විශේෂාංග

මට නිවේදිකාවන් එක්ක වැඩ කරන එක තහනම් කරපු රසිකාවියොත් හිටියා – තිසංක ගමගේ

මීට ටික දවසකට කලින් තලවතුගොඩ ලොකු සංගීත ප්‍රසංගයක් තිබුණා. සංගීතය සැපයුවේ සරිත් සුරිත් ප්‍රමුඛ ‘නිව්ස්’ බෑන්ඩ් එක. එදා ජනප්‍රිය ගායක ගායිකාවොත් සෑහෙන පිරිසක් එනවා කියලා තිබුණු නිසා සෑහෙන්න ලොකු සෙනඟකුත් ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා. හැබැයි ලස්සනට කරගන ගිය ප්‍රසංගයට අතරමැද වැස්සෙන් බාධා වුණා.  ධාරාණිපාත වැස්ස නිසා අවසානේ ප්‍රසංගය නතර කරන්න වුණා. ඒකෙන් මේකෙන් ප්‍රසංගය බලන්න ආපු අයත් ටිකක් කලබල වුණා. ඔවුන්ට ඕනවුණේ වැස්සේ හරි වැඩේ ඉදිරියට ගෙනියන්න විතරයි. අතරින් පතර අසභ්‍ය වචන එහෙමත් ඇහෙන්න ගත්තා. ඒ වගේම ඒ වෙද්දිත් දෙතුන් දෙනෙක්ගේ අතේ ගල් තිබුණා. එන පොට හොඳ නැති වග කාටත් වැටහෙද්දී ප්‍රසංගයේ නිවේදකයා කිසි බයක් සැකක් පීඩනයක් නැතුව මයික් එක අතට ගත්තා.

“අනේ දෙයියෝ, රත්තරනේ මේ අපි කරපු වැඩක් නෙවෙයි. මේ සොබාදහම කරපු දෙයක්. ඒ දෙවල් අපිට නවත්තන්න බෑ. ඒ නිසා අපි සේරම එකතුවෙලා මේ වැස්ස නවත්තන්න කියලා ආයාචනා කරමු. අපි හැමෝම… කෝ හැමෝම…”

එහෙම කියපු නිවේදිකයා “පායපං පායපං” කියලා එකදිගටම කියාගෙන ගියා. ප්‍රසංගය නවත්තපු එකට යක්කු වගේ කුලප්පු වෙලා හිටපු ඈයොත් ඒ වෙලාවේ ඔහුට හීලෑවෙලා ඒක කියන්න ගත්තා. ඔය අතරේ සිදුවෙන්න යන දේ සොබාදහම් මාතාවට දැනිලදෝ වැස්සත් පෑව්වා. පස්සේ ආයෙත් ප්‍රසංගය ආරම්භ කළා. ඒ වෙලාවේ මට මේ නිවේදිකයාව පෙනුණේ වීරයෙක් ගාණට. මොකද ඔහු නොහිටින්න එතැන ලොකු  කලබලයක් වෙන්න ඉඩ තිබුණා. ඒත් ඒ අවස්ථාව ඔහු හරි ලස්සනට හැසිරෙව්ව නිසාම ප්‍රසංගය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණා. ඒ නිවේදකයා තමයි තිසංක ගමගේ. ඔහුත් එක්කයි ‘ධරණී’ මේ කතාබහ.

 

*ඔබ ගුවන්විදුලි නිවේදකයෙක්. ඔබ රූපවාහිනී නිවේදකයෙක්. ඊටත් පස්සේ ඔබ ප්‍රසංග නිවේදකයෙක්. හිටපු ගමන් නළුවට අඳිනවත් දැකලා තියෙනවා. අපි ඔබව එහෙම නොයෙකුත් කෝණවලින් දැක්කට ඔබ, ඔබව දකින කෝණයකුත් ඇති?

මං මිනිස්සු සතුටට පත්කරන කෙනෙක් සහ මිනිස්සු උපරිම සතුටින් තියන්න කැමති කෙනෙක්.

 

*ඒ ගමනට ආරම්භය ගත්තේ 2009 අවුරුද්දේ. එහෙම නේද?

මං නිවේදකයෙක් විදියට ‘FM දෙරණ’ ට ආවේ 2009 අවුරුද්දේ. අපි තමයි දෙරණ FM පටන් ගන්නකොට ඒකේ මුල්ම කණ්ඩායම. එතැනින් TV දෙරණට එන්න ලැබුණා. දැන් එතැනත් වැඩකරන ගමන් මට එළියේ එන වැඩත් කරගෙන ඉන්නවා.

 

*ඔබෙයි ඌෂගෙයි ‘දෙරණ නිවහන’ ඒ දවස්වල සෑහෙන ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් නේද?

(සිනාසෙමින්) ඔව් ඔව්. අපේ කටහ‍‍ඬට ආදරේ කරපු අය ඒ දවස්වල තෑගිබෝග අරන් අපි බලලා යන්න එනවා. ඒක හරි සුන්දර කාලයක්.

 

*හිනාවෙන් තේරුනා සුන්දර කාලේ සුන්දර දේවලුත් වෙලා තියෙනවා වගේ කියලා?

ඔව් ඔව්. දවසක් තරුණ ගෑනු ළමයෙක් මාව බලන්න කේක් එකක් අරන් ආවා. ඒ වෙලාවේ මං එක්ක ඌෂා (ඌෂා ගයානි) හිටියා. ඉතින් එයා අපි දෙන්නා එක්කම හොඳට කතාබහ කරලා ගියා. පහුවැනිදා එයා කෝල් එකක් අරන් ‘තිසංක එක්ක ඔයා ප්‍රෝගෑම් කරන්නේ ඇයි, එයාට ඒක තනියම කරගන්න පුළුවන්, ඔයා වහාම ඔතැනින් අයින්වෙලා යන්න’ වගේ කතා කියලා ඌෂට බැනලා. ඒවා හරි සුන්දරම දේවල් ඉතින්.

 

*තිසංකට ජනප්‍රිය බව පෞද්ගලික ජීවිතේට බාධාවක් වගේ දැනිලා නැද්ද?

අනේ නෑ. ඒ ආදරේ තමයි මං මෙච්චරම සතුටින් තියන්නේ. ඉතින් ඒක බාධාවක් කියලා හිතන්නේ කොහොමද? ‘දෙරණ’ බලන ගොඩාක් අය හම්බුණාම කියනවා මාව දැකලා දැකලාම දැන් මං එයාලගේ ගෙදර කෙනෙක් වගේලු.

 

*තිසංක ජනප්‍රිය බව ඔලුවට අරන් ඉන්න කෙනෙක්ද?

උත්තරේ නෑ. මං කොතැන ගියත් සරල සාමාන්‍ය කෙනෙක් විතරයි. අදටත් බස් එකේ ඔෆිස් එකට යන දවස් ඕනතරම් තියෙනවා.

 

*ඔබට ආදරේ කරන රසිකයින්ගේ ඇස් රතුවුණු දවස මතකද?

(සිනාසෙමින්) ඔව්. ‘ධරණී’ ටෙලිනාට්‍යයේ මට මැරිලා මිනීපෙට්ටියක ඉන්න රූගත කිරීමක් තිබුණා. ඒ වෙලාවේ යාළුවෙක් ඒ ෆොටෝ එකක් ෆේස්බුක් දාලා. හැමෝම හිතුවා මං මැරිලා කියලා. ගෙදරට කෝල් කෝටියයි. ඒ අස්සේ අපේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති විදියට හිටපු දිලිත් ජයවීර මහතාට, අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මියට එහෙමත් සමහරු කෝල් දීලා අහලා ‘අර ඔයාලගේ චැනල් එකේ ප්‍රසන්ට් කරපු තිසංක නැතිවෙලා නේද?’ කියලා. හැබැයි එදා මං දැනගත්තා මට කොයිතරම් පිරිසක් ආදරෙයිද කියලා.

 

*තිසංක ප්‍රසංග වේදිකාව එක්කත් ඉන්න හින්දා ඒ පැත්තෙත් අමතක නැති සිදුවීම් ඇති?

සැරයක් කුරුණෑගල පොල්වත්තක ශෝ එකක් තිබුණා. ෆ්ලෑෂ්බැක් එකක්. මෙන්න ශෝ එක පටන් අරන් විනාඩි පහයි හයයි ගියේ කට්ටියක් පොල් ගස් උඩ. ඒ අස්සේ පොලිසියෙන් මට කිව්වා තිසංක ඒ අය බස්සවන්න ට්‍රයි කරන්න කියලා. පස්සේ මං මයික් එක අරන් කිව්වා ‘ඔය බිම ඉන්න අය පොල් ගස් උඩ ඉන්න අයගේ ෆොටෝස් ගහලා තියාගන්න, ඔයාලගේ ගෙවල්වල තියෙන පොල් ගස්වල ගෙඩි අඩු නම් ඒ ෆොටෝවල ඉන්න අය තමයි ඒවට වගකියන හොරු ටික’ කියලා. එදා ඒ කියලා විනාඩියක් ගියේ නෑ ඔක්කොම ගස්වලින් බැස්සා.

 

*මයික් එකක් අතට ගත්තු පලියට නිවේදකයෙක් වෙන්න බෑ කියන එකට ඔබ හොඳ උදාහරණයක්?

ඔව්. නිවේදකයෙක් කියන්නේ ලස්සනට වචන ගළපන එකම නෙවෙයි. ඒ වැඩේට අනුව එතැනට ගැළපෙන විදියට හරියට හැඩගැහෙන්නත් ඕනේ.

 

*දෙරණ අවුරුදු උත්සවවල තිසංක නිවේදනය කරපු හැටියෙන් ඒක හොඳට තේරුනා?

ඒක මගේ විදිය. මං මොන වැඩේ කළත් වැඩේට හැඩගැහෙන්න දන්නවා. අවුරුදු උත්සවේක කඹ අදින තරඟයක් ළඟට ගියාම මං දඟලලා කෑ ගහලා හුරේ දාලා ඒ අදින අයට ජවයක් වෙනවා. හැබැයි අවුරුදු කුමාරි තෝරන තරඟයක් ගාවට ගිහින් මං එහෙම කරන්නේ නෑ. ඒ තමයි මගේ විදිය.

 

*ඒ ඔබේ විදියට ඔබට එකපාරක් ඇගයීමකුත් ලැබුණා නේද?

ඔව් ඔව් 2021 ‘රයිගම් ටෙලි සම්මාන’ උළෙලේ ‘වසරේ හොඳම රූපවාහිනී නිවේදකයා’ විදියට මට සම්මානයක් ලැබුණා. ඒක මගේ ජීවිතේ වැඩිපුර සතුටු හිතුණු දවසක් කිව්වොත් හරි.

 

*මේ ගමනේදී බිරිඳගෙනුත් ලොකු හයියක් ලැබෙනවා ඇති?

අනිවාර්යයෙන්ම. එයා මගේ ගැන ගොඩාක් සැළකිලිමත් වෙනවා. එකදිගට ප්‍රසංග එහෙම තියෙද්දි එයා තමයි වාහනයේ දාගෙන මාව ප්‍රසංගවලට එක්ක යන්නේ ආපහු එක්ක එන්නේ. ඒ කැපකිරීම නම් පුදුම එකක්.

 

*තිසංකව මෙච්චර ලස්සනට තියන් ඉන්නෙත් ඇය වෙන්න ඇති?

(සිනාසෙමින්) නෑ නෑ ඒකට එයා හවුල් නෑ. මං හැමවෙලේම හරි සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න නිසා තමයි ඒ විදියට ලස්සනට පේන්නේ, එන්න එන්න තරුණ පාට වෙන්නේ.

 

*තිසංකට තාමත් සැබෑ කරගන්න බැරිවුණු හීනයක් එහෙම තියෙනවද?

මට ලොකු ආසාවක් තියෙනවා ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ වගේ තරඟයක අවසන් මහා තරඟයක් නිවේදනය කරන්න. ඒක ලොකු ආසාවක්.මොකද මට ආවේණික විදිහට ඒක කරලා මිනිස්සුන්ගෙන් ‘වාව් තිසංකයා ඒක සුපිරියටම දුන්නා’ කියන වචන ටික අහන්න මං මාර ආසයි.

 

රුවන් එස්.සෙනවිරත්න