිහමන් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම. මම ඉපදුණේ කොහොමද? කියලා දරුවෙක් ඇහුවම ගොඩක් අය ලේසියට කියනවා ‘ඔයාව ගෙනාවේ රෝස කැලෙන්’ කියලා.

රෝස කැලෙන් ආවා කියලා හිතාගෙන ඉන්න ළමයෙක්ට අර වගේ දෙයක් දැක්කම ඇතිවෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඒ නිසා ඒ වගේ කාරණා බොහොම සරලව ළමා මනසට ගැළපෙන විදියට දරුවට උගන්වන්න. ලිංගික අධ්‍යාපනය නිසා දරුවන් නොමඟ යනවා කියලා සමහර උදවිය කියනවා. දරුවන් නොමඟ යන්නේ ලිංගික අධ්‍යාපනය ඇතිකම නිසා නොවේ ඒක නැතිකම නිසයි.

‘නිදන කාමරයේ දොර අගුල් තියෙන්නේ හේතුවක් ඇතිවයි’ කියලා සුප්‍රකට ළමා මනෝවිද්‍යාඥ කෙවින් ලෙමන් කියලා තියෙනවා. ලිංගිකව එකතු වෙන්න කලින් කාමරය අගුළු දාගන්න පුළුවන් නම් මේ වගේ ගැටලු ඇතිවෙන්නෙ නෑ. අනිත් එක තමයි වැඩුණු දරුවන්ව අම්මා තාත්තා මැද්දේ නිදිකරවාගන්න එකත් ඒ තරම් සුදුසු දෙයක් විදියට මම නම් දකින්නෙ නෑ. ‘දැන් ඉතින් දරුවෝ ඉන්නවනේ’ කියලා ලිංගික සබඳතා නවත්තලා දාන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. එවැනි දේ නිසා පසුවට සංකීර්ණ පවුල් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න.

දරුවෙක් අහම්බෙන් මේ වගේ දෙයක් දැක්කොත් ඒක යටපත් වෙලා යන්න ඉඩ දෙන්න. ඒ ගැන ඇහුවොත් අම්මයි තාත්තයි ආදරේට බදාගෙන හිටියා කියලා ඒක පැහැදිලි කරන්න. ඒ වගේම ඉන්මතු එවැනි දේ දකින්න නොලැබෙන විදියට කටයුතු කරන්න.

දෙමව්පියෝ වුණත් නිතර නිතර දරුවන්ට මෙවැනි දේ දකින්න සලස්වන එක දැන හෝ නොදැන කරන ළමා අපයෝජනයක් කියන එකත් අවසාන වශයෙන් කියන්න ඕනේ.’’

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක/මනෝ චිකිත්සක

ආචාර්ය සුරංග අමරකෝන්

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි