නවතම ප්‍රවෘත්ති

මේ තත්පරේ වැටුණත් ඊළඟ තත්පරේදී නැගිටින්න මට පුළුවන් රූප සුන්දරියක් වුණු කථිකාචාර්යවරිය තිළිණි කුමාරි

2021 අවුරුද්දේ තිබුණු 70 වෙනි ලෝක රූ රැජින තරඟයෙන් ජයග්‍රහණය කළේ පෝලන්ත තරුණියක්. ඇය තමයි ඒ වෙනකොට 22 හැවිරිදි වියේ පසුවුණු ‘කැරොලිනා බිලව්ස්කා’ (Karolina Bielawska). ඇය ඒ වෙනකොටත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් හිටපු සරසවි සිසුවියක්. ඒ විතරක් නෙවෙයි ඇය නිරූපිකාවක්, අභිප්‍රේරණ කථිකයෙක් වගේම රූපවාහිනී නිවේදිකාවක් බවත් පසුව දැනගන්න ලැබුණා.

එතැනින් ගියාම ඇමෙරිකාවේ ලාස්වෙගාස්වල තිබුණු 2022 ලෝක විවාහක රූ රැජින තරඟයේදිත් එවැනිම සිදුවීමක් වුණා. එවර එහි ජයග්‍රහණය ලබාගත්තේ ඉන්දියාවේ සර්ගම් කෞෂාල්. ඇයත් ඒ වෙනකොට ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබූ පාසල් ගුරුවරියක්.

ලෝකයේම අවධානය දිනාගත් මේ රූප සුන්දරියන් දෙදෙනාගේ කතා අතරට පහුගිය දිනෙක තවත් එවැනිම කතාවක් එකතුවුණු හැටි අපි දැක්කා. ඒ ‘ලෝක සංචාරක රූ රැජින’ (Miss Tourism World Sri Lanka 2022) තරඟයේදී. ඒ තරඟය ජයග්‍රහණය කළේ මහනුවර පිළිමතලාවේ තිළිණි කුමාරි. බලාගෙන යද්දී ඇයත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. ඉතින් ඒ සුන්දර කථිකාචාර්යවරියගේ රුවින් තමයි මෙවර ‘ධරණී’ කවරය හැඩවෙන්නේ.

ලෝක සංචාරක රූ රැජින තරඟය කියන්නේ අපේ රටේ ප්‍රධාන රූ රැජින තරඟයක්. 2022 තරඟයට අයැදුම් කරන්න කියලා දාලා තියෙනවා මම දැක්කේ අහම්බෙන්. ඉතින් මටත් නිකමට වගේ අයැදුම් කරලා බලන්න හිතුණා. අහම්බෙන් අයැදුම් කළාට මොකෝ අවසානෙදි ලෝක සංචාරක රූ රැජින’ (Miss Tourism World Sri Lanka 2022) තරඟය ජයග්‍රහණය කළේ මම. ඒ වගේම තරඟාවලියේ Best National Costume, Best Miss Intelligent, Best Top Model වගේම Best Miss Popular කියන ජයග්‍රහණ ලබාගන්නත් මට පුළුවන් වුණා.”

තිළිණි ඇය ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළේ නිහතමානී ආඩම්බරකමකින්. මෙතුවක්කල් රූ රැජින කිරුළු ජයගත්තේ නිරූපිකාවන් නැත්නම් නිළියන්. කථිකාචාර්යවරියක් ලෝක සංචාරක රූ රැජින කිරුළ දරාගත්තු පළවැනි කතාව මේක. එහෙම බැලුවහම ඉතින් තිළිණිගේ ඒ ආඩම්බරය හරිම සාධාරණයි.

මම උසස් පෙළ කළේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන්. පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි වාග් විද්‍යා අංශයේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය අවසාන කළා. මේ වෙනකොට අධ්‍යාපන අංශයෙන් ආචාර්ය උපාධියත් හදාරනවා.”

මේ වෙනකොට ඇය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. ඒ වගේම Esoft Metro සරසවියේ ශිෂ්‍ය සබඳතා පිළිබඳ කළමනාකාරවරිය විදියටත් කටයුතු කරනවා. තිළිණිගේ මේ අධ්‍යාපන පසුබිමයි වෘත්තියයි එක්ක රූ රැජින තරඟයක් ඈට ගැළපෙන්නේ නැති බව බොහෝදෙනෙක් තිළිණිට කිව්වලු. ඒත් තිළිණි නෙවෙයි ඒ කතා කනකට අරන් තියෙන්නේ. කැපකිරීම් දහසක් කරලා හරි තරඟය ජයග්‍රහණය කරනවා කියලයි ඒ කතා ඇහුවට පස්සේ ඇය තීරණය කරලා තියෙන්නේ.

කථිකාචාර්යවරියක් නිසා මේ වගේ තරඟ මට ගැළපෙන්නේ නෑ කියලා ගොඩක් අය කිව්වා. හැබැයි මම මාව විශ්වාස කළා. මම තරඟයට ගියේ ඒ විශ්වාසයෙන්. පෙර පුහුණුවීම් තිබුණු දාට ලැප් එක දිග ඇරන් කැම්පස් එකේ වැඩ කර කර බස් එකේ කොළඹ ඉඳන් නුවර ගිහින් තියෙනවා. ඒ දවස් ටිකේ මට රැයක් දවාලක්, කන්න බොන්න වෙලාවක්වත් තිබුණේ නැහැ. වෘත්තීය ජීවිතය සමබර කරගෙන තරඟය දිනන්න මම ඒ තරමට මහන්සි වුණා.”

ඈ කරපු ඒ කැපකිරීම්වල ප්‍රතිඵල අද ඇයට ලැබිලා. තමන් ගැන ලොකු විශ්වාසයක් නැත්නම් ආසාවක් තිබ්බ පලියට මේ වගේ දේවල් කරන්න බැහැයි කියලත් ඔය අතරේ ඇය කිව්වා.

දැන් මට 28යි. මම බලාපොරොත්තු වුණ ජයග්‍රහණ අද වෙනකොට මම ලබාගෙන ඉවරයි. ඉතින් මම ස්ථාවර ගැහැනියක් කියලා මට හිතෙනවා. මෙයා හරි වාසනාවන්ත තරුණියක් කියලා මගේ දිහා බැලුවහම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි මේ මගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල මිසක මගේ වාසනාව නම් නෙමෙයි.”

අධ්‍යාපනය, වෘත්තිය තුළින් වගේම තමන්ගේ ආශාවන් හැකියාවන් තුළිනුත් ඇය අද දුර ගමනක් ඇවිල්ලා. තවත් නොබෝ දවසකින් රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විදියටත් අපට තිළිණිව දැකගන්න පුළුවන් වේවි.

මේ වෙනකොට සංගීත විශාරද උපාධිය හදාරලා එහි දෙවැනි විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුව ඉන්නවා. ඒ වගේම අනුර විජේනායක මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් රූපවාහිනියේ විකාශය වෙන්න තියෙන ආශා ඒකාංගික ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහාත් මම දායක වෙනවා.”

දැන් තිළිණිගේ එකම හීනය මහාචාර්ය කෙනෙක් වෙන එකලු. ඒත් එක්කම අධ්‍යාපන අංශය පැත්තෙන් ලොකු පෙරළියක් කරන්න ඇය මේ දවස්වල සැලසුම් කරනවලු. ඉතින් ඇගේ හීන ඒ විදියටම සඵල වේවායි කියමින් අපි ඇගෙන් සමුගත්තා. සමුගන්න කලින් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් වචනයක් කියන්නත් ඈ අමතක කළේ නැහැ.

ඉගෙනගෙන කැම්පස් ගිහින් ජොබ් එකක් කරලා පස්සේ විවාහ වෙලා කුස්සියට කොටුවෙන එක කාන්තාවකගේ භූමිකාව කියලා සමහරු හිතනවා. කිසිම කාන්තාවක් පිරිමියෙකුගෙන් යැපෙන තැනට වැටෙන්න හොඳ නැහැ. හැම තරුණියක්ම හොඳට ඉගෙනගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ අතරවාරේ තමන්ගේ හැකියාවන් දක්ෂතාවලිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ දේ හරියටම කරපු නිසා මේ තත්පරේ වැටුණත් ඊළඟ තත්පරේදී මට නැගිටින්න පුළුවන්.”

 

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප සමන් අබේසිරිවර්ධන

ඇඳුම් නිර්මාණය UR Bridal Dresses

හැඩගැන්වීම – අමිල ගමගේ