නවතම ප්‍රවෘත්ති

වෙන ගෑනු අය එක්කතාත්තා සිංදු කියනවට ඉස්සර මම ආස නෑ

‘‘මම පුංචි කාලේ ඉඳලා තාත්තට හරිම ආදරෙයි. ඒ නිසා තාත්තා වෙන ගෑනු අයත් එක්ක සිංදු කියනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැලු. තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ටීවී එකේ ඉන්නවා දැක්කොත් මම දුවලා දුවලා ගිහිල්ලා ටීවි එකට කෙළ ගහනවලු.’’

එහෙම කියපු ස්වේතා හිනාවුණේ හරියටම පුංචි කාලේ මතකයන් අතරට ආයෙත් ගියා වගේ හැඟීමකින්.

තාත්තා ගැන හරි ආදරෙන් ඔය විදියට කතා කරන්නේ ස්වේතා මෙලී පෙරේරා. ඇය ‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පී නලින් පෙරේරාගේ ආදරණීය දියණිය. ඉතින් අද ‘ධරණී’ කවරය සරසන සුරූපිනිය ඇයයි.

‘‘පුංචි කාලේ ඉඳලා තාත්තා මල්ලිටවත් මටවත් අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා සීමා දාලා නැහැ. තාත්තා අපිට හරියට අපේ යාළුවෙක් වගෙයි. ඒ නිසා පොඩි කාලේ ඉඳලම මම හැමදේම තාත්තට කියනවා. කොටින්ම කිව්වොත් තාත්තයි මායි අතර කිසිම රහසක් නැහැ. හැබැයි හරි වැරැද්ද මොකක්ද කියන එකත් තාත්තා අපිට නිතරම කියලා දුන්නා.’’

‘‘ස්වේතාට තාත්තාගෙන් ලැබුණු හොඳම අවවාදය මොකක්ද?’’

‘‘මම හිතෙන්නේ තාත්තා අපිට අවවාදවලට වඩා දුන්නේ ආදර්ශ. තාත්තා එයාගේ ගමන පටන් අරන් තියෙන්නේ මහලොකු දේවල්වලින් නෙමෙයි. හැබැයි මහන්සිය, කැපවීම නිසා අද ඔහු දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකම අපිට ලොකු ආදර්ශයක්. පුළුවන් විදියට අනිත් අයට උදව් කරන්නත් තාත්තා හරි ආසයි. තාත්තගේ ඒ පුරුදු අපිටත් එහෙමම ඇවිල්ලා තියෙනවා.’’

ගුණවත්බව මෙන්ම ඔහුගේ ළයාන්විත හඬද ස්වේතාටත් ඒ විදියටම උරුම වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඇය ගීත කිහිපයක්ම පටිගත කරලා ඉවරයි.

‘‘මාවයි, මල්ලිවයි, අම්මවයි ළඟින් තියාගෙන සිංදු කියන්න තාත්තා හරි ආසයි. තාත්තා අංජලිකා සිංදුව කියනවා අහන්න අම්මයි, මායි දෙන්නම හරි ආසයි. වෙලාවකට අපි සේරම එකතු වෙලා සිංදු කියනවා. තාත්තා ගොඩක් කාර්යබහුල නිසා ඔහු එක්ක ගත කරන්න ලැබෙන කාලය අඩුයි. ඉතින් වෙලාව ලැබෙන හැමවෙලාවකම අපි හතරදෙනා කොහේහරි ලස්සන තැනක ඇවිදින්න යනවා. අපි දෙන්නටත් පුංචි කාලේ ඉඳලම සිංදු කියන්න පුළුවන්. හැබැයි ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කියලා තාත්තා කවදාවත් අපිට බල කරලා නම් නෑ.’’

කලා හැකියාවන් තිබුණත් ස්වේතා තෝරාගන්නේ ව්‍යාපාර කළමනාකරණ අංශය.

‘‘මම ඉගෙනගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උපාධිය හැදෑරුවා. මම ඒ අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කොවිඩ් තත්ත්වය නිසා උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුණේ මේ මෑතකදී. ඉතින් එහිදී ගත්තු ඡායාරූප කීපයක්ම මම ෆෙස්බුක් දැම්මා. ඒ ඡායාරූපත් ගොඩක්දෙනා අතර හුවමාරු වෙලා තියෙනවා මම දැක්කා. සමාජ මාධ්‍ය තුළත් මට ගොඩක්දෙනාගේ ආදරේ ලැබෙනවා.’’

‘‘ආදරේ කරන විශේෂ කෙනෙක්ගෙන් ලැබුණු ඇරයුමක් ගැනත් පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා නේද?’’

‘‘ඔව්මම මේ අවුරුද්දේ විවාහ වෙන්න ඉන්නේ. ඔහු විසින් කරපු විවාහ යෝජනාවේ ඡායාරූප කිහිපයක් තමයි ඒ විදියට හුවමාරු වුණේ.’’

ස්වේතා කියන්නේ ලස්සනට අඳින පළඳින, ට්‍රැවල් කරන්න ආස කරන යුවතියක්. අපේ සමහර අය ඒ වගේ දේට අකමැති නිසා ස්වේතාට රසිකයන්ගෙන් අයහපත් ප්‍රතිචාර ලැබිලා නැද්ද කියන එකත් අපි අහලා බැලුවා.

‘‘මම තරුණ ගෑනු ළමයෙක්. ඉතින් මම ලස්සනට අඳින්න ආසයි. අනික අම්මටයි තාත්තටයි ප්‍රශ්නයක් නැත්නම් ඒක අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. හැබැයි මට නම් තාම ඒ වගේ අයහපත් ප්‍රතිචාර ලැබිලා නැහැ. තව දෙයක්. මම නම් දැන් ඉන්න පරපුරේ අයගේ ලොකු වෙනසක් දකිනවා. ගෑනු ළමයෙක්ට අපහාස කළොත් ගොඩදෙනෙක් ඇයගේ පැත්තට කතා කරනවා. ඇයට උදව් කරනවා. අනික ගොඩක්දෙනා දැන් විවෘතව දේවල් කතා කරනවා. හරි දේ කරනවා. ඉතින් ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක් කියලයි මට නම් හිතෙන්නේ.’’

අපේ කතාබහ අතරතුර ආදරණීය මව නිල්මිණී පෙරේරා ගැනත් මතක් කරන්න ස්වේතා අමතක කළේ නැහැ.

‘‘අම්මා අපි වෙනුවෙන් කරන කැපකිරීම් ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුවක්. තාත්තා ගොඩක් කාර්යබහුල නිසා ඔහුට ගෙදර දේවල් ගැන හොයලා බලන්න ලොකු වෙලාවක් හම්බවෙන්නෙ නැහැ. ඉතින් අදටත් අපි තුන්දෙනාගේ හැමදේම හොයලා බලන්නේ අම්මා. ඉතින් අම්මා නැත්නම් අපිත් නැහැ.’’

ස්වේතාගේ පෙම්වතා පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් විවාහයෙන් පස්සේ ඇයත් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා අවසාන වශයෙන් ඇය කිව්වේ ටිකක් සංවේදීවයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන