විශේෂාංග

තුන්කොන් පෙම නිසා පෙම්වතියත්, බිරියත් එකම දිනක ගෙල වැළලාගනී!

හිතක් ආදරණීය වනවිට එතැන මුළු ලෝකයම යැයි සිතන පෙම්වත් හිත් ඕනෑතරම්ය. ඒත් ඒ බොහෝ ආදර කතා දුරදිග බලා කල්යල් බලා තිතටම ගලපාගත් ඒවා නම් නොවේ.

පිළියන්දල පදිංචිව සිටි නේත්‍රාගේ ආදර කතාවේද එවන් නොගැලපීම් තිබුණි. වයස හතළිස් ගණන්වලදී ඇය ඒ සියල්ල මැද ජීවිතයේ හුදෙකලා වන්නේ, සැමියාගේ හදිසි මරණය සමඟිනි. එලෙසට දින සති මාස ගෙවී යද්දී වයස විසිපහක පමණ තරුණයෙක් ඇගේ හිතට එබිකම් පාන්නට පටන් ගත්තේය. ඔහු කසුන් ය. කසුන්ගේ හමුවීමත් සමඟ නේත්‍රාට සියල්ල අමතක වෙමින් තිබුණි. ජීවිත කාලෙම තමන් හා ජීවත්වන්නේ යැයි කසුන් කියද්දී අලුත් බලාපොරොත්තුවකින් ජීවිතය අලුත් කරගන්නට ඇය අදිටන් කළාය.

‘‘අම්මයි පුතයි වගේමොන විකාරයක්ද ඔයටික දවසකින් ඔය කොල්ලා යන්න යයි.’’

යෙහෙළියන් නේත්‍රාට එසේ කියූවද ඇය තම හිතේ කසුන් වෙනුවෙන් ඇති ආදරය මත්තේම නැහුණාය. කසුන්ද පෙරලා තමන්ට එවන් ආදරයක්ම පාද්දී නේත්‍රාගේ මුළු ලෝකයම ඔහු විය. නේත්‍රාගේ රූප සොබාවට පමණක් නොව ඇයගේ දේපළ මුදල්වලටද ඔහු ඇලුම් කරන්නට වූයේය. ඔහුගේ ඉල්ලීමක් පවා ඉවත නොදමා කටයුතු කළ ඇය තම දේපළවලින් වැඩි කොටසක් ඔහු නමට ලියාදුන්නේ තම ආදරයේ තරම කොතෙක්දැයි ඔහුටම තේරුම් ගන්නට හරිමිනි.

‘‘මං කවදාවත් ඔයාව අතහැරලා යන්නේ නැහැමැරෙනකල්ම ඉන්නේ ඔයා ළඟ තමයි.’’

නේත්‍රාට කසුන් එසේ කිව් වාර බොහෝය. ඔහු එම වදන් කිව්වේ බොරුවටද නොවේ. ඔවුන් අඹුසැමියන් ලෙස කාලයක් එක වහලක් යට දිවි ගෙව්වේ සතුටිනි. කාලය පියඹා යමින් තිබුණි. ගිය අවුරුද්දට නේත්‍රාට වයස හැටකට ළංව තිබුණි. කසුන් හතලිස් වැනි වියට එළැඹ තිබුණේය. දෙදෙනාගේ පෙම් පළහිලව්වට වසර පහළොවකි. ඒ වෙද්දී කසුන්ට නේත්‍රාගේ වයස ගැන ප්‍රශ්න මතුවූවේය. දරුවෙක් මල්ලෙක් හදාගෙන ජීවිතය අලුත් කරගන්නට ඔහුට සිතු‍ණේය. එහෙත් නේත්‍රාට හොරෙන් තරුණියක ඇසුරු කිරීම කළ යුතුව තිබුණෙන් කසුන් සූක්ෂමව ඒ ටිකද කළේය. එපමණක්ද නොවේ, ඔහු මීට මාස කිහිපයකට ප්‍රථම එම තරුණිය සමඟ විවාහ වූයේය. කසුන්ගේ අලුත් ජීවිතය ගැන නේත්‍රා කිසිවක්ම දැනසිටියේ නැතත්, ඒ වනවිට ඔහුගේ වෙනස ඇයට දැනෙමින් තිබුණාය. තම වත්කම්වලටත් වඩා තමා ඔහුට පෙම් කළේ හදවතින්මය. ඒ හිත ඔහුගේ වෙනස්කම්වලින් කීරි ගැහී යද්දී නේත්‍රා කසුන්ගෙන් ඒ ගැන නිතර විමසුවාය.

‘‘පිස්සුද ඔයාට…?’’

‘‘එහෙමනම් ඇයි දැන් වෙනදා වගේ එන්නේ නැත්තේ?’’

‘‘මම වැඩ නේත්‍රා…’’

ඒ ඇමතුම් බොහෝ කෙටි වෙද්දී, නේත්‍රාට දන්නා කියන අයෙකුගෙන් එක් හෝඩුවාවක් ලැබුණි. ඒ කසුන් වෙනත් තරුණියක හා විවාහ වී ඇති බවයි. ඇයත් පිළියන්දලම පදිංචි තිස් දෙහැවිරිදි කාන්තාවක බව දැනගනිද්දී නේත්‍රාගේ හදවත බොහෝ රිදුම් දෙන්නට වූවාය. යෙහෙළියන් කී දෑ සැබෑ වී තිබේ. තමන් ළඟ හැමදාමත් ඉන්නවා යැයි කී ඔහුගේ වෙනස ඇයට දරාගත නොහැකි තරම් වූයේය. කසුන් පෙන්වූ ආදරයේ තරමට මෙවන් වෙන්වීමක් තමන් කෙසේ දරාගන්නදැයි නේත්‍රාට කිසිසේත්ම සිතාගත නොහැකි විය.

ඇය කණ්ණාඩියෙන් තම මුහුණ දෙස බැලුවාය. මෙයට වසර පහළොවකට විස්සකට උඩදී පිරිපුන්ව තිබූ කම්මුල්වල සිහින් රැළි මතුව ඇත. එදා තිබූ ලස්සන පියකරු පෙනුමද නැත. ජීවිතයේ යථාර්ථය එය මුත් නේත්‍රා කුඩා දැරියක සේ හඬා වැටුණාය. ඊළඟට ලැබුණු තොරතුරු ඇත්ත දැයි තමන්ටම බලා ගන්නට ඇයට ඕනෑ විය. ඇය රහසේම කසුන්ගේ අලුත් මනාලිය වූ රංගිකා හමුවෙන්නට ගියාය. තමා කවුදැයි හඳුන්වා දෙද්දී, ඇය පුදුමයෙනුත් පුදුමයට පත්වූවාය. තුන්හිතකවත් මෙවන් දෙයක් අසන්නට බලාපොරොත්තු නොවුණු රංගිකා පුටුවකට ඇද වැටුණේ තම සැමියා ගැන කියන දෑ ඇත්තදැයි සිතාගත නොහැකිවය. නේත්‍රා එහිදී ඉකිබිඳ හැඬුවාය. ඔහුට ආදරය කළ හැටිත්, ඔහු වෙනුවෙන් තම දේපළ හා මුදල් විය පැහැදම් කළ හැටිත් කීවේ හිතේ දුකටය.

නේත්‍රා ගෙදර එන්නේ මේ සියල්ල දෙනෙතින් දැක මුළු ආත්මයම හඬා වැටෙද්දීය.

ඇය ගෙදරට පැමිණ කසුන්ට පිටු කිහිපයක ලිපියක් ලිව්වේ තමා ඔහුට ආදරය කළ තරම මතක්කර දෙමිනි. ඒ ලියන අකුරක් අකුරක් ගානෙම ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටුණි. එම ලිපිය ලියා අවසන් වනවිට නේත්‍රාට සිතු‍ණේ, තමන් තවදුරටත් ජීවත්විය යුතු නැති බවයි. තමන්ට වැරදුණු බවත්, ජීවිතයේ එම වරද දැන් නිවැරදි කරන්නට බැරි බවත් ඇය දැන සිටියාය. තම ප්‍රේමය අනියම්ද නියම්දැයි කියා වෙන්කරන රේඛාවක් එදත් නොදැන සිටි නේත්‍රාට ඒ මොහොතේ දැනු‍ණේද තමන් මුළු හදවතින්ම ඔහුට ආදරය කළ අයුරු පමණකි.

ඇය ඒ වනවිට දැඩි තීරණයකට එළැඹ සිටියාය. මෙහෙකාරියවද ගෙදරින් පිටත්කර හැරි ඇය ඊළඟට, ඒ තීරණය ක්‍රියාත්මක කළාය. නේත්‍රා ගෙල වැළලාගෙන තිබුණි. කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගෙනයද්දිත් ඇය ජීවිතය හැරගොසිනි.

එදිනම කසුන්ගේ ගෙදරද එවන් සිදුවීමක් සිදුවෙමින් තිබුණි. තම සැමියා වසර ගණනාවක් තිස්සේ හැට හැවිරිදි කාන්තාවක් හා හාදකම් පැවැත්වීම ඇයට දරාගත නොහැකිවිය. ඒ නිසාම ලැජ්ජාවක්ද දැනුණාය. කළකිරීමක්ද දැනුණාය. රංගිකාද ගෙල වැළලා ගත්තේ ඒ සිතිවිලිවලට අවනත වෙමිනි. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ වූයේ ඇයව ඉක්මනින්ම රෝහල්ගත කළ නිසාය. ඇය දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය.

නේත්‍රාගේ මරණ පරීක්ෂණයේදී කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා කසුන්ගේ වරද ඔහුට පෙන්වා දුන්නේය. ඒ වගකීම් විරහිතව කටයුතු කිරීම මගින් මෙවන් ශෝචනීය අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවන බව කියමිනි. නේත්‍රාගේ මරණයට කසුන්ට නීතියෙන් දඬුවම් නැතත්, හෘද සාක්ෂියෙන් දඬුවම් ලැබෙනු ඇතැයිද මරණ පරීක්ෂකවරයා සඳහන් කළේය.

කසුන්ට මේ කියන හෘද සාක්ෂිය කවදා හමුවේදැයි අපි නොදනිමු. ඒ හමුවීමෙන් දැන් නේත්‍රාට නම් ඵලක් නැත. ඒ ඇය දැන් ඔහුට කවදාවත් හමු නොවන තරමේ දුරක ගොස් ඇති නිසාය.

මෙහි නම් ගම් පමණක් මනඃකල්පිතයි.

ඉෂාරා ඒකනායක