විශේෂාංග

අපි දොරවල් කඩාගෙන යද්දී සුදේශ් අවසිහියෙන් වගේ සඳුනි ගිනි ගන්න හැටි බලාගෙන හිටියා

අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට මුදල් ලබා නොදුන් නිසා, තම බිරිඳගේ අතපය ගැට ගසා, මාස හතරක බිළිඳියද සමඟින් ගිනි තබා ඝාතනය කිරීමට තැත් කළ සැමියෙකු පසුගිය (සැප්) දහතුන්වනදා අලුයම මොරටුව එගොඩ උයන පොලිසියේ අත්අඩංගුවට පත්විය.

මොරටුව, කොරලවැල්ල සමාජවාදී නිවහන් පෙදෙසේ පදිංචි, දලුවත්තගේ සුදෙශ් නාලක ප්‍රනාන්දු නමැති විසිහතර හැවිරිදි මෙම සැකකරු අධික ලෙස හෙරොයින් සහ අයිස් භාවිතයට ඇබ්බැහි වූවෙකු බව ඔහුගේ දෙමව්පියන් සහ ප්‍රදේශවාසීහු පවසති.

මෙම සිද්ධිය වූ දින අලුයමද මොහු විසින් දරුවාගේ නැප්කිනයකින් බිරිඳගේ අතපය ගැට ගසා, කටටද පාන්කඩ ඔබා, දරුණු ලෙස පහර දී, භූමිතෙල් සහ පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ දරුවාද යහනේ නිදා සිටියදීමය.

ඒ මොහොතේදී ඇය දරුවාට ගිනි ඇවිලෙන්නට නොදී ඇඳෙන් බිමට පැන තිබීම නිසා බිළිඳිය බේරා ගැනීමට හැකිවී ඇත. මුහුණ සහ ශරීරය දරුණු ලෙස පිළිස්සී ඇති දිනක්ෂි සඳුනි නමැති විසිතුන් හැවිරිදි මෙම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.

මේ වනවිට ඇගේ දෙමව්පියන්ද ඇය සමඟින් රෝහලේ සිටින නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමට නොහැකි වුණත් කුඩා කල සිට ඇයව හදාවඩා ගත් නැන්දණියක් වන රෝෂිණී ප්‍රනාන්දු සමඟ කතාබහ කිරීමට අපිට හැකිවිය.

අපි මේ කොරලවැල්ලෙ ජීවත්වෙන්නෙ ළමා කාලේ ඉලමයි. එහෙමයි කියලා අපි අපේ ළමයින්ව සත්තු සිවුපාවො වගේ අතෑරලා දාලා හැදුවෙ නෑ. පේලි ගෙදරක හැදුනට අපි සුනිව හදා වඩාගත්තෙ ගෙටම කරලා, හරි පරිස්සමට. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් උපරිම විදියට උසස් පෙළ වෙනකන් හොට ඉගැන්නුවා. එතනින් පස්සෙ එයාට කැමති දෙයකින් ඉහළට ඉගෙනගන්න කියලයි තිබුණේ

පිටකොටුව, මරදාන, දෙමටගොඩ, ඔරුගොඩවත්ත හැරුණු විට මොරටුව, කොරලවැල්ලේද පේලි ගෙවල්වල ජීවත්වන මිනිසුන් අනන්තවත් ඇත. සඳුනි සහ සුදේශ්ද උපන්දා සිටම කොරලවැල්ලේ ජීවත් වූයේ පේලි ගෙවල්වලය. එසේ හැදී වැඩුනු තරුණ තරුණියන් මැද සඳුනි හැඩකාරියක් වූ අතර, සුදේශ් වැඩකාරයෙක් විය. සඳුනිගේ දෙමව්පියන්ට ඇයව හොඳ මහත්තයෙකුට දීග දීමේ උවමනාව තිබුණා සේම, සුදේශ්ගේ දෙමව්පියන්ට ඔහුව කලාව අතින් ඉහළට යවන්නට ලොකු උවමනාවක් විය. මන්ද සුදේශ් ගීත ගායනයට සහ රංගනයටත් අතිදක්ෂයෙක් වූ නිසාවෙනි. මේ වනවිටත් ඔහු ප්‍රසිද්ධ නාළිකා කීපයකම විකාශනය වන ටෙලිනාට්‍ය ගණනාවක සුළු චරිතවලට පණ පොවා ඇත. ඔහු ගැයූ ගීත පවා යූ-ටියුබ් නාළිකාවල අසන්නට දකින්නට ඇත.

ටික දවසක් යද්දි මේ දෙන්නම ගෙවල්වල අයට කිව්වා ඒ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම කිව්වට අපේ ගෙවල්වල දෙගොල්ලො ගහ මරාගන්න ගියේ නෑ. මොකද සුදේශ්  කියන්නෙත් හො අනාගතයක් තියෙන ළමයෙක් කියලා අපිටත් තේරුම් ගිහින් තිබුණ නිසා. පස්සෙ අපි එයාලගෙ කැමැත්තට ඉඩ දීලා පොඩියට මගුලක් අරන් එයාලව කසාද බන්දලා දුන්නා

විවාහයෙන් පසුවද සඳුනි කුමක් හෝ විෂයකින් උසස් අධ්‍යාපනය ලැබීමට කල්පනා කළ අතර, සුදේශ් ද තම කලා කුසලතාවයන් තුළින් ඉහළට යාමට උපරිම වෙර වීරිය ගත්තේ තම දරු පවුල සහ දෙමාපියන් ජීවත් කරවීමට වඩු කර්මාන්තයේ යෙදෙන අතරතුරය. එහෙත් ඒ සියලු බලාපොරොත්තුවලට කණකොකා හැඬීමට පටන්ගත්තේ සුදේශ් ටිකෙන් ටික හෙරොයින් සහ අයිස්වලට ඇබ්බැහිවීමට පටන්ගත් පසුවය. සඳුනි සහ සුදෙශ්ගේ දෙමව්පියන් ඒ ගැන ඔහුට බොහෝවිට අවවාද කළද, මුළු කොරලවැල්ලටම පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය ඒ වනවිටත් සුදේශ්ව බිලිගෙන තිබුණි.

කසාද බැලා මහ කාලයක් යන්න කලින් දෙන්නා දෙමහල්ලො ගහ මරාගන්න පටන්ගත්තා. සුදේශ් රැයක් දවලක් නැතුව අයිස්වලටයි, හෙරොයින්වලටයි සල්ලි ඉල්ලලා සුනිට වත්ත මැද පාරෙ දාගෙනත් ගැහුවා. අනේ ඒ වගේ ඉල්ලන ඉල්ලන සැරේට දෙන්න ඒ කෙල්ල ළ මොනර කොළ තිබුණෙ නෑ. එහෙම නැති වුණහම සුදේශ් එයාගේ අම්මටයි, තාත්තටයිත් ගහලා සල්ලි උදුරගෙන ගිය වෙලාවල් තිබුණා. ගෙවල්වල තිබුණ බඩුමුට්ටු හොරකම් කරන් ගිහින් විකුණලා අයිස් බීලා ආවා

එහෙත් සඳුනිට උවමනා වූයේ තම සැමියාව කෙසේ හෝ මත්රකුසාගෙන් ගලවා ගැනීමටය. ඒ කාලයේදීම ඇය ගැබ්ගත් අතර, තම දරුවා ගැන සිතා හෝ මත්ද්‍රව්‍යවලින් ඈත්වන ලෙස ඇය සැමියා ඉදිරියේ බැගෑපත් වූ අවස්ථා එමටය. එහෙත් ඒ කිසිවක් ඇසීමට සුදේශ්ට උවමනාවක් හෝ සිහියක් තිබුණේ නැත.

දවසේ පැය විසිහතර පුරාම මත්ද්‍රව්‍ය නිසා සිහිවිකලෙන් ජීවත් වූ මොහු සඳුනිව අධික ලෙස සැක කිරීමටත් පටන්ගෙන තිබුණි. වෙනකක් තියා සඳුනි ඇගේ පියා සමඟ සහ ඇයගේ අවුරුදු පහළවක් වයසැති සහෝදරයා සමඟින්ද අනියම් ඇසුරක් පවත්වන බව පවසා අමානුෂික ලෙස පහර දෙන්නට පටන්ගෙන ඇත.

මේ සිද්ධිය වුණේ දහතුන් වෙනිදට පාන්දර වෙන්න. කලින් දවසෙ රෑත් දෙන්නා හිටියෙ රණ්ඩු වෙලා. අවුරුදු  දෙක තුනක්ම ඒ දෙන්නගෙ රණ්ඩු දැකලම අපිත් ඒක ඒ හැටි ගණන් ගත්තෙ නෑ. පස්සෙ සුදේශ් ටිකකින් හරි අසාමාන්‍ය විදිහට දරුවවයි,ුනිවයි බදාගෙන ආදරෙන් කතාබහ කරලා තියෙනවා. පස්සෙ එයාගෙ අම්මටයි, තාත්තටයිත් කියලා තියෙනවා එයාල දෙන්නටයි දරුවටයි නිදාගන්න දීලා ටීවී වහලා දාලා ගිහින් නිදාගන්න කියලා

සුදේශ් සහ සඳුනි ජීවත් වූයේ පර්චස් දෙකක පමණ කුඩා ඉඩ ප්‍රමාණයක බාගෙට ඉදිවෙමින් තිබූ නිවසේ සුදේශ්ගේ දෙමාපියන් සමඟය. ඉඩපාඩු මදිකම නිසා තට්ටු දෙකකට ඉදි කිරීමට කටයුතු යොදා තිබූ මෙම නිවසේ ඉහළ මාලය වැඩ අවසන් කර තිබුණේ නැත. සම්පූර්ණ පහත මාලයම අඩි දොළහයි දොළහක් වැනි කුඩා ඉඩකින් සමන්විත වූ අතර ඔවුන් උයා පිහාගෙන කෑවේද, නිදාගත්තේද, එතැනමය. සුදේශ්ගේ දෙමාපියන් රාත්‍රියට නිදාගත්තේ ඉහළ මාලයේ කොන්ක්‍රීට් ස්ලැබ් එක මතය.

එකපාරටම මහපාන්දර ගේ ඇතුළෙන් ලොකු දුමක් ඇවිල්ලා තියෙනවාඒ දුම මොකද්ද කියලා සැකේට සුදේශ්ගේ අම්මයි තාත්තයි පඩිපෙළ වහලා තියෙන ඉටිකොලේ ඈත් කරලා බලද්දි තමයි සුනි ගිනි ගන්නවා දැකලා තියෙන්නේ. ඊටපස්සේ වත්තෙ හැමෝම මෙන්න සුනිව ගෙට දාලා ගිනි තියනවෝ කියලා කෑ ගහද්දි තමයි අපිත් ඒ පැත්තට දිව්වෙ. අපි දොරවල් කඩාගෙන ඇතුළට පනිනකොටත් සුදේශ්  සිහි විකලෙන් සුනි ගිනි ගන්න දිහා බලාගෙන හිටියා. වෙලාවෙ අපිට සුනිව බේරගන්නවා ඇරෙන්න සුදේශ්ව අල්ලගන්න සිහියක්පතක් තිබු‍ණේ නෑසේරමලා වතුර ගහලා, රෙදි ගෝනි දාලා සුනිගෙ ගින්න නිවලා උස්සගෙන පාරට දුවලා පානදුරේ ඉස්පිරිතාලෙට අරන් ගිහින් එද්දි සුදේශ් වත්තෙන් පැනලා ගිහින් තිබුණා. ඊටපස්සෙ පොලිසියෙදි තමයි කියලා තිබුණේ අතපය ගැට ගහලා, පාන්කඩ කටේ දාලා, ගින්දරත් පත්තු කරගෙනම  සුනිගෙ ඇට භූමිතෙලුයි පෙට්‍රලුයි වක්කරා කියලා

ඇය කියන්නේ වේදනාවෙනි.

අද අපිට මෙච්චර ලොකු වින්නැහියක් සිද්ධ වුණේ කුඩු, හෙරොයින්, අයිස් නිසාමේ කොරලවැල්ලේ අවුරුදු දහයට අඩු හැම පිරිමි ළමයෙක්ම අයිස් ගහනවා. කුඩු ගහනවා. අපි වගකිව යුත්තන්ට කියන්නේ අපේ දරුවන්ගේ ජීවිත මේ මාරයාගෙන් බේරලා දෙන්න කියලා

මේ වනවිටත් සුදේශ් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මත්උවදුර සමාජයෙන් මුලිනුපුටා දමන බවට බොහෝඅයගෙන් ලැබෙන පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත්වී ඇත. මත්රකුසා මුළු මහත් සමාජයම නිහඬව ගිල ගනිමින් සිටින බව හැරෙන්නට ඊට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් නම් පෙනෙන්නට නැත.

 

ලිහිණි මධුෂිකා

දර්ශාන් කානිල්